විද්‍යා

සූර්ය බලශක්තියෙන් වයඹ සරසවිය බැටරි හදයි

2017 සැප්තැම්බර් 11 වැනි සඳුදා - 120  

සූර්ය බලශක්තිය ගබඩා කිරීම සඳහා දේශීය මිනිරන් හා ජෙලි පොලිමර් විද්‍යුත් විච්ෙඡ්ද්‍ය උපයෝගී කරගෙන පරිසර හිතකාමී අඩු පිරිවැය බැටරි හා විශේෂ ධාරිත‍්‍රක වයඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිපදවා තිබේ.
වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාවහාරික විද්‍යා පීඨයේ ඉලෙක්ට්‍රෝනික දෙපාර්තමේන්තුවේ මහාචාර්ය කමල් විදානපතිරණ මහතා සහ මහාචාර්ය කුමුදු පෙරේරා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පශ්චාත් උපාධි අපේක්‍ෂක ඩබ්ලිව්.ඒ.ඞී.එස්. වීරසිංහ සහ වත්සලා ප‍්‍රසාදිනීගේ දායකත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරේ. මේ සඳහා ජාතික පර්යේෂණ සභාව, ජාතික විද්‍යා පදනම සහ වයඹ විශ්වවිද්‍යාලය මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදී තිබේ.
පර්යේෂණය සාර්ථකයි
 Prof K.P. Vidanapathirana Prof K.S. Perera  
පර්යේෂණ කණ්ඩායම විසින් නිපදවන බැටරිවල ජෙල් පොලිමර් විද්‍යුත් විච්ෙඡ්දක ලෙසත් ධන අග‍්‍රයට මැග්නීසියම් හෝ සින්ක් ලෝහයන් හා සෘන අග‍්‍රයට දේශීය මිනිරන් භාවිත කර ඇත. විශේෂ ධාරිත‍්‍රක සඳහා මිනිරන් සහ ජෙල් පොලිමර් විද්‍යුත් විච්ෙඡ්ද්‍ය යොදාගෙන පර්යේෂණාගාර මට්ටමින් සාර්ථකව අත්හදා බැලූ බව විද්‍යාඥයෝ පවසති.

assembling-a-cell-5 Entrance-to-research-lab Gel-polymer-electrolyte graphite-electrodes Supercapacitor-with-graphite-electrodes

බලශක්ති සංග‍්‍රාමයට ආයෝජනයක්
රජය ක‍්‍රියාත්මක කරමින් පවතින සූර්ය බල ශක්ති සංග‍්‍රාමයේ නිවාස දශ ලක්‍ෂයකට සූර්ය පැනල ලබාදීමේ වැඩසටහන ඇතුලූ විවිධ ඉලෙක්ට්‍රෝනික භාවිත ඉලක්ක කරගෙන මෙම බැටරි හා විශේෂ ධාරිත‍්‍රක සැකසේ. සූර්යබල නිෂ්පාදනයේ දැනට පවතින ප‍්‍රධාන ගැටලූව ලාභදායී ලෙස එම විදුලිබලය ගබඩා කිරීමට නොහැකිවීමය. විශේෂයෙන් රාත‍්‍රී කාලය සඳහා එම සංරක්‍ෂිත විදුලිබලය ඉතා අත්‍යවශ්‍යවේ. දැනට ගබඩා කිරීමේ උපකරණ ලෙස පවතින බැටරි හා විශේෂ ධාරිත‍්‍රකවල මිල ඉතා අධිකය. සූර්ය බලශක්ති සංග‍්‍රාමය ප‍්‍රධාන වශයෙන් ඉලක්ක වනුයේ ග‍්‍රාමීය ජනතාවටය. එහිදී ඔවුන්ට දැරිය හැකි මිලකට බැටරියක් හෝ විශේෂ ධාරිත‍්‍රක නිපදවීම කාලීන අවශ්‍යතාවක් වේ.
ජෙල් පොලිමර් විද්‍යුත් විච්ෙඡ්ද්‍ය
වෙනත් ව්‍යාපෘති කීපයක් යටතේ පර්යේෂණ කණ්ඩායම විසින් මීට පෙර සැකසූ ජෙල් පොලිමර් විද්‍යුත් විච්ෙඡ්ද්‍ය මෙහිදී යොදාගැනීමට බලාපොරොත්තුවේ. එයට හේතුව දැනට ලොව පුරා දක්නට ලැබෙන බොහෝ බැටරි හා විශේෂ ධාරිත‍්‍රකවල ඇති විද්‍යුත් විච්ෙඡ්ද්‍යවල ඇති ගැටලූකාරී තත්ත්වයයි.
ස්වාභාවික සම්පතකට වටිනාකමක්
බැටරි සඳහා මැග්නීසියම්, සින්ක් වැනි ලෝහ භාවිත කිරීමට මූලික හේතුව වන්නේ දැනට ප‍්‍රධාන වශයෙන් භාවිත වන ලිතියම් ලෝහයේ ඇති අනාරක්‍ෂිත බවය. භාවිතයේදී මෙන්ම ඉවත දැමීමේදීද ලිතියම් සම්බන්ධව ගැටලූකාරී තත්ත්ව පවතී. බැටරි හා විශේෂ ධාරිත‍්‍රක සඳහා මිනිරන් භාවිතයට ගැනීම මගින් එම උපාංගවල මිල අවම කරගැනීමට මෙන්ම අප රටේ ස්වාභාවික සම්පතකට වටිනාකමක් ලබාදීමටද හැකියාව ලැබේ. 
මේවන විටත් පර්යේෂණාගාර මට්ටමින් ඉතා සාර්ථක ප‍්‍රතිඵල අත්කර තිබීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. දෙවසරක් පමණ කාලයක් ඇතුළත මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට මොවුහු බලාපොරොත්තු වෙති. ඒ වන විට මෙය සාර්ථක නිෂ්පාදනයක් වනවාට කිසිඳු සැකයක් නොමැති බව මහාචාර්ය විදානපතිරණ මහතා පවසයි.

(ගයාන් සූරියආරච්චි)