ලොව වටා

මිහිතලයේ උණුසුම වැඩි වෙයි

2016 ඔක්තෝබර් 31 වැනි සඳුදා - 443  

 

මිනිසාට හා සතුන්ට ජීවත්වීමටත් ගහට, වැලට පැවතීමටත් තරම් සුදුසු වටා පිටාවක් ඇත්තේ පොළොව මතුපිට පමණි. එහෙත් එහි උෂ්ණත්වය ද දිනෙන් දින ඉහළ යාම මේ සියලු දේටම ප්‍රශ්නයකි. විද්‍යාඥයෝ මේ පිළිබඳ ව විවිධ පර්යේෂණ පවත්වති. මීට කඩිනම්, සාර්ථක පිළිතුරැ නොලැබුණහොත් එය ලෝකයේ පැවැත්මට විශාල තර්ජනයක් වනු නොඅනුමානය.

මිහිතලය උණුසුම් වන්නේ ඇයි.?

මිහිතලය උණුසුම් වීමට ප්‍රධාන හේතුව වන්නේ මිනිසාගේ ක්‍රියා සහ වත්මන් ජීවන රටාවයි. අතීතයේ මිනිසාත් පරිසරයත් අතර පැවැති යහපත් සමීප සබඳතාව නිසා පරිසරය මිනිසාට යහපත් ආකාරයෙන් බලපෑවේය. මිනිසා පරිසරයට ආදරය කරන විට පරිසරය ද පෙරළා ඊට යහපත් ප්‍රතිචාර දැක්වීය. එහෙත් දිනෙන් දින මිනිසාගේ අවශ්‍යතා සංකීර්ණ වන විට මිනිසාගේ කටයුතු ද සංකීර්ණ විය. එවිට මේ සබඳතාව බිඳ වැටීමට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ පෘථිවියේ උණුසුම ඉහළ යාමත් දේශගුණික විපර්යාසය ඇති වීමත්ය.

හේතු මොනවාද.?

භූගෝලීය උණුසුම හෙවත් මිහිතලයේ උණුසුම වැඩිවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් සාධක දෙකක් බලපායි. ඉන් එක් සාධකයක් වන්නේ වායුගෝලයට හරිතාගාර වායු වැඩි ප්‍රමාණයක් එක් වීමයි. වනාන්තර හෙළි පෙහෙළි කිරීම හා වනාන්තර විනාශ කිරීම අනෙක් සාධකය යි.

මොනවාද හරිතාගාර වායු.?

හරිතාගාර වායු ලෙස හඳුනා ගෙන ඇත්තේ, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, මීතේන්, ක්ලෝරෆ්ලෝරෝ කාබන්, බ්‍රෝමීන් ආදී වායු වර්ගයි. මීට අමතරව පහළ වායුගෝල පරිසරයන්හි ඇති ජල වාෂ්ප හා ඕසෝන් වායුව හරිතාගාර වායු ලෙස ක්‍රියා කරන බවද සොයා ගෙන තිබේ. මේ වායු අතරින් කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ් හා මීතෙන් වායු මිහිතලය තුළ ස්ථායී උෂ්ණත්වයක් පවත්වා ගෙන යාමට උපකාර වේ.

මිහිකත උණුසුම් වීමෙන් වෙනදේ.?

විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇති ආකාරයට විසි එක් වැනි සියවසේ දී මිහිතලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 11 කින් පමණ ඉහළයයි. එහෙත් ඉදිරි කාලයේ දී මේ අගය ඉතා වේගයෙන් වැඩිවිය හැකි බව ද ඔවුන්ගේ නිගමනයයි. මේ ආකාරයට මිහිතලය උණුසුම් වීම නිසා ඇති වන විපාක ගණනාවකි.

සාගර ජල මට්ටම ඉහළ යාම

සාගර ජල මට්ටම ඉහළ යාමමෙයින් ඇතිවන ප්‍රධාන ගැටලුවයි. මේ නිසා දූපත් ගිලී යාමට ඉඩ තිබේ. ඒ අනුව මාලදිවයිනට ඇත්තේ විශාල අභියෝගයකි. මන්ද මාලදිවයිනේ දුපත්වලින් 80෴ කට ආසන්න ප්‍රමාණයක් පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටරයකටත් වඩා අඩු උසකිනි.

සාගර ජීවින්ට අහිතකරයි

මිහිතලය උණුසුම් වීමෙන් සාගර ජීවින්ටද මහත් ගැටලු ඇතිවෙයි. ඒ සාගරයේ උෂ්ණත්වය වැඩි වීම නිසයි. සාගර ජලයේ උෂ්ණත්වය වැඩි වන විට එම ජලයේ දිය වී ඇති කාබනික සංයෝග වියෝජනයට ලක්වේ. මේ නිසා සාගර ජීවින් මියගිය පසු උන්ගේ ශරීර තුළ ගබඩා වී ඇති කාබෝහයිඩ්ට්‍රේට් ප්‍රෝටීන්, ලිපිඩ සහ මේදය වැනි කාබනික සංයෝග ඉක්මනින් වියෝජනය වේ. එසේ වීමෙන් කාබන් අඩංගු සරල සංයෝග බිහි වේ. මේවායේ ක්‍රියාකාරීත්වය නිසා කාබන් ඩයොක්සයිඩ් වායුව බහුල වශයෙන් වායුගෝලයට එක් වේ.

