ස්ථාන

පොලොන්නරැ වටදාගෙය

2018 දෙසැම්බර් 06 වැනි බ්‍රහස්පතින්දා - 53  

වටකුරැ ධාතු ගෙය වටදාගෙන යනුවෙන් හැඳින්වේ. අතීතයේ මෙම වෘත්තාකාර ධාතු ගෘහය මධ්‍යයේ ස්තූපයක් සාදා සර්වඥ ධාතු නිධන් කර තිබීම නිසා මෙලෙස හඳුන්වයි. වටදාගෙය සාදන්නේ කුඩා ස්තූප සඳහා පමණි. ඒ ස්තූපයේ ආරක්ෂාවටය.
දළදා මැදුරක්
පළමුවන විජයබාහු රජතුමාට පසු ලක්දිව එක්සේසත් කළේ පළමුවන පරාක්‍රමබාහු රජුයි. දළදා පූජාවලියේ සඳහන් අන්දමට පරාක්‍රමබාහු රජු සුගලා දේවිය භාරයේ තිබූ දළදාව සියතට ගෙන පොලොන්නරැව නගරයේ එතුමන්ගේ රජමාලිගය ආසන්නයේම දළදා මැදුරක් ඉදිකොට තිබේ. සෙනරත් පරණවිතාන මහතාගේ මතයට අනුව අද පොලොන්නරැ පුජා භූමියේ දක්නට ඇති මෙම වටදාගෙය එම දළදා මාලිගාව වටකොට සාදන ලද්දකි.
සඳකඩපහණ
පොලොන්නරැ වටදාගෙය ප්‍රධාන වේදිකා දෙකකින් යුක්තය. පහළ මාලයේ විෂ්කම්භය අඩි 120කි. පොළොවේ සිට අඩි 4 අඟල් 6 ක් උසය. පහළ වේදිකාවට ගොඩවීමට පියගැටපෙළ ඇත්තේ උතුරැ දෙසිනි. පියගැට පාමුල ඇති සඳකඩපහණ විශේෂත්වයක් ගනී. එනම් පොලොන්නරැ යුගයෙන් හමු වන හොඳම සඳකඩපහණ මෙයයි. මෙහි අශ්ව රෑප 12කි. හංස රෑප 30කි. සත් පොළකින් වක ගැසුණු ලියවැල් පෙති නවයකි. මධ්‍යයේ සුපිපි නෙළුමකි. අශ්ව රෑප 14 කි. අල්ප උන්නත ශිල්ප ක්‍රමයට අනුව කැටයම් කර ඇත. පොලොන්නරැ යුගයේදී හින්දු බලපෑම නිසා සඳකඩපහණෙන් ගවයා ඉවත් විය.
ශෛලමය ප්‍රාකාරය
පහළ වේදිකාවේ සිට ස්තූපය පිහිටි ඉහළ වේදිකාවට ගොඩවීමට සිව් දිසාවෙන්ම පිටගැටපෙළ සතරකි. වේදිකාව වටා ශෛලමය ගල් ගරාදි වැටකි. ගල් වැටේ පිටත  මල් මෝස්තරවලින් අලංකාර කර ඇත‍. ගරාදි වැටේ තැන් තැන් වලින් ඉහළ නැඟි ගල් ස්තම්භ කිහියපකි. ගල් වැටෙහි පිටතින් බොරදම් තීරැ කිහිපයකි. 
එම තීරැවල සිංහ රෑප, වාමන රෑප කැටයමට නඟා ඇත. ගල් වැටෙහි  නැගෙනහිර දිසාවේ පියගැටපෙළට සම්බන්ධ කර තිබෙන මුරගල පොලොන්නරැවෙන් හමු වන ‍හොඳම මුරගල ලෙස සැලකෙයි. ගල් ගරාදි වැට ඇතුළතින් ගඩොලින් ආවරණයකි. වර්තමානය වන විට ඉතිරිව පවතින්නේ මෙම ගොඩනැගිල්ලේ බිත්ති කිහිපයක් පමණි. මෙම ගඩොල් ගොඩනැගිල්ල මධ්‍යයේ ඇත්තේ ගඩොලින්ම තැනූ කුඩා ස්තූපයකි. 

බුද්ධ ප්‍රතිමා 
ස්තූපය සතර පැත්තේ සතර දිසාවට මුහුණලා හිඳි බුද්ධ ප්‍රතිමා සතරකි. එය ශෛලමය ආසනයක් මත වැඩ හිඳින ආකාරයෙන් නිමවා ඇත. ප්‍රතිමාවල සිවුරැ රුලි වලින්ත තොරය. හිස මුඩු කොට ඇත. මෙම ලක්ෂණ හා සැසඳමේදී මෙම ප්‍රතිමා පොලොන්නරැ යුගයේ නිර්මිත ප්‍රතිමා වලින් වෙනස් මඟක් ගෙන ඇති බව පෙනේ. පොලොන්නරැ යුගයේ නිර්මිත ප්‍රතිමා වල සිවුරේ දැකිය හැක්කේ ද්විත්ව රුලි රටාවකි. මෙවැනි ලක්ෂණ නිසා මෙම ප්‍රතිමා මීට පෙර යුගයකදී නිර්මාණය වන්නට ඇතැයි ඇතැමුන්ගේ විශ්වාසයයි. ඉතා සිත්ගන්නාසුලු කැටයමින් හෙබි පොලොන්නරැ වටදාගෙය පොලොන්නරැ ගල් වඩුවාගේ ශිල්පීය ඥානය විදහා දක්වන්නකි.  

දින පොත