ලොව වටා

මෝගල් සිතුවම් කලාව

2018 මැයි 10 වැනි බ්‍රහස්පතින්දා - 170  

  චන්ද්‍රගුප්ත මෞර්ය රජු විසින් අරඹන ලද මගධ අධිරාජ්‍යය, අශෝක අධිරාජ්‍යයා විසින් පුළුල් කරනු ලදුව ඉන්දියාව පුරා ම, බෞද්ධ ධර්මය හා දර්ශනය මුසු විය. පසු ව ගුප්ත අධිරාජ්‍යය තුළ දී මෙය යළි නැගී සිටිය ද, විදේශීය ආක්‍රමණත් සමග එය කෙමෙන්  කෙමෙන්  බිඳ වැටෙන්නට විය.

මුස්ලිම්වරුන් විසින් ඉන්දියාව ආක්‍රමණය කරනු ලැබීමත් සමග,  ඉන්දියාවේ සාම්ප්‍රදායික චිත්‍ර කලාව වෙනත් මගක් ගනු ලැබිණි. ඉස්ලාම් දර්ශනයට අනුව කිසිදු ජීවමාන පුද්ගලයෙකු සිතුවමට නැගීම තහනම් විය.

එසේ වුවත් පසුකාලීන ව ඉස්ලාම් භක්තික මෝගල්වරුන් හා පර්සියානුවන් අතර ඇති වූ සබඳතා මත ඉන්දීය සිතුවම් කලාව, පර්සියානු ලක්ෂණ මුසු ව නිර්මාණය විය. ඉස්ලාම් ධර්මය හා සම්බන්ධ ආගමික තේමාවන් වෙනුවට ඔවුහු ලෞකික තේමාවන් මුල් කර ගනිමින් සිතුවම් අඳින්නට වූහ. මෝගල්වරුන් විසින් භාරතයට හඳුන්වා දෙන ලද මෙම සිතුවම් සම්ප්‍රදාය භාරතීය ශිල්පීන් විසින් භාරතීය ලක්ෂණ ද මුසු කොට නව්‍ය මෙන් ම සංකීර්ණ වූ ද සිතුවම් සම්ප්‍රදායක් බිහි කරන ලදි. මෙය “ඉන්දු පර්සියානු චිත්‍ර සම්ප්‍රදාය” හෙවත් “මෝගල් චිත්‍ර සම්ප්‍රදාය” ලෙස හඳුන්වනු ලබයි.

පර්සියානු චිත්‍ර කලාවට ළැදි වූ “හුමායුන්” නම් ප්‍රථම මෝගල් අධිරාජ්‍යයා, මෙම  චිත්‍ර කලාවේ පුරෝගාමියා විය. පර්සියාවේ සිට පැමිණෙන විට ඔහු විසින් “අබ්දුල් සමාද්” හා “මීර් අලි සෙයියදු” යන ශිල්පීහු කැඳවාගෙන එන ලදහ. හුමායුන් රාජ්‍ය සමයේ දී රචනා වූ ග්‍රන්ථයක් වන “දස්තන් - ඉ - අමීර් - හම්සා”හි සිතුවම් නිර්මාණය කිරීම මෙම ශිල්පීන් විසින් සිදු කරන ලද බව කියැවෙයි.

මෙලෙස ඉන්දියාව තුළ මෝගල් සම්ප්‍රදාය ස්ථාපිත වුව ද, එහි වඩාත් වර්ධනයක් සිදු වූයේ අක්බර් රජු සමයේ දී ය. උස්තාද් මන්සූර්, අමීර් කුෂ්රම්, අබ්දුල් හසන් වැනි ශිල්පීන් ද, බසවන්ත්ලාල්, මුකුන්දු, ජගන්නාථ, හරිබත් වැනි භාරතීය ශිල්පීන් ද තාත්විත මානව රූප ඇඳීමේ දක්ෂයෝ වූහ.

ජේත්පූර්හි සිතුවම් ඇඳි මොවුන් බිත්ති මතුපිට, සිතුවම්වල කටු සටහන් ඇඳ, කොටස්වලට බෙදා වර්ණ ගැන්වීම සිදු කර ඇත. “දස්තන් - ඉ - අමීර් - හම්සා” නම් ග්‍රන්ථයට අනුව චිත්‍රණය කළ “හම්සා නාම” නම් සිතුවම් පෙළ මෙයට නිදසුනකි.

කාලයත් සමග දියුණු වූ මෙම සිතුවම් ස්වාභාවිකත්වයෙන්, විචිත්‍ර වර්ණයෙන් මෙන් ම කල්පිත සිදුවීම්වලින් ද අනූන විය. ජෙහන්ගීර් රාජ්‍ය අවධියේ දී සිතුවම්වල පර්සියානු ලක්ෂණ හීන වී භාරතීය කලා ලක්ෂණ වර්ධනය විය. මෙම අවධිය මෝගල් සිතුවම් කලාවේ ස්වර්ණමය අවධිය විය. මෙම මෝගල් සිතුවම් අතර; “අක්බර් නාම (අක්බර් අවධිය), ලේනුන් පිරි හේනේ ගස (ජෙහන්ගීර් අවධිය), ජෙහන්ගීර් සිතුවම (ජෙහන්ගීර් අවධිය), සා ජහාන් (සා ජහාන් අවධිය), කුපිත වූ අලියෙකු මෙල්ල කිරීම, මුව දඩයම වැනි සිතුවම් රාශියක් ම නිර්මාණය විය.

මෙම නව්‍ය චිත්‍ර කලාව හැදෑරීම මගින් නූතන විද්‍යාර්ථීන් හට වෙනස් ම ආරක සිතුවම් සම්ප්‍රදායක අත්දැකීම් හිමිකර ගන්නට වර්තමානයේ නිව්යෝර්ක්හි මෙට්‍රොපොලිටන් කෞතුකාගාරය මගින් පහසුකම් සලසා තිබේ.  

 තරුෂි විජේරත්න

(සිතුවම් උපුටා ගැනීම අන්තර්ජාලය)

වැඩිදුර කියවීම් සදහා

මෝගල් සිතුවම් (හම්සා)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මූගල් සිතුවම් ( අක්බාර්)