පුවත්

කඹ ඇදීමෙන් කසළ අර්බුදය විසඳිය නොහැකියි. - අමාත්‍ය පාඨලි චම්පික රණවක

2017 අගෝස්තු 10 වැනි බ්‍රහස්පතින්දා - 10  

කඹ ඇදීමෙන් කසළ අර්බුදය විසඳිය නොහැකියි. අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනයටත් සියලු දෙනාගේම සහයෝගය අත්‍යාවශ්‍යයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රජයේ පූර්ණ අනුග‍්‍රහය හා මෙහෙයවීම යටතේ පෞද්ගලික ආයතන දෙකක් රුපියල් බිලියන 27 ක ආයෝජනයකින් මෙගා වොට් 20 ක් කසළින් විදුලිය උපදවන ශ‍්‍රී ලංකාවේ පළමු ව්‍යාපෘති දෙකෙහි ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙහි ඉදිකිරීම් ආරම්භය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණි. මෙම අවස්ථාවට අමාත්‍ය ජෝන් අමරතුංග, මහ ඇමති ඉසුර දේවප‍්‍රිය, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන ඇතුළු ප‍්‍රාදේශීය සභා සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ද සහභාගී විය.

උත්සව අවස්ථාව ඇමතූ චම්පික රණවක කියා සිටියේ, අද දවසේ ඉදිරිපත් කරන විසඳුම ආරම්භ කළ යුතුව තිබුණේ මීට වසර ගණනාවකට පෙර බවයි. කෙසේ වෙතත් මීට වසර 10 කට පෙර මීතොටමුල්ල ආශ‍්‍රිතව එයට්කන් ස්පෙන්ස් ආයතනයේ වෙස්ටර්න් පවර් සමාගම මෙවැනි ව්‍යාපෘතියක් ඉදිකිරීමට කටයුතු සැලසුම් කළත් පසුගිය වසර 10 දීම ඊට විවිධ ගැටළු මතු උනා. එම තත්වයන් වටහාගෙන බස්නාහිර පළාතේ කසළ කළමණාකරණය සඳහා තරඟකාරී පදනමෙන්, අන්තර් ජාතික මට්ටමේ ටෙන්ඩර් කැඳවීමෙන් අනතුරුව ඊට ඉදිරිපත් වූ ආයතන 194 ක් අතුරින් ආයතන 03 ක් තෝරාගෙන කසළින් විදුලි උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලට අප යොමු උනා.

අද දවසේ දී එයට්කන්ස්පෙනස් ආයතනය සහ කේ.සී.එච්.ටී. ලංකා ජෑන්ග් පෞද්ගලික ආයතනය දෙක රුපියල් බිලියන 27 ක් ආයෝජනය කරමින් මෙගා වොට් 20 ක විදුලි බලයක් උත්පාදනය කරන බලාගාර දෙකෙහි ඉදිකිරීම් ආරම්භ කිරීම අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

කසළින් විදුලිය නිපදවන්න පුළුවන් හැබැයි එය ලාභ උපයන ව්‍යාපාරයක් නෙමෙයි. විදුලි බල අමාත්‍යාංශයේ ඍජු අනුග‍්‍රහය මීට අත්‍යාවශ්‍යයි. කසළ කිලෝවකින් ලැබෙන්නේ කිලෝජූල් 5000 ක 6000 ක බලශක්තියක්. නමුත් ගල් අඟරු කිලෝවක තිබෙනවා කිලෝ ජූල් 25,000 කට අධික බලශක්තියක්. ඞීසල් කිලෝවක තිබෙනවා 45,000කට වඩා වැඩි බලශක්තියක් පවතිනවා. ඒ අනුව පෙනී යන්නේ කසළ බලශක්තිය කිසි විටෙක ලාභ සහ පහසු බලශක්තියක් නොවන බවයි. නමුත් කැළි කසළ ගැටළුව විසඳුමක් වශයෙන් කසලින් විදුලිය උත්පාදනය කිරීමේ ක‍්‍රියාවලිය අපි අනුගමනය කරනවා. ඊට රජයේ මෙන්ම සියළු මහජනතාවගේ දායකත්වය අත්‍යාවශ්‍යයි. මීට පෙරත් මෙවැනි ව්‍යාපෘති රටේ ආරම්භ උනා. හැබැයි ඒවා අතරමග නතර කෙරුණා. මේ ව්‍යාපෘති දෙක කිසිම විටෙක කිසිම හේතුවක් මත අඩපන නොවී අවසානය දක්වා කි‍්‍රයාත්මක කිරීමට අපි කටයුතු කරනවා. යම් මට්ටමකින් පුද්ගලික අංශය අසාර්ථක උනොත් අපි අමාත්‍යාංශය මට්ටමින් මෙය පවත්වාගෙන යනවා.

