ලොව වටා

ළඟම පාසලට යන්න - එය ඔබට හොඳම පාසලයි

2017 අගෝස්තු 24 වැනි බ්‍රහස්පතින්දා - 29  

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා 2016 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද සුවිශේෂී වැඩසටහනක් ලෙස ‘ළඟම පාසල - හොඳම පාසල‘ වැඩසටහන හැඳින්විය හැකිය. ඉහළ පහසුකම් සහිත පාසල් සංඛ්‍යාව ඉහළ නැංවීමෙන් ලක්ෂ තිස්පහක් වූ ශ්‍රී ලාංකික පාසල් දරැවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම මෙහි ප්‍රමුඛ අරමුණයි. මෙම වැඩසටහනට අයත් වන පාසල් සංඛ්‍යාව 8000ක් පමණ වේ.

26_big

මෙම පාසල්වල භෞතික හා මානව සම්පත් ඉහළ නැංවීම මගින් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා රැපියල් මිලියන 65,000ක් 2016 වර්ෂයේදී පමණක් වැය කර ඇත. ‘ළඟම පාසල - හොඳම පාසල‘ වැඩසටහන ව්‍යාපෘති 10ක් යටතේ ක්‍රියාත්මක කෙරේ. දුරබැහැර පාසල් සොයා නොගොස් තම ප්‍රදේශයේම හොඳම පාසලකට ඇතුළු වී  අධ්‍යාපනය ලබන්නට මේ නිසා ශ්‍රී ලාංකික පාසල් දරුවන්ට අවස්ථාව සැලසේ.

පාසල් පුරාණය

         ශ්‍රී ලංකාවේ පැරණි අධ්‍යාපනය පැවතියේ ආගමික මධ්‍යස්ථාන ආශ්‍රිතවය. පසු කාලයේදී විදේශ ජාතිකයන් විසින් ශ්‍රී ලංකාව අල්ලා ගත් පසු ඔවුන් විසින් මිෂනාරි පාසල් ක්‍රමය හඳුන්වා දෙන ලදී. ඒවා රට පුරා නගරාශ්‍රිතව ක්‍රියාත්මක විය. එහි ප්‍රධාන අරමුණු වූයේ ක්‍රිස්තියානි ආගම ප්‍රචලිත කිරීම හා   යටත් විජිත පාලන ක්‍රමය පවත්වා ගෙන යෑම සඳහා ‘සුදු කරපටි‘ උගතුන් බිහි කිරීමයි.

         බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී එයට එරෙහි වූ ශ්‍රී ලාංකීය සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයා තමන්ගේම වූ පාසල් ක්‍රමයක් බිහි කර ගැනීමට උත්සාහ ගත්හ. ඒ අනුව සිංහල බෞද්ධ පාසල්ද, දෙමළ හින්දු පාසල්ද, මුස්ලිම් පාසල්ද බිහි විය. මේ යුගයේදී මෙම පාසල්  විවිධ සමිතිවලට අයිති විය.

         ක්‍රමයෙන් පාසල් අධ්‍යාපනය කෙරෙහි රජයට මැදිහත් වන්නට සිදු විය. ඒ අතර 1946 දී ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර අධ්‍යාපන අමාත්‍යවරයා විසින් හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයට ජාතික සැලැස්මක් ඇතුළත් විය. ඒ අනුව මුල් අදියරේ දී මධ්‍ය විද්‍යාල 54ක් ආරම්භ කරනු ලැබිණි.

         සමිතිවලට අයත්ව තිබූ පාසල් 1961 දී රජයට පවරා ගත් අතර, ඒවා ජාතික පාසල් පද්ධතියට එක් විය. එහෙත් එවැනි පාසල් 71ක් අදටත් පවතින්නේ පෞද්ගලික පාසල් වශයෙනි. අධ්‍යාපන අමාත්‍ය අයි.ඇම්.ආර්.ඒ.ඊරියගොල්ල මහතා විසින් නව පාසල් කිහිපයක් අලුතින් හඳුන්වා දුනි.

         පාසල් පද්ධතිය සංවර්ධන කිරීමේ විශේෂ ව්‍යාපෘති ලෙස නවෝද්‍යා පාසල් වැඩසටහන, ඉසුරැ පාසල් වැඩසටහන, පාසල් දහස වැඩසටහන දැක්විය හැකිය. ළඟම පාසල - හොඳම පාසල වැඩසටහන දැනට ක්‍රියාත්මක වන අලුත්ම වැඩසටහනයි.

ජනප්‍රිය පාසල් තරගය

         අධ්‍යාපන අමාත්‍යාංශයේ 2016 පාසල් සංගණන සංඛ්‍යා ලේඛනයන්ට අනුව ශ්‍රී ලංකාවේ මුළු පාසල් සංඛ්‍යාව 10,162කි. එයින් 6338ක් සිංහල භාෂාවෙන්ද, 2989ක් දෙමළ භාෂාවෙන්ද අධ්‍යාපනය සලසයි. සිංහල හා දෙමළ මාධ්‍ය දෙකම පවතින පාසල් සංඛ්‍යාව 66කි. සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකම  පවතින පාසල් සංඛ්‍යාව 554 කි. දෙමළ හා ඉංග්‍රීසි භාෂා දෙකින්ම උගන්වන පාසල් සංඛ්‍යාව 168කි. සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන භාෂා තුනෙන්ම උගන්වන පාසල් සංඛ්‍යාව 47කි.

DSCN0005

         ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් සංඛ්‍යාව වන 10,162න් ශිෂ්‍ය සංඛ්‍යාව 2000ට වැඩි පාසල් සංඛ්‍යාව 323කි. එයිනුත් ශිෂ්‍ය සංඛ්‍යාව 3001 සිට 4000 දක්වා  පාසල් සංඛ්‍යාව 74ක් වන අතර, 4000ට වැඩි පාසල් සංඛ්‍යාව 47කි. ශිෂ්‍ය සංඛ්‍යාව 500ට අඩු පාසල් සංඛ්‍යාව 7832 කි. එයිනුත් ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු පාසල් සංඛ්‍යාව 2998කි.

         ගුරැ සංඛ්‍යාව ගත් විට එක් ගුරුවරයකු සිටින පාසල් සංඛ්‍යාව 27කි. ගුරැවරැන් දෙදෙනෙකු සිටින පාසල් සංඛ්‍යාව 108කි. ගුරුවරුන් තුන් දෙනෙකු සිට නව දෙනෙකු දක්වා සිටින පාසල් සංඛ්‍යාව 3013කි.  ඒ අතර ඉහළ පහසුකම් සහිත ජාතික පාසල් සංඛ්‍යාව 353කි.

         ජනප්‍රිය පාසල් තරගය ඇති වීමේ පසුබිම මෙයයි. ඉහත දැක් වූ පාසල් අතරින් ජනප්‍රිය පාසල් වන්නේ වැඩි සිසු සංඛ්‍යාවක් සිටින, වැඩි ගුරු පිරිසක් සිටින, විද්‍යා, කලා, වාණිජ, සෞන්දර්ය හා තාක්ෂණික උසස් පෙළ විෂයයන් උගන්වන  ජාතික මට්ටමේ පාසල්ය.

පහේ ශිෂ්‍යත්වය

         පහසුකම් අඩු පාසල්වල අඩු ආදායම් සහිත පවුල්වල සිටින දක්ෂ දරුවන්ට අත දීමේ අරමුණින් ආරම්භ කරන ලද පහේ ශිෂ්‍යත්ව විභාගය අද වන විට ජනප්‍රිය පාසලකට දරැවන්ට ඇතුළත් වීමට ඉඩ ලබා දෙන වරමක් වී ඇත. මේ නිසා කුඩා පාසල්වලින් පහේ ශිෂ්‍යත්වය සමත් වන දරැවන් එම පාසල් අත්හැර දමා නගරයේ ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වෙති.  මෙම තරගය අද වන විට අතිශය උග්‍ර වී ඇත. ඒ නිසා පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමට දරැවන්ගේ ඇති අපේක්ෂාව ඉතා ඉහළ මට්ටමක පවතී.

         පහේ ශිෂ්‍යත්වයෙන් සමත්වන දරැවන්ටද තම නිවසින් එතරම් ඈතට නොගොස් එම ප්‍රදේශයේම වැඩි පහසුකම් සහිත පාසලකට ඇතුළත් වීමට අවස්ථාව ‘ළඟම පාසල - හොඳම පාසල‘ වැඩසටහන යටතේ ලැබෙයි.

ළඟම පාසල - හොඳම පාසල වැඩසටහනේ ව්‍යාපෘති දහය

ප්‍රධාන ව්‍යාපෘති

ව්‍යාපෘතිය

අරමුණ

පාසල් සංඛ්‍යාව

A

සෑම ප්‍රාදේශික ලේකම් කොට්ඨාශයකින්ම තෝරා ගත් පාසල් දෙකක් සංවර්ධනය

650

B

මෙතෙක් කිසිදු ප්‍රධාන ව්‍යාපෘතියකට අයත් නොවූ දිවයින පුරා පිහිටි උසස් පෙළ විෂය ධාරා සහිත පාසල් සංවර්ධනය

1360

C

දැනට ක්‍රියාත්මක වන පාසල් 1000 ව්‍යාපෘතියට අයත් පාසල් සංවර්ධනය

1005

D

දිවයිනේ පිහිටි 1-5 ශ්‍රේණිය දක්වා සියලු ප්‍රාථමික  පාසල් සංවර්ධනය

3577

අනු ව්‍යාපෘති 06

ව්‍යාපෘතිය

අරමුණ

 

E

ග්‍රාමීය හා ප්‍රාදේශික පාසල්වල විදුහල්පති - ගුරු නිල නිවාස ඉදි කිරීම

 

F

පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැපයීම

 

G

විදුලි පහසුකම් සැපයීම

 

H

වතුපාසල් 25ක ද්විතීයික අංශය වැඩිදියුණු කිරීම

 

I

විද්‍යාගාර නොමැති පාසල්වල විද්‍යා අධ්‍යාපනය වැඩිදියුණු කිරීම

 

J

පාසල් දන්ත සෞඛ්‍ය පහසුකම් ලබා දීම

 

 

ශබ්ද කෝෂයට

Nearest School  ළඟම පාසල - Best School  හොඳම පාසල - Education Policy අධ්‍යාපන ප්‍රතිපත්ති - Secondary Schools ද්වීතීයික පාසල්- Education Problems අධ්‍යාපන ගැටලු - Equal Opportunities සම අවස්ථා - Physical Resources භෞතික සම්පත් - Human Resources  මානව සම්පත් - School Network පාසල් ජාලය - All Island මුළු දිවයින

ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ බන්දුල පී. දයාරත්න

තොරතුරු ලබා දුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘ළඟම පාසල - හොඳම‘ පාසල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ  කේ.පත්මානන්දන් මහතාටත්, තොරතුරු තාක්ෂණ විශේෂඥ ඉන්දික අලුත්ගේ මහතාටත්, සංවර්ධන සහකාර මල්ලිකා දමයන්ති මහත්මියටත් ස්තුතියි.

විඩියෝ- GOVERNMENT FILM UNIT (GFU)

 

වැඩිදුර කියවීම් සඳහා