පුවත්

71 වැනි ජාතික දින සැමරුම

2019 පෙබරවාරි 04 වැනි සඳුදා - 91  

71 වැනි ජාතික දින සැමරුම් උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04දා) පෙරවරුවේ ගාලුමුවදොර පිටියේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි. මෙහිදී ත්‍රිවිධ හමුදා,පොලිස්, සිවිල් ආරක්ෂක බළකා, ජාතික ශිෂ්‍යභට බළකා ආචාර පෙළපාලි හා විවිධ පාර්ශ්වගේ ඉදිරිපත් කිරිම් පැවැත්විණ.

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා මෙම උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටි අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්, විදෙස් තානාපතිවරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින්, මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජාතික දින සැමරුම ආරම්භ වීම පෙ.ව. 8.00ට ආරාධිත  අමුත්තන් සිය ආසනවල අසුන් ගැනීමෙන් අනතුරුව ආරම්භ  වෙයි. ඉන් අනතුරුව සම්භාවනීය අමුත්තන්ගේ පැමිණීම සිදු  වෙයි.අග්‍රාමාත්‍යවරයා, මාලදිවයින ජනාධිපතිවරයා සහ ශ්‍රී  ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ  සම්ප්‍රාප්තිය සිදු වෙයි. ඉන් අනතුරුව මඟුල් බෙර වාදනය මධ්‍යයේ ජනාධිපති විසින් ජාතික ධජය එසවීම සිදු කරයි.

කොළඹ විශාඛ , සිරිමාවෝ, දේවි බාලිකා  සිසුසිසුවියෝ විසින් ජාතික ගීය ගායනා කිරීම සිදු කරන අතර ජයමංගල ගාථා ගායනා කිරීම සිදු කෙරේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය,භෞමික  අඛණ්ඩතාවය, තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලු ම ශ්‍රී  ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි 02ක  නිශ්ශබ්දතාවක් පැවැත්වෙයි.

ඉන් අනතුරුව ජනාධිපති උත්තමාචාරය සිදු කරයි. අතිගරු ජනාධිපති වෙත ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම  සිදු කෙරේ. ඉන් අනතුරුව ජනාධිපති ජාතිය ඇමතීම සිදු කළේය.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය,ජාතික  ශිෂ්‍ය භට බලකාය,විසින් පවත්වනු ලබන ආචාර පෙළපාලිය  සහ සංස්කෘතික උළෙල වර්ණවත් කරයි පාසල් සිසු සිසුවියන් 110 දෙනෙකුගේ සහභාගීත්වයෙන්  දෙමළ බසින් ජාතික ගීය ගයනා කිරීමේ අනතුරුව  අභිමානවත් ජාතික දින උළෙල නිමාවට පත්විණ.
සැබැඳි පුවත්

71 ජාතික දින සැමරුමට සමගාමීව මහාමාන්‍ය ඩී.එස්.සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර

71 ජාතික දින සැමරුමට සමගාමීව මහාමාන්‍ය  ඩී.එස්.සේනානායක මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර  දැක්වීම අද (04) පෙ.ව.7.30ට සිදු කෙරේ. කොළඹ නිදහස් චත්‍රශ්‍රයේ දී පිහිටි පිළිරුවට කතානායක කරූ  ජයසූරිය මහතා විසින් මල් දම් පැළඳවීම සිදු කෙරේ. මේ අවස්ථාවට මැති ඇමැතිවරු රැසක් සහභගී වීමට නියමිතය. අභ්‍යන්තර හා ස්වදේශකටයුතු සහ පළාත් සභා හා පළාත්  පාලන අමාත්‍යාංශයේ දිස්ත්‍රික් පාලන අංශය, කොළඹ නගර  සභාව, ඩී.එස්.සේනානායක අනුස්මරණ කමිටුව විසින් වැඩසටහන මෙහෙයවනු ලබයි.

කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්ම කීර්ත්‍යාරාම විහාරයේ සමරු උත්සවය

ලැබූ නිදහසේ උපරි අර්ථය සාක්ෂාත් කරගැනීම පිණිස නව දැක්මකින්,අභිනව ජවයකින් සාමූහිකව කැපවීමයි - ජනපති

පුරා වසර 133ක් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව  ස්වාධීන රජ්‍යයක් බවට පත් වූ දිනය හැම වසරකම  පෙබරවාරි 04 මෙසේ උත්සවශ්‍රීයෙන් අනුස්මරණය කරනු  ලබයි. එහෙත් මේ මොහොතේ අප සියල්ලන්ගේ ඒකායන අරමුණ ලැබූ නිදහසේ උපරි අර්ථය සාක්ෂාත් කරගැනීම පිණිස නව දැක්මකින්, අභිනව ජවයකින් සාමූහිකව කැපවීමයි.

අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබීමෙන් දේශයක්, ජාතියක්  ලෙස අප අපේක්ෂ කළේ, සියලු ආකාවලින් ඔවුන්ගේ  වියගසින් මිදුණු ස්වදේශීය අනන්‍යතාවයකින් හෙබි ආර්ථික දේශපාලනික හා සමාජ සංස්කෘතික පෙරගමනකි.

ශතවර්ෂාධික කාලයක පරාධීනත්වයෙන් අධිරජ්‍ය ගැති බවට පත් මනස්වලට දේශයේ අනාගතය බාර වීම යනු  අධිරාජ්‍යවාදයට වඩා භයානක ප්‍රතිඵල අත්කර දෙන්නකි.