ජූලි 1 වෙනිදා කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල කැළි කසළ කළමනාකරණය කිරීමේ වගකීම අපේ අමාත්‍යාංශයට හිමි උනා. මේ වන විට අපි එම කසළ වලින් කොම්පෝස්ට් නිපදවීමටත්, ප‍්‍රතිචක‍්‍රීයකරණයටත් කටයුතු කරගෙන යනවා. අද කසළ ටොන් එකක් එකතු කරන්න රුපියල් 5000 ත් 8000 ත් අතර මුදලක් වැය වෙනවා. නමුත් ඒ කසළ වලින් අපිට කිසිම මුදලක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කැළි කසළ නිපදවන අය, පරිසරය දූෂණය කරන අයගෙන් යම් මුදලක් අයකර ඒ පළාත් පාලන ආයතනවලට තමන්ගේ කසළ ගැටළුව විසඳා ගැනීමට අරමුදලක් සම්පාදනය කිරීම ඉතාම අත්‍යාවශ්‍යයි. නැතිනම් ඒ කැළි කසළින් පමණක් එම මුදල් පියවා ගන්න ඒ ආයතනවලට බැහැ. විශේෂයෙන්ම කොළඹ මහ නගර සභාව ඇරුණහම වෙනත් කිසිම නගර සභාවකට තමන්ගේ වරිපණම් වලින් මෙම කටයුත්ත කරගෙන යන්න බැරි බව අපට පෙනී ගොස් තිබෙනවා.

එනිසා පළාත් පාලන අමාත්‍යාංශයෙත්, පළාත් සභාවෙත් මැදිහත්වීම අත්‍යාවශ්‍යයි අපේ පළාත් පාලන ආයතනවලට මෙම ගැටළුවෙන් ගැලවීමට. නීතීමය වශයෙන් අදාල පළාත් පාලන ආයතනවලට කසළ ගැටළුව අපි භාර දී තිබුණත්, විශේෂයෙන්ම මහානගරවල, කොළඹ නගරය, දෙහිවල ගල්කිස්ස වැනි නගරවල කසළ අංගන ඉදිකරන්න ඉඩකඩක් නැහැ. ඒ නිසා ඒවාට තනියෙන් එම ගැටළුව විසඳන්න බැහැ. මහනුවර, කොළඹ, දෙහිවල- ගල්කිස්ස, කරදියාන ආදී ප‍්‍රදේශ විතරක් නෙමෙයි මුළු රටේම, විශේෂයෙන්ම බස්නාහිර පළාතේ 25 පොළක මහා පරිමාණ ලෙස කසළ ගොඩගැසී තිබෙනවා. මහාපරිමාණ වශයෙන් කසළ අංගන 4 ක්, කරදියාන, මීතොටමුල්ල, බ්ලූ මෙන්ඩල්, පෑලියගොඩ ආදී ප‍්‍රදේශවල ගොඩගැසී තිබෙනවා. එනිසා නීතිමය වශයෙන් මේ ගැටළුව විසඳීම සඳහා පළාත් පාලන ආයතනවලට උපකාර කරන්න මධ්‍යම කසළ කළමනාකරණ අධිකාරියක අවශ්‍යතාවය තදින් අපට දැනෙනවා. මේ ප‍්‍රාදේශීය සභා නගර සභා නොවෙයි, මේ ප‍්‍රධාන ආයතනවල මේ ගැටළුව විසඳන්න. මේ ගැන අතිගරු ජනාධිපතිතුමාටත්, ගරු අග‍්‍රාමාත්‍යතුමාටත් අපි අවධානය යොමු කරනවා. ප‍්‍රධාන ගැටළු විසඳීම සඳහා මධ්‍යම කසළ කළමනාකරණ අධිකාරියක් පිහිටවා සියළු බලතල එක අධිකාරියට ලබාදී මෙම ගැටළුව විසඳීමට පියවර ගන්න කියලා.

