පුවත්

ආනන්දයේ සත්මහල සිසු අයිතියට

2020 පෙබරවාරි 07 වැනි සිකුරාදා - 53  

කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැගිල්ල අද (07දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිසු අයිතියට පත් කෙරිණ. ආනන්ද විද්‍යාලයෙන් මෙතෙක් බිහි වූ ප්‍රථම සහ එකම විධායක ජනාධිපති රාජපක්ෂ මහතා විසින් මෙය විවෘත කිරිම ඓතිහාසික අවස්ථාවක් විය.

විද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා සිසු දරුවන් විසින් පිළිගනු ලැබීය. සිය පාසල් ජීවිතයේ වත් පිළිවෙත්වලට මුල් තැන දෙමින් ජනාධිපතිවරයා ප්‍රථමයෙන්ම විහාර මන්දිරය වැඳ පුදා ගත්තේය.  පෝතක බාලදක්ෂයන්ගේ පිළිගැනීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන්ගේ යෂ්ටි උත්තමාචාරය මැද පීඨිකාවට පිවිසි  ජනාධිපතිවරයා වෙත ශිෂ්‍ය භට උත්තමාචාරයක් ද  පිළිගැන්විණ.

මාතෘ භූමිය වෙනුවෙන් ජීවිතය කැප කළ රණවිරු ආනන්දීයන් සිහිපත් කරමින් ජනාධිපතිවරයා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය. විද්‍යාලයීය ආදි කතෘවරුන් සමරා හෙන්රි ස්ටීල් ඕල්කට් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද සිදු විය.

මෙරට පාසලක ඉදිකෙරුණු ප්‍රථම සත් මහල් ගොඩනැගිල්ල මෙයයි. වැය කළ මුදල රුපියල් කෝටි 62කි. විද්‍යාලයේ කණිෂ්ඨ, ද්වීතීයික අංශයේ සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පංතිකාමර 44ක්, විද්‍යාගාර, පරිගණකාගාර හා චිත්‍ර, නැටුම්, සංගීත යනාදී සෞන්දර්ය විෂයයන් සඳහා කාමර ද විද්‍යාලයීය ප්‍රධාන පුස්තකාලය සහ ගුරු විවේකාගාරයක් සහ වෛද්‍ය මධ්‍යස්ථානයක්  ඊට අයත්ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් 2015 ජනවාරි මස 01 දින ඉදිකිරීම් සඳහා මුල් ගල් තැබිණි. 

දරුවන් ප්‍රාථමිකයට ඇතුලත් කළ දින සිට පාසලෙන් පිටත්ව යන තෙක්ම දෙමව්පියන්ගේ අවධානය තිබෙන්නේ දරුවන් කෙසේ හෝ විභාග වලින් සමත් කරවීමටයි. දරුවන්ට පාසල් ජීවිතයේ දි දෙමව්පියන් විසින් අනවශ්‍ය පීඩනයක් ඇති නොකළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

 අපට අවශ්‍ය විභාගවලට පෙනී සිට සමත්වීමට පමණක් දරුවන් සකස් කිරීම නොව, රටේ ආර්ථික හා සමාජීය ප්‍රගමනය සඳහා සක්‍රීයව දායක විය හැකි පරිපූර්ණ දරුවෙකු හදා ගැනීම බවද ජනපතිවරයා පෙන්වා දුන්නේය.

විශ්ව විද්‍යාලවලට වාර්ෂිකව වැඩි පිරිසක් බඳවාගැනීමේ සැලසුම් දැන් සකස් කර තිබේ. ඉහළ ගුණාත්මක අගයෙන් යුත් තෘතීක අධ්‍යාපන ක්‍රමයක් සැකසීම තම ප්‍රධාන අරමුණ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.  21 වන සියවස හඳුන්වන්නේ දැනුමේ සියවස ලෙසයි. මෙය ශ්‍රී ලංකාවට තිබෙන සුවිසල් අවස්ථාවක්. නිෂ්පාදන කර්මාන්ත සඳහා අවස්ථා සීමා වූ අපට වාසනාවකට මෙන් බුද්ධිමත් ශ්‍රම බලකායක් සිටින බව පැවසූ ජනාධිපතිවරයා ඉන් උපරිම ප්‍රයෝජන ගත යුතු බව ද කියා සිටියේය.

