ලොව වටා

අගමැති මෝදිගේ පළමු විදෙස් සංචාරය

2019 ජුනි 11 වැනි අඟහරුවාදා - 54  

දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම්දීමෙන් පසු සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉකුත් 8 සහ දෙදින මාලදිවයින දූපත් රාජ්‍යයේත් ශ්‍රී ලංකාවේත් සංචාරයක නියැලුණේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පළමුවෙන් ගියේ මාලදිවයිනටය. ඔහු ආපසු ඉන්දියාව බලා යද්දී ශ්‍රී ලංකාවට පැමිණියේ 9 වැනිදා, පැය කිහිපයක් සඳහාය.

මාලදිවයිනට ගිය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මාලදිවයින ජනාධිපති ඊබ්‍රහීම් මොහොමද් සෝලි ප්‍රමුඛ රජයෙන්  හිමිවූයේ ඉහළ පිළිගැනීමකි. අගමැති මෝදි වෙනුවෙන් හමුදා උත්තමාචාර ද පැවැත්විණි. සෝලි මාලදිවයිනේ ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ පසුගිය වසරේ නොවැම්බරයේය. දිවුරුම්දීමේ අවස්ථාවට විශේෂ අමුත්තා ලෙස ආරාධනා ලැබ පැමිණියේ ඉන්දීය අගමැති මෝදිය. මැතිවරණයේදී සෝලි කියා සිටියේ තමා ජනපති ධුරයට පත් වුවහොත් ඉන්දියාවට වඩාත් සමීප වන බවය. සෝලි ඉන්දීය හිතවාදියෙකි. රාජ්‍ය තාන්ත්‍රික, වෙළෙඳ සහ ආරක්ෂක සබඳතා තරකර ගැනීමට ජනාධිපති සෝලි සහ අගමැති මෝදි අතරේ සාකච්ඡා කෙරුණි. ඊට අමතරව, මාලදිවයිනේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ද විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මාලදිවයින ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමට උත්සාහ ගනිමින් සිටින බවත්, මාලදිවයිනේ ක්‍රිකට් ජනප්‍රිය කිරීමට ජනාධිපති සෝලිගේ ඇති සිහිනය සැබෑ කරදීමට ඉන්දියාවේ සහාය හිමිවන බවත් අගමැති මෝදි පෙන්වා දුන්නේය.

මාලදිවයිනේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අගමැති මෝදි සහ ජනාධිපති සෝලි අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. ‘මගේ මිතුරා සෝලි ක්‍රිකට් ලෝලියෙක්. ඔහු ඉන්දීය කණ්ඩායමේ රසිකයෙක්.’ යැයි මාධ්‍ය හමුවේ පවසමින්, ආරම්භ වූ ලෝක කුසලානයට සහභාගී වන ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ අත්සන් ඇතුළත් ක්‍රිකට් පිත්තක් ද අගමැති මෝදි, මාලදිවයින ජනාධිපතිවරයාට තෑගි කළේය. මාලදිවයිනේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයේ විශේෂ නියෝජිතයන් සහ පුහුණු කණ්ඩායමක් ඉදිරියේදී මාලදිවයිනට පැමිණෙනු ඇති බවත්, මාලදිවයිනේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට ඉන්දියාවේ සහාය ලැබෙනු ඇති බවත් අගමැති මෝදි පෙන්වා දුන්නේය. ඊට අමතරව, ඉන්දියාවත් මාලදිවයිනත් අතර මගී පාරු සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි ද නායකයෝ දෙදෙනා සාකච්ඡා පැවැත්වූහ.

මාලදිවයිනේ ඉහළම ගෞරව සම්මානය වන ‘නිෂාන් ඉසුද්දීන්’ සම්මානය මෝදිට පිරිනැමීමට මාලදිවයින ජනපතිවරයා කටයුතු කළ අතර, සම්මානය පිරිනැමීම සිදුවූයේ මාලේ අගනුවර ජනරජ චතුරස්‍රයේදී පැවැත්වුණු විශේෂ උත්සවයකදීය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මාලදිවයින පාර්ලිමේන්තුව (මජිලිස් මන්ත්‍රණ සභාව) ද ඇමැතීය. එහිදී කලාපීය ආරක්ෂාව ගැන සඳහන් කරමින් මෝදි කියා සිටියේ රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක ත්‍රස්ත කල්ලි කලාපීය ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවය.

මෝදි මෙසේ කියා සිටියේ ඉන්දියාවට පමණක් නොව මුළු මහත් ආසියාවටම තර්ජනයක් වූ පාකිස්තානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි සම්බන්ධයෙනි. පාකිස්තානයේ ක්‍රියාත්මක එම ත්‍රස්ත කල්ලිවලට පාකිස්තාන රජයේ අනුග්‍රහය හිමිවන බව පැවැසෙයි. සෝලිට පෙර මාලදිවයිනේ ජනාධිපති වූ අබ්දුල්ලා යමීන් සහ ඔහුගේ රජය ඉන්දියාව සමඟ යහපත් සබඳතා පැවැත්වූයේ නැත. යමීන්ගේ රජය ඉන්දියානුවන්ට වීසා ලබා දීම සම්බන්ධයෙන් දැඩි නීති පැනැවීය. ඉන්දියාව සමඟ පැවැති නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ඉවත්වී චීනය සමඟ වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගත්තේය. සෝලි ජනපති ධුරයට පත්වීමෙන් පසු ඒ සියල්ල වෙනස් විය.

ඒ.එෆ්.පී. ඇසුරිනි

 

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...