එහෙයින් අනාගත අභිවෘද්ධිය උදෙසා අපට අවශ්‍ය වනුයේ ස්වදේශිකත්වයෙන් ම පණ පෙවුණු අධ්‍යාත්මයන්ගෙන් යුතු  ජනකායකි. අතීත රජ දවස ලොව අන්‍ය මහා ශිෂ්ඨාචාරයන් විසින් ඉටු කර  ගැනුණු කාර්ය සාධනයන්, ඒ හා සමාන සාර්ථකත්වයකින් අපට ද සපුරා ගත හැකි වූයේ ඒ කිසිවකට ණය ගැති වීමෙන්  නොවේ. ස්වාධීන වීමෙනි. අපි අපේම ජාතික අනන්‍යතාවක් මුල සිටම ගොඩනඟාගත් මිනිස්සු වෙමු. එහෙයින් දේශීය ආර්ථිකයේ පදනම ලෙස  කෘෂිකර්මාන්තය යළි ස්ථාපිත කළ යුතු කාලය යළි එළැඹ  ඇති වග මේ අනුස්මරණීය දිනයේ මම ඔබ සැමට අවධාරණය කරනු කැමැත්තෙමි.

එසේම ජාතික පුනර්ජීවනය ඇති කිරීමේ ලා අත්‍යාවශ්‍ය වන  ප්‍රගතියට එරෙහිව සිටින පොදු සතුරා වන දුගීභාවය සහ  දූෂණය වහා මුලිනුපුටා දැමීමට අප සියල්ලන් එක්සිත්ව කටයුතු කළ යුතුව ඇත. අධිරාජ්‍යවාදී පාලන සමයේ සිටම ජාතික ස්වාධිනත්වය වෙනුවෙන් කැප වූ, දිවි පිදූ සියලු වීරවරයන් මේ මොහොතේ ගෞරව බහුමාන පෙරදැරි ව සිහිපත් කරන අතර වර්තමානයේ දේශයේ නිදහස,ස්වෛරීත්වය සුරක්ෂිත කිරීමට දිවි හිමියෙන් කැපවී සිටින සියලු රණවිරුවනට  කෘතඥතාපූර්වකව ශුභාශිංශනය කරමි.

තවද සියලු දේශපාලන පාර්ශවයන්ටත්, අපටත් ඔබ  සැමටත්,තිර අදිටනින් සමඟිව දිනූ නිදහසේ යහ අරමුණු  සපුරාගනු පිණිස සමඟිව පෙරට යෑමට හැකි වේවා යි මේ  නිදහස් සමරු දිනයේ දී ප්‍රාර්ථනා කරනු කැමැත්තෙමි.

නිදහස් දින පණිවුඩය-ශක්තිමත් ආර්ථිකයක්,ස්ථාවර රාජ්‍යයක්,සමෘද්ධිමත් දේශයක් සඳහා එක්ව වැඩ කරමු - අගමැති

“නිදහස” වඩාත් අර්ථවත්වීමට නම් යම් දේශයක, ජන  සමාජයක මනුෂ්‍යයා මෙන්ම සමස්ත පරිසරය ආර්ථික, සමාජ, දේශපාලන මෙන්ම අධ්‍යාත්මික  සංහිදිම අයත් කරගත යුතුය. එය හුදෙක් සැමරුමකින් පමණක් දිනා ගත හැක්කක් නොවේ. ඒ  සඳහා ක්‍රමවත් සැලැස්මක් සහ සාමූහික කැපකිරීමක් අත්‍යවශ්‍ය.බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදට යෙදී තිබෙන ජාතික දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

“නිදහස” වඩාත් අර්ථවත්වීමට නම් යම් දේශයක, ජන  සමාජයක මනුෂ්‍යයා මෙන්ම සමස්ත පරිසරය ආර්ථික, සමාජ, දේශපාලන මෙන්ම අධ්‍යාත්මික  සංහිදිම අයත් කරගත යුතුය. එය හුදෙක් සැමරුමකින් පමණක් දිනා ගත හැක්කක් නොවේ. ඒ  සඳහා ක්‍රමවත් සැලැස්මක් සහ සාමූහික කැපකිරීමක් අත්‍යවශ්‍යය.

දීර්ඝකාලීනව අප රට යටත්ව පැවති විදෙස් පාලනයෙන්  නිදහස ලැබීම සමරනු ලබන නිදහස් දිනය වාර්ගික, ආගමික අගතීන් පරාජය කළ, අතික්‍රමණය  කළ “ජාතික නිදහස” වඩාත් අර්ථවත් කරන සමාජ වෙනසකට මඟපාදන කතිකාවක් සහ  ක්‍රියාකාරීත්වයක් සඳහා කදිම අවස්ථාවකි. 

යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව විවිධ බාධා සහ  අභියෝග මැද නව සමාජ, දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට ද, ප්‍රජාතන්ත්‍රවාදය  ශක්තිමත් කිරීම සඳහා යම් පියවර ගැනීමට ද අපට හැකි විය. එහි යහපත් ප්‍රතිඵල අපි  සමාජයක් ලෙස අත්දකිමින් සිටිමු. ප්‍රජාතන්ත්‍ර විරෝධී, අන්තගාමී බලවේගවලට එරෙහිව  අපට ශක්තියක් වූයේ එකී යහපත් සමාජ වෙනස්කම්ය.


71 වන ජාතික දිනය සමරන මේ අවස්ථාවේ, දියුණු සමාජ,  දේශපාලන අවකාශයක සැබෑ නිදහස අත්දකින පුරවැසියන් ලෙස දිවි ගෙවීම සඳහා  ශක්තිමත් ආර්ථිකයක්, ස්ථාවර රාජ්‍යයක්, සමෘද්ධිමත් දේශයක් සඳහා එක්ව වැඩ කිරීමට ඔබ  සැමට ඇරයුම් කරමි.''

දින පොත