ආනන්ද විද්‍යාලයේ සත් මහල් ගෙඩනැගිල්ල විවෘත කරමින් ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කථාව

මා ඉගෙනගත් ආනන්දයේ නව සත්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට ආදි ආනන්දියෙකු හා රාජ්‍ය නායකයා වශයෙන් සහභාගිවන්නට ලැබීම මට විශාල සතුටක්. ආනන්ද විද්‍යාලය විසින් බිහිකල ශ්‍රී ලංකාවේ එකම ජනාධිපතිවරයා ලෙස ඔබව අමතන්නට ලැබීම මම මහත් ගෞරවයක් සේ සලකනවා.  ඒ වගේම ජීවිතයේ ලද මහත් භාග්‍යයක් ලෙසද සලකනවා. 

මා මේ කිර්තිමත් විදුහලට ඇතුලත් වුනේ කුඩා ශිෂ්‍යයෙකු හැටියට පහළ බාලාංශයට.  අද මා මෙතැන ඉන්නේ මේ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හා ද්විතීය අධ්‍යාපනය ලැබීම තුලින් මා ලැබූ දැනුම සහ හැදියාව නිසයි.  මගේ ජීවිතයේ මේ අවස්ථාවට එන්නට මා ආභාෂය ලැබූ ප්‍රධාන තැන් තුනක් තිබෙනවා. ප්‍රථමයෙන්ම මගේ ආදරණීය දෙමව්පියන්ගේ සෙවන, දෙවනුව මගේ පාසල වන මේ ආනන්ද විදුහල. තෙවනුව අවුරුදු 20ක් මගේ තරුණ වයසේ සිටම මැදි වයස දක්වා හමුදා නිලධාරියෙකු ලෙස මා පුහුණුව ලැබූ ශ්‍රී ලංකා යුද හමුදාව. මේ තැන් තුනෙන්ම ලැබූ පරිචය නිසා තමයි මට අද මේ තත්ත්වයට එන්නට පුළුවන් වුනේ. 

අපේ රටේ තිබෙන ප්‍රමුඛතම සිංහල, බෞද්ධ විද්‍යායතනය ආනන්ද විදුහලයි.  මේ පාසල පටන්ගත් දා සිටම මෙහි ඉගෙන ගත් සෑම සිසු දරුවෙකුටම ජාතික හැඟීමක්  සහ බෞද්ධ දර්ශනය කා වද්දා තිබෙනවා. නිදහස් බෞද්ධ චින්තනයට ආනන්දය කවදත් තෝතැන්නක් වුනා. ඒ සෑම දරුවෙකුගේම ජීවිත අලංකාරවත් වුනෙත්, අලෝකමත් වුනෙත් මේ අධ්‍යාපනය නිසයි. 

මා කුඩා කාලයේ ආනන්ද විදුහලේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටි කාලයේ ඕල්කට් ශාලාවේ අපේ රටේ දැවැන්ත යුග පුරුෂයන් ඇවිත් දේශන පවත්වනවා.  ඔවුන් ජාති හිතෛෂී, ජාති මාමක පුද්ගලයින්.  නිදහස් සටනට උරදුන් ෆිලිප් ගුණවර්ධන, කොල්වින් ආර් ද සිල්වා, එන්.එම්. පෙරේරා, කොටගම වාචිස්වර ස්වාමීන්වහන්සේ වැනි අය මේ ශාලාවේ හොඳ දේශන පවත්වනවා මට මතකයි.  ඒ වියතුන් බොහෝ වෙලාවට මේ දේශන පවත්වන්න ආවේ සති අන්තවල.  නේවාසිකාගාරවල හිටපු අපට මේ දේශන අහන්න ඒ නිසා අවස්ථාව ලැබුණා.  එයින් අපිට අපේ රට ගැන ආදරයක්, ඒ වගේම විශාල භක්තියක් ඇති උනා. 

ලංකාවේ හිටපු හොඳම ගුරුවරුන් මේ පාසලේ හිටියා. ඒ අය බොහෝ සුවිශේෂීයි. අපට අධ්‍යාපනය දෙන්න විතරක් නොවෙයි ඔවුන් අපේ හර පද්ධතියත් සකස් කළා.  අපේ අනාගතයට හොඳටම හරි පාර කියා දුන්නා.  ඒ අය ගුරු වෘත්තියට තදින්ම ඇලුම් කලා.  ඒ අයට එය රැකියාවක් පමණක් උනේ නැහැ. ඒ නිසයි අපට ඔවුන්ගේම දරුවන් වගේ ආදරෙන් සැලකුවේ.  මගේ මතකයේ හොඳින්ම තැන්පත් වෙලා තියෙන කෙනෙක් තමයි ප්‍රාථමික පන්තියේ ප්‍රථම ගුරුවරිය, පෙරේරා මහත්මිය. මගේ දෙමව්පියන් මාව එතුමියගේ ගෙදර තමයි නවත්වලා තිබුණේ. ශිෂ්‍ය නේවාසිකාගාරයට එන්නට වයස මදි නිසා තමයි එතුමියගේ ගෙදර නැවත්වුවේ. එතුමියගේ සහකාර ගුරුතුමිය වශයෙන් සිටියේ සෝමා සූරියආරච්චි ගුරුතුමියයි.  මම එතුමිය සමග තවමත් සම්බන්ධතා පවත්වනවා. 

