පරිසරය

අංගමැඬිල්ල උද්‍යානය

2017 අගෝස්තු 28 වැනි සඳුදා - 39  

ගමන් මාර්ගය- දඹුල්ල කන්ඩලම හරහා බකමූණට පැමිණ අංගමැඬල්ලට ළගා විය හැකියි.

සීමා- උතුරින් පරාක්‍රම සමුද්‍රයත්, දකුණින් අඹන් ගඟත්,නැගෙනහිරෙන් යෝධ ඇළත්, බස්නාහිරෙන් රදවියගේ ඔයෙනුත් සීමා වේ.

අංගමැඩිල්ල උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිට යි. මින්නේරිය-ගිරිතලේ වනෝද්‍යානයේ කොටසක්ව පැවැති අංගමැඬිල්ල උද්‍යානය 2006 ජුනි මස 06 වැනි දා සිට ජාතික වනෝද්‍යානයක් බවට පත්විය.Angammadilla-A

අංගමැඬිල්ල වනෝද්‍යානය සොයා යන අප ගිරිතලේ ද පසු කළෙමු. වනෝද්‍යානයේ ඇති හරිත පැහැයෙන් යුතු වන පෙත මැදින් අප යා යුතු මාර්ගය වැටී තිබේ. මාර්ගයේ දකුණු පස ගණ දෙවි රූපයකි. ඊට යාබඳව බුදු මැඳුරකි. අපි ද දෙවියන් බුදුන් වැඳ වන අත්තක් කඩා එහිම දවටා දෙවි රැකවරණය පැතුවෙමු.

උද්‍යාන භාරකරුගේ කාර්යාලය වෙත ළඟා වී මදක් විවේක ගතිමු. රෑස්ස වනස්පතිහූ නිසොල්මනේ මහා පෞරුෂයක් නංවාගෙන අප දෙස බලා සිටී. සෞම්‍ය වූ සිසිල් මද පවන ද වෙහෙසකර වු අප ගත කුල්මත් කරමින් සිටී. කාල හෝරාවක් ඉක්මවා යන්නට මත්තෙන් අප රජ බැම්ම වෙත යා යුතුය. පරාක්‍රමබාහු රජ දවසේ නිර්මාණය වූ රජ බැම්ම ඉදි කොට ඇත්තේ අඹන් ගඟ හරස් කොට ය.

එක සමාන හතරැස් බැම්මෙන් නතරවන ජල කඳ යෝධ ඇළ ඔස්සේ පරාක්‍රම සමුද්‍රය පෝෂණය කරයි. පැරැන්නෝ යෝධ ඇළ ආකාශ ගංගාව වශයෙන් හැඳින්වූහ. රජ බැම්ම ආසන්නයේ දකුණු පිසින් අඹන් ගඟට ජලය සපයන රදවියගේ ඔය ගලා බසී. රදවියගේ ඔයට සමාන්තරව ගලා බසිනා මාවතේ දැන් අපි ගමන් කරමු. රෑස්ස ගස් ගොමු හැඩති වන වියන් නිමවා ඇත.

හිරුට පොළව සිප ගන්නට නොදී වැරෙන් රැක ගෙන ඇත්තා සේය. තෙත බරිත වු පොළොව මත මා නිරුවත් දෙපයින් ගමන් කළේ පොළොවේ සිසිලස උපරිමයෙන් දෙපයට ලබාදීමට ය. එය අතිශයින් සිසිලස ය. සුවඳායකය. ළා පත් ද, වියල් පත් ද වෙනසක් නැත. ඒවායෙහි පිනි බිඳු තැවරී ඇත. ඒවා ස්පර්ශවන දෙපතුල කිතිකැවෙයි. යළි යළිඳු සොයන්නේ පිනි බිඳු ය. තෙත බරිත ළා පත්ම ය.

වන මල් ගොමු ද සිය රූප ශෝබාව පෙන්වමින් සිටී. ඕකෑල්ල නැමැති මලින් පිරී ගිය අතු ද සුළගට නැළවෙයි. වන අතු ද දෙපා පිළිගැනීමට තරඟයකි. අප දැන් ළගා වුයේ අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානය වෙත ය. මෙය මීට වසර කිහිපයකට පෙර සාදා ඇත.

