ලොව වටා

රාගමාලා  සිතුවම්

2018 මැයි 10 වැනි බ්‍රහස්පතින්දා - 112  

ස්වර රසයත්, අර්ථ රසයත් එකට මිශ්‍ර වීමෙන් මිනිස් සන්තානයෙහි ජනිත වන සැබෑ වින්දනය, “රාගමාලා” ලෙස හඳුන්වයි. උත්තර භාරතීය රාගධාරී සංගීතයට අනුව රාග රාගිනී 36කි. සීමිත ස්වර සමූහයකින් නිර්මාණය කර ඇති මෙම රාග, පුරුෂ රාග (රාග), ස්ත්‍රී රාග (රාගිනී), රාගපුත්‍ර හා රාගපුත්‍රී වශයෙන් පවතියි. මේ සියලු ම රාගයන් සඳහා “ගාන සමයක්” පවතින්නේ ඉන් ජනිත වන වින්දනය සහෘදයාට ලබා දිය යුතු බැවිනි. මූලික පුරුෂ රාගයන් වන “භෛරව, දීපක්, ශ්‍රී, මාල්කෝෂ (මාල්කෞන්ස්), මේඝ, හින්දෝල” යන රාගයන් ගිම්හාන, මෝසම, සරත්, වස්සානය, ශීත සමය, වසන්තය යන ඍතුවල දී ගායනා කෙරෙයි.

එම වින්දනය සහෘදයා වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා රාගමාලා සිතුවම් නිර්මාණය වීම ආරම්භ විය. රස නිෂ්පත්තියෙහි ලා ප්‍රවීණතාවක් දැක් වූ ශිල්පීන්ගේ අදහසත්, සහෘද හද තුළ ‍චිත්‍රණය කරන්නා වූ අදහසත් එක් කරමින් මෙම සිතුවම් නිර්මාණය කර ඇත.

මේ(ර්)වා නම් රාජස්ථානි රාජ්‍යයක මෙම රාගමාලා සිතුවම් නිර්මාණය වීම ක්‍රි.ව. 1605 දී පමණ සිදුවන්නට ඇති බව සැලකේ. මෙලෙස නිර්මාණය වූ මුල් ම සිතුවම “මාලා ශ්‍රී රාගිනී” ය. සිය පෙම්වතා අහිමි වීම නිසා ශෝකයෙන් සිටින පෙම්වතියක මෙයින් නිරූපණය කෙරෙයි.

එසේ ම පසුකාලීන ව මධ්‍ය ඉන්දියාවේ “මාල්වා” මුල් කරමින් 1625 දී පමණ වෙන ම සම්ප්‍රදායක් අනුව සිතුවම් නිර්මාණය විය. “තෝඩි රාගිනී” මෙයට නිදසුනකි. ප්‍රේමය, ශෘංගාරය, ත්‍රාසය, ශෝකය, කරුණාව, පාළුව, කාන්සිය වැනි භාව ප්‍රකාශන තේමාවන් මුල් කොටගත් මෙම සිතුවම් රාගයේ අදහස වඩාත් තීව්‍ර කර දක්වන්නට සමත් වී ඇත.

මෙලෙස රාජ්පුත් ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද රාගමාලා සිතුවම් අතර; භෛරව, භෛරවී, ආශාවරී, තෝඩි, පූර්වි, කේදාර්, මේඝමල්හාරා, මාල්කෞන්, මාලා ශ්‍රී, පුන්‍යාකි, සාරංග වැනි රාගමාලා චිත්‍ර සමූහයක් දැක ගත හැකි ය.

තරුෂි විජේරත්න

(සිතුවම් උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)

වැඩිදුර කියවීම් සඳහා