නොයෙක් විෂයයන් උගන්වපු ගුරුවරුන් ගැන මගේ මතකයේ තවමත් තිබෙනවා.  පූජ්‍ය කොටගම වාචිස්සර නායක හාමුදුරුවන් බුදුදහම උගන්වපු හැටි මට මතකයි.  බුදු දහමේ ගැඹුරු, අමාරු තැන්, ඒ වගේම දාර්ශනික දේවල්, බුදුන්වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව අපට කියා දුන්නා. 

අපේ විදුහලේ සුවිශේෂී ලක්ෂණයක් වුනේ ගුරුවරුන් හා ශිෂ්‍යයන් අතර තිබුණු දැඩි සම්බන්ධතාවය. ඒක බොහෝම ශක්තිමත් සම්බන්ධතාවයක්. අපට බාලාංශයේදී උගන්වපු ගුරුවරු අපි පාසලෙන් අස්වෙලා යනතුරුත් හිටියා.  මේ නිසා ශිෂ්‍යයන් හා ගුරුවරුනුත් අතර තිබුනේ හරිම දැඩි සම්බන්ධතාවයක්.  ඒ එක්කම ඒ ගුරුවරුන්ට ආනන්ද විද්‍යාලය ගැන ගැඹුරු දැනීමක් තිබුණා.  ඒ නිසා හැම දෙයකදීම ආනන්ද විද්‍යාලයේ කීර්තිය ආරක්ෂා කර ගන්නට ඔවුන් දැඩි උත්සාහයක් දැරුවා.  මෙන්න මේ කාරණය නිසා බොහෝ කල් පාසලේ උගන්වපු ගුරුභවතුන් අපේ ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය ගැන විශාල උනන්දුවක් දැක්වුවා.  ශිෂ්‍යයන්ගේ දක්ෂතාවය නිසා විදුහලේ කීර්තිය සහ හොඳනාමය ඉහළ යන බව ඒ ගුරුවරුන් හොඳින් අවබෝධ කරගෙන සිටියා. අපට උගන්වපු ගුරුවරුන්, අපි ශිෂ්‍යයන් හැටියට විදුහලට යම් ජයග්‍රහණයක් ගෙනාවොත් ඔවුන් හරිම ආඩම්බර වුනා.  ඔවුන්ට ඒක විශාල ප්‍රීතියක්, සතුටක් වුනා. ශිෂ්‍යයන්ගේ දක්ෂතාවයන් නිරතුරුවම වැඩිදියුණුවීම අපේ ගුරුවරුන් අපේක්ෂා කල අරමුණ වුනා. 

අප පාසලේ විදුහල්පතිතුමාගේ ඉඳලා ප්‍රධාන ගුරුතුමන්ලා ඇතුලු අනිකුත් යම් යම් අංශ භාර ගුරුතුමන්ලා ශිෂ්‍යයන්ගේ විනය ගැන දැක්වූයේ මහත් උනන්දුවක්. අප තුල විනය වර්ධනය වුනෙත් මේ ගුරුවරුන් කෙරෙහි අපේ තිබුණු විශාල ගෞරවය නිසා.  පසුකලෙක එය, අපි විනයගරුක පුරවැසියන් වීමට විශාල පිටුවහලක් වුනා. අපි අතරේ දඟකාරයන් හිටියා.  හැබැයි අපි සියලුදෙනාම අපි ගුරුවරුන්ගෙන් දඞුවම් විඳින කොට ඒ දඞුවම බාර ගත්තා.  අද අපි ආපසු හැරී බලන කොට ඒ දඞුවම නිසා තමයි අප තුල විශාල විනයක් ගොඩනැගී තිබෙන්නේ. 