ඉදිරි කාලයේදී අරුවක්කාලූ ප‍්‍රදේශයේ ඉදිකිරීමට යන කසළ ව්‍යාපෘතියට සියළු දෙනාම එකතුවෙලා කටයුතු කරමු කියලා ඉල්ලා සිටිනවා. ඉතිහාසයේ වගේ විරෝධතාවලින් ඒ කි‍්‍රයාවලිය ආපසු හරවන්න එපා, එය අනාගත පරපුර වෙනුවෙන් කරනු ලබන ආයෝජනයක්. එම ආයෝජනයට ඉඩ දෙන්න කියන ඉල්ලීමත් මෙම අවස්ථාවේදී ඔබ හැමගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම මතයක් තිබුණා, මාධ්‍යවල ප‍්‍රකාශ උනා කසළ ගැටළුව විසඳීමට හමුදාවට බාර දෙන්න කියලා. හමුදාව ඉන්නේ කසළ අදින්න නෙමෙයි, මේ ආයතන සෑම එකකටම හැකියාව තිබෙනවා මේ කසළ ගැටළුව විසඳීමට. අතිගරු ජනාධිපතිතුමා මා වෙත උපදෙස් ලබාදුන්න මේ කටයුත්ත අපේ අමාත්‍යාංශයෙන් භාරගෙන කරන්න කියලා. අපි එය පාලනය කලා. ජූලි 1 වෙනිදා සිට 31 වෙනිදා දක්වා අපි මිශ‍්‍ර කසළ ටොන් 27,000 ක්, එම කාලය තුළ කොම්පෝස්ට් ටොන් 13,000 ක් අපි මේ වන විට භාරගෙන විධිමත්ව කළමනාකරණය කර තිබෙනවා. ඒ වගේම මේ කාලය තුළ මිලියන 3 කට වැඩි දඩමුදලක් එකතු කර තිබෙනවා කසළ එකතු නොකරපු ආණ්ඩුවේ ආයතනවලින්, පෞද්ගලික ආයතනවලින්. පරිසර පොලීසිය මගින් 2015 වසරේ මුළු බස්නාහිර පලාතේම තැන තැන කසළ දැමූ අය අත් අඩංගුවට ගෙන තිබුණේ 1,303 යි. නමුත් පසුගිය මාසයේ පමණක් 3,535 ක් අත් අඩංගුවට ගත්තා කසළ පාරවල්වල දාපු අය. මේ මාසයේදී කසළ පිළිබඳව පැමිණිිලි ලබාදෙන්න 1917 කියන අංකය ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. පළාත් පාලන අමාත්‍යාංශයේ කසළ කි‍්‍රයාකාරී අංශය මගින් සෑම කසළ ලොරියක්ම තමන්ගේ දෛනික වගකීම ඉටු කරනවාද කියා ඉලෙක්ට්‍රොනික වශයෙන් අපි සොයා බලනවා. ඒ වගේම යුද හමුදාවේ අලංකරණ අංශය මගින් දැනටමත් විධිමත් කි‍්‍රයාවලියක් අපි සකස් කර තිබෙනවා. කසළ දාන ස්ථානවල ඡුායාරූප අරගෙන ඒවා අප අතරේ බෙදා හරිමින් කටයුතු කරන්න. පරගණක දත්තවලට අමතරව ජංගම දුරකතන වලින් මේ දත්ත හුවමාරු කර කසළ තිබෙන තැන් පිළිබඳව දැනුම් දෙන්නත්, ඒ පිළිබඳව වගකීම ඉටු කරන්නත් අපි කටයුතු කරනවා.

කොළඹ නගරයේ තිබෙන සෑම වත්තකටම අපි ප‍්‍රජා නියෝජිතයෙක් පත් කර තිබෙනවා තමන්ගේ කසළ පිළිබඳව කි‍්‍රයා කරන්න. අනෙකුත් සෑම නගර සභාවකටම, මහ නගර සභාවකටම එම කටයුත්ත කරන්නැයි කියා අපි ඉදිරියේදී ඉල්ලා සිටිනවා’ යයි පැවසීය.