එමෙන්ම සාගර ජලයේ උෂ්ණත්වය වැඩි වීම සාගර ජීවින්ගේ බිත්තර වලට හා කීට පිලා වැනි අවස්ථාවන්ට අහිතකරව බලපායි. එහි ප්‍රතිඵලයක් වන්නේ සාගරික ආහාර නිෂ්පාදනයේ විෂමතා ඇති වීමයි.

අයිස් දියවීම

අයිස් තට්ටු දියවීම හිතකර මෙන්ම අහිතකරව ද බලපායි. ග්‍රීන්ලන්තය ඇසුරින් මීට උදාහරණ දැක්විය හැකිය. අයිස් තට්ටු දිය වීමට හේතුවන්නේ වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යාමයි. මෙසේ වීමෙන් මුහුදු ජල මට්ටම වැඩි වේ. මෙය  සුබදායක  වන්නේ මිනිසාට අහිතකරව පැවැති ශිත කලාප හිතකර ස්ථාන බවට පත් වීම නිසාය. ග්‍රීන්ලන්තයේ 2/3 ක පමණ ප්‍රදේශයක් අයිස්වලින් වැසී ඇත. අයිස් දියවීම නිසා එරට වාසයට සුදුසු තැනක් බවට පත් වේ.

වැසි රටාවේ වෙනස් වීම්

වායුගෝලයේ උණුසුම වැඩිවීම වර්ෂාපතන රටාවේ වෙනස් කම් ඇති කිරීමට හේතුවේ. නැතහොත් වර්ෂාපතන රටාව අවුල් වී යාමට තරම් හේතු වේ.

ඇතැම් ප්‍රදේශවල වර්ෂාපතනය වැඩි වීමෙන් ඒවා තෙත් ප්‍රදේශ බවටත් සමහර ප්‍රදේශවලට වර්ෂාව අඩුවී ඒවා වියළි ප්‍රදේශ බවට පත්වීමටත් ඉඩ ඇත. වර්ෂාවේ ප්‍රමාණය අඩුවීම හෝ වැඩිවීම, වර්ෂාව ලැබෙන කාලය දිගු හෝ කෙටි වීම, වර්ෂාපතනය ආරම්භ වන කාලයේ වෙනස් වීම ආදී වෙනස් වීම් ඇති වීමට බොහෝ ඉඩකඩ තිබේ.

නිවර්තන වාසුළි ප්‍රබල වීම

මිහිතලය උණුසුම් වීම නිර්වතන වාසුළිවල ප්‍රබල බව වැඩි වීමට ද හේතුවක් වේ. කුණාටු ඇති වීම නිසා ගංවතුර, ඇති වීම ඒ නිසා ජීවිත හා දේපළ හානි සිදුවීම, මුහුද ගොඩ ගැලීම හා වෙරළ ඛාදනය වැනි තත්ත්වයන් ඇති වේ.

සෞඛ්‍ය ගැටලු මතුවීම

මිහිතලයේ උණුසුම වැඩි වීමත් සමග තාප තරංග මිනිසා වෙත සෘජුවම එල්ලවේ. එමෙන්ම වසංගත ඇති වීමත් ඒවා ඉක්මනින් පැතිර යාමත් සිදුවේ. මදුරැවන් වර්ධනය වීමට ද මෙය ප්‍රබල හේතුවක් වේ. ජලය ආශ්‍රිත රෝග පැතිරීමට ද උණුසුම හේතුවක් වේ යැයි ද මත පළවේ.

කියතෝ සම්මුතිය

මිහිකත උණුසුම් වීම ලෝ වැසි සියල්ලන්ටම බලපායි. ඒ නිසා මේ පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුය. මේ  අනුව වර්ෂ 1997 දී ජපානයේ කියටෝ නුවරදී සම්මුතියක් ඇති කරන ලද්දේය. එය කියතෝ සම්මුතියයි. මෙම සම්මුතියට අනුව රාජ්‍යයන් 172 කට අධික ප්‍රමාණයක් විසින් හරිතාගාර වායු පාලනය කිරීමට ගිවිසුම් ඇති කරගන්නා ලදී . කාර්මික රටවල් 36කට හරිතාගාර වායු නිකුත් කිරීමේ සීමා පනවන ලදී. එහෙත් ඊට ඇමරිකාවේ සහය නොලැබිණි. මෙම සම්මුතිය කෙතරම් දුරට සාර්ථක වේදැයි විශ්වාස කළ නොහැකිය. ඒ එමගින් හරිතාගාර වායු පිළිබඳව සැලකිය යුතු විසඳුමක් දී නොතිබීම හේතුවෙනි.

 

 

දින පොත