අපට ලැබුණු අධ්‍යාපනයේ තවත් එක් පැත්තක් තිබුණා.  ඒ තමයි පතපොතෙහිම ඇලීගැලී කටයුතු කරන්නේ නැතිව වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් වලට සහභාගි වීම.  ඒ නිසා අපට සිදු උනා ශාරීරික අධ්‍යාපන කටයුතුවලට වගේම වෙනත් පන්තියෙන් බැහැර ක්‍රියාකාරකම්වලට යන්නට.  ගණිතය, විද්‍යාව, භාෂාව ඉගෙන ගන්නවා වගේම වඩු වැඩ, යකඩ වැඩ වගේ දේවලුත් අපි ඉගෙන ගත්තා.  ඒවා කරන්න විශේෂ ගුරුවරු, විශේෂ ස්ථාන තිබුණා.  අද අප කතා කරන වෘත්තීය අධ්‍යාපනයට මෙය ‍හොඳ අඩිතාලමක්. 

හැම ශිෂ්‍යයෙක් වගේම ක්‍රීඩා සහ වෙනත් විෂය බාහිර කටයුතුවලට සම්බන්ධ උනා. අපට නම් ශිෂ්‍ය නේවාසිකාගාරයේ හිටපු නිසා පාසැල ඉවර වුනාට පස්සේ සවස් කාලයේ ක්‍රීඩා කටයුතුවල නිරත වෙන්න පුළුවන් උනා.  කැඩෙටින්, ස්කවුටින් වලට සම්බන්ධ වෙන්නත් පුළුවන් වුනා.  හැබැයි හවසට ආපසු අපිට පාඩම් කටයුතුවලත් යෙදීමට සිදුවුනා. ඔබ කවුරුත් දන්නා දෙයක් ආනන්ද විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍යභට කණ්ඩායම.  ඒ වගේම ක්‍රිකට්, මලල ක්‍රීඩා, බාස්කට්බෝල්, පාපන්දු, හොකී වගේ දේවලට ආනන්ද විද්‍යාලය ප්‍රසිද්ධයි.  ඒ වගේම හොඳ විවාද කණ්ඩායම්වල විවාද කළහැකි ශිෂ්‍ය කණ්ඩායම්, සංගීතඥයන්, කලාකරුවන්, වැනි අයත් අපේ විද්‍යාලයෙන් බිහි උනා. 

ආනන්ද විද්‍යාලයේ තිබූ සුවිශේෂී සංස්කෘතික ආභාෂය නිසා අපේ රටට දැඩි ලෙස ආදරය කරන බොහෝ පුද්ගලයින් බිහි කරන්නට පුළුවන් උනා. ආනන්දය හැමදාමත් රටට ආදරය කරන ලෙස සිසුන්ට ඉගැන්වූ පාසලක්.  පරම්පරාවෙන් පරම්පරාවට දේශප්‍රේමී පුතුන් බිහිකළ පාසැලක්.  

ඒ වගේම අපේ රටේ උන්නතිය උදෙසා ඒ ශිෂ්‍යයන්ට වැඩ කරන්නට පුළුවන් උනේ ඒ සඳහා උවමනා කරන හික්මීම ආනන්ද විද්‍යාලයෙන් අප සියලු දෙනාටම ලැබුණ නිසයි.  වර්තමානයේ ජාතියේ නායකයින් හැටියට අපට හොඳින් රට ඉදිරියට ගෙන යාමට පුළුවන් වී ඇත්තේ ආනන්ද විදුහල් මාතාව ලබා දුන් ශක්තිය නිසයි. 

අපේ පාසලෙන් බිහිවුන අය අතර සීමිත ඕවර් තරග වලදී ලෝක ශූරතාවය දිනාගත් නායකයා බිහි කරන්නට පුළුවන් උනා. ඒ වගේම අවුරුදු 30 ක් තිස්සේ මේ රට වෙලාගත් යුද්ධය නිම කරන්නට මූලික වුන ආරක්ෂක ලේකම්වරයෙක්, යුද හමුදාපතිවරයෙක්, නාවික හමුදාපතිවරයෙක්, පොලිස්පතිවරයෙක්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරියෙක් වගේම යුද හමුදාවේ නොයෙක් Divisional Commanders ලා වැනි නොයෙකුත් මට්ටමේ නායකයන් ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් ලෙස බිහිවුනා.

අපේ විදුහල කීර්තිමත් විද්‍යාඥයින්, පර්යේෂකයින්, ඉංජිනේරුවන් විශාල පිරිසක්, වෛද්‍යවරුන් ඒ වගේම ජනාධිපති නීතිඥවරුන්, හොඳ කලාකරුවන්, ඇමතිවරුන්, පාර්ලිමේන්තුවේ කථානායකවරයෙක්, අග්‍රාමාත්‍යවරයෙක් බිහි කළා.  දැන් ජනාධිපතිවරයෙකුත් බිහිකරලා තියෙනවා.  මීට අමතරව අපේ රටේ බොහෝ ඉහළ නිලතල දරන ආදි ආනන්දීයයන් අප සියලු දෙනාටත්, ඔබටත්, මටත්, ආදි ශිෂ්‍යයන්ටත්, වර්තමාන ශිෂ්‍යයන්ටත් විශාල ආඩම්බරයක් වගේම ගෞරවයක්. වර්තමාන ශිෂ්‍යයන්ට මේ අය හොඳ පරමාදර්ශී චරිත බව අපි දන්නවා.

ආනන්ද විද්‍යාලය සිංහල, බෞද්ධ ප්‍රමුඛ පෙළේ පාසලක් වුනත් අපේ පාසලේ වෙනත් ජාතීන්ට අයත් ශිෂ්‍යයන් ද සිටිනවා.  හැබැයි ඒ කිසි කෙනෙක් අතර සිංහල, දෙමළ, මුස්ලිම් වේවා ජාති ආගම් භේදයක් තිබුණේ නැහැ.  ඒ සියලු දෙනාම විසල් ආනන්දීය පවුලේ සාමාජිකයින්.  අපේ පාසලේ සෑම අංගයකින්ම මේ අය දස්කම් පෙන්නුවා.අපි පාසල් යන කාලයේ යම් වසරක අපේ විවාද කණ්ඩායමේ නායකයා වුනෙත් මුස්ලිම් ශිෂ්‍යයෙක්.  ශිෂ්‍යයන් අතර ඔහුට හොඳ පිළිගැනීමක් තිබුණා. ඔහුට කිසිම අන් ශිෂ්‍යයෙකුගෙන් අඩු තක්සේරුවක් තිබුණේ නැහැ.  මෙන්න මේ එකමුතුකම තමයි ආනන්ද විද්‍යාලය ඉහළට ඔසවා තැබූ තවත් සුවිශේෂී කාරණයක් වුනේ. ආනන්ද විද්‍යාලයේ දිගුකාලීන කීර්තිමත් ඉතිහාසයෙන් ඉගෙන ගතහැකි පාඩම් බොහොමයක් තිබෙනවා.  මේ පාඩම් තුලින් අපේ අධ්‍යාපනය නැවත ප්‍රතිව්‍යූහගත කිරීමට හොඳ උදාහරණ ගන්න පුළුවන්.  ඒක මේ යුගයේ ඉතා වැදගත් අවශ්‍යතාවයක්. 

අධ්‍යාපන ක්‍රමය ප්‍රතිව්‍යූහගත කිරීමට බොහෝ පැහැදිලි නිර්ණායක ලබා දී තිබෙනවා.  ඒ වගේම අපේ පාසල සරල නිර්ණායකයන් රැසක් ලබා දී තිබෙනවා.  ගුරු කේන්ද්‍රීය, විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකින් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට දැන් අප යා යුතුමයි.  දැන් තිබෙන ක්‍රමයට දරුවන් ප්‍රාථමිකයට ඇතුලත් කළ දින සිට පාසලෙන් පිටත්ව යන තෙක්ම දෙමව්පියන්ගේ අවධානය තිබෙන්නේ දරුවන් කෙසේ හෝ විභාග වලින් සමත් කරවන්නයි.  දරුවන්ට ඔවුන්ගේ පාසල් ජීවිතයේදී දෙමව්පියන් විසින් අනවශ්‍ය පීඩනයක් මේ නිසා ඇති කළයුතු නැහැ.   

මේ ඇති වී තිබෙන තරඟකාරිත්වය නිසාවෙන්ම  සෑම දරුවෙක් වගේම ජාතික අධ්‍යාපන පද්ධතියෙන් ලැබෙන දැනුමට වඩා බාහිර පන්තිවලින් පිහිටක් ලැබෙනවා යැයි විශ්වාස කරනවා.  මෙය වෙනස් විය යුතුයි.  අපට අවශ්‍ය වන්නේ විභාග වලට පෙනී සිට සමත්වීමට පමණක් දරුවන් සකස් කිරීම නොවේ. 

අපට අවශ්‍ය වන්නේ අපේ රටේ ආර්ථික හා සමාජීය ප්‍රගමනය සඳහා සක්‍රීය ලෙස දායකවන්නට පුළුවන් පරිපූර්ණව හැදුනු, සම්පