ලොව වටා

තිස්ස රණසිංහයන්ගේ රාජකීය විද්‍යාලයේ බිතු කැටයම

2018 නොවැම්බර් 07 වැනි බදදා - 31  

කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලේ මෙම අගනා බිතු කැටයම දක්නට ලැබේ.  මෙය නූතන මූර්ති කලාවේ නව මානයක් ඇති කළ නිර්මාණයකි. ටෙරාකොටා මාධ්‍යයෙන් නිමවා ඇත. මෙය අර්ධ උන්නත ව නිර්මාණය කර ඇති මෙයට වස්තු විෂය වී ඇත්තේ ලාංකේය නාට්‍ය කලා ඉතිහාසය හා විකාශනයයි. නාට්‍ය කලා ඉතිහාසයේ අවස්ථා කිහිපයක් මෙහි නිරෑපිත ය. මෙම කලා නිර්මාණයට ඝනිකවාදී ශිල්පීය ආභාසය ලැබී ඇතැයි යන්න විචාරක මතයයි. ඝනිකවාදී හැඩතලවලට අමතරව ශෛලීගත හැඩද නිර්මාණය සඳහා පාදක කරගෙන ඇත. 
තිස්ස රණසිංහ
මෙය නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නූතන මූර්ති කලාවේ නව ශෛලියක් බිහි කිරීමට පුරෝගාමී වූ විශිෂ්ටතම මූර්ති ශිල්පියකු ලෙස සැලකෙන තිස්ස රණසිංහ මහතාය. මෙතුමන් 1925 මීගමුව යෝගියාන නැමැති ප්‍රදේශයේ උපත ලැබීය. හෙතෙම මරදාන කාර්මික විදුහලේ ජේ.ඩී.ඒ පෙරේරා මහතා යටතේ චිත්‍ර කලාව හදාළේය. ශ්‍රී ලාංකේය නූතන මූර්ති ශිල්පයට ලෝකඩ මාධ්‍ය හා වාත්තු කිරීමේ ශිල්ප ක්‍රමය හඳුන්වා දුන්නේ මෙතුමා ය. කොළඹ රාජකීය විද්‍යාලයේ ඇති බිතු කැටයම නිමවන්නේ ද ඒ ශිල්ප ක්‍රමය අනුව ය.  
සිරිසඟබෝ නාට්‍යයේ ජවනිකා
රාමුව මධ්‍යයේ සිට වම්පස කොටසේ ජෝන් ද සිල්වා සූරීන්ගේ සිරිසඟබෝ නාට්‍යයේ එන ජවනිකාවක් මූර්තිමත් කර ඇත. එහි සිරිසඟබෝ, සංඝබෝධි හා සංඝතිස්ස යන කුමාරවරැන් පූජනීය අනුරාධපුර නගරය නරඹන අවස්ථාව නිරෑපණය වෙයි. දන්නෝ බුදුන්ගේ ගීතයේ එන අනුරාධපුරයේ වර්ණනාත්මක විස්තරයද මෙහි දැක්වේ. 
මධ්‍යයේ සිට දකුණු කෙළවරේ උඩු කොටසේ නිර්මාණය කර ඇත්තේ සරච්චන්ද්‍ර සූරීන්ගේ මනමේ නාට්‍යයේ එන පොතේ ගුරා හා අත්වැල් ගායක කණ්ඩායමයි.ඊට පහළින් මනමේ නාට්‍යයේ ධනුද්ධර කුමරැ වැදිනායකයා යටත් කර ගැනීමත්, මනමේ බිසව කඩුව ඇතැතිව සිටීමත් නිරෑපණය වේ. ඊට පහළින් මැද කොටසේ ටවර්හෝල් යුගයේ සර්පිනාවක් වාදනය කරන පුද්ගලයකු නිරෑපණය වේ.

නාට්‍ය කොටස්
රාමුව මධ්‍යයේ නිර්මාණාත්මක ගසකි. එයින් නාට්‍ය කලාවේ චිරස්ථිතිය සංකේතවත් වේ. ගසේ කඳෙන් බෙදී ගිය අතුවලින් නිරෑපණය වන්නේ වර්තමාන නාට්‍යවල කොටස්ය. නිර්මාණාත්මකව ගළපා ඇති නාට්‍ය කොටස් අතර නරිබෑනා, වහලක් නැති ගෙයක්, ජනේලය, මුහුදු පුත්තු, එළොව ගිහින් මෙලොව ආවා, තොටුපොළ, රත්තරන්, බෝඩිංකාරයෝ, තට්ටු ගෙවල් ආදී නාට්‍යවල කොටස්ද දැක්වේ.
පොදුවේ ගත් කල මෙම රාමු හතරම සුදු, නිල්  පාටවලින් හා පුලුස්සන ලද මැටි පැහැයෙන් වර්ණ ගන්වා තිබේ. පළමුව මෙම රාමු හතරම වෙන වෙනම උළු මැට්ටෙන් අඟල් තුන්කාලක් පමණ ඝනව සිටින සේ තළා සමතලා කර අතුරා ඇත. පසුව තෙත ගතියෙන්ම තිබියදී රෑප මතුකර වර්ණ යොදා ඇත. තිස්ස රණසිංහ මහතාට මෙම අගනා මූර්තිය ඇඹීමට මූල්‍යමය අනුග්‍රහය ලබා දී ඇත්තේ ඇන්ටන් වික්‍රමසිංහ මහතාය.

තොරතුරැ- චිත්‍ර කලා ආචාර්ය සමන් කළුබෝවිල මහතා

උපේක්ෂා මුණවීර
ඡායාරෑප-රැෂිරැ තරංග

දින පොත