නමුත්, කිසිවෙකු එහි නැත. කැලෑව විසින් එය වසාගෙන ඇති බැවින් දුටුවන්ගේ සිත් කම්පාවට පත් කරයි. කළුවර, වීර, මොර, බොරමදන, දඹ ආදී රෑස්ස වනස්පතිහු මෙන්ම තැනිතලා තෘණ බිම් ද මඩ වඟුරු ද මෙහි අඩුවක් නැත. දිය කඩිති හා සපත්තු පාලම් ද පසු කළෙමු. දැන් අප ළගා වුයේ තැනිතලා භූමි භාගයකට යි.DSC_0840

වලි කුකුළු ජෝඩුවක් උන්ගේ පාඩුවේ ආහාර සොයන අයුරු දුටිමු. අපගේ ශබ්දයට උන් වහා ගමන් මාවත වෙනස් කළහ. මෙහිදී මුගටියන්, ඉත්තෑවන්, ගෝනුන්, මුවන්, මී මින්නන් හා අලින් දැක බලා ගැනීමට හැකිය.

දිවියා, වලහා ගැවසුණ ද උන් දැක බලා ගැනීමට ලේසි පහසු කටයුත්තක් නොවේ.

දඬු ලේනුන්ගෙන් ද අඩුවක් නැත. සියොත් රාවය අපගේ දෙසවන් පුරවාලයි. අපි සිටින්නේ කුරුලු උයනකදැයි විටෙක සිතෙයි.

උන්ගේ දොඩමළු කතා බහ, රංගනයන්ගෙන් වනෝද්‍යානය දෙවනත් වෙයි. පිටරත් කෑරලා, වත රතු මල් කොහා, කහ කුරුල්ලා, නිල් පෙඳ බිඟුහැරයා, පුංචි බිඟුවරයා, මොනරා, අලු කෑදැත්තා ඇතුළු දෙස් විදෙස් සංචාරක පක්ෂි අභය භූමියක් ද වෙයි.

සමනල විශේෂ, කෘමි විශේෂ, පමණක් නොව උරග විශේෂ ද රැසකි. ඒ අතර නයා, පොළඟා, මල්සරා කැපී පෙනේ. අයාලේ යන රිලා හා වඳුරු රංචු ද නැතුවා නොවේ. මේ එකී මෙකී නොකී සත්ත්වයන්ගේ අභය භූමිය යි. උන්ගේ නිවහන යි. එසේ හෙයින් උන්ට රිසි රිසි සේ ඉන්නට ඉඩ හැර අප ඉවත්ව යා යුතුය.

දැන් අප සිටින්නේ මහයියාව වැව අසබඩ ය. මහයියාවේ සුන්දරත්වයෙන් අපි මෝහනයට පත්ව සිටින්නෙමු. කරවටක් ගිලී ගිය සුවිසල් ගස් අඬක් දිරා ගිය ගස් මත ගිමන් හරින බමුණු උකුස්සන්, කහ කොකා, කහ මැටි කොකා, සුදු මැදි කොකා, කරවල් කොකාගේ හා කිරලුන්ගේ දර්ශනයෙන් අපි මෝහනය වී සිටින්නෙමු.

ගැඹුරු ජල තලයේ කිඹුලුන් ද අඩුවක් නැත. වැව අද්දරින් විහිදී යන්නේ සුදු කන්දයි. මෙය වස්ගමුවේ සිට ගිරිතලේ දක්වා විහිදී පවතී. අංගමැඬිල්ල වනෝද්‍යානයට ජලය ලැබෙන්නේ ඊසාන දිග මෝසම් මඟිනි.

වාර්ෂික වර්ෂාපතනය මි.මි 1200-200 කි. මැයි සිට අගෝස්තු දක්වා පවතින්නේ ඉඩෝර කාලයකි. වියළි කලාපීය සදාහරිත වනාන්තර ගනයට මෙය අයත් වේ.

මේ නිහඬ වන පෙතේ වන දරුවන්ට වන්සපතීන්ට හිරිහැරයක් නොකර ඔවුන්ගේ රැඟුම් බලා තුටු සිතින් ඔබටත් මෙයින් සමුගැනීමට කිසිවකුගෙන් බාධාවක් නැත.
ශාන් බන්දු වීරසිංහ

angammadilla DSC_0252 DSC_0263 DSC_0338 DSC_0339 DSC_0343 DSC_0347 DSC_0348 DSC_0656 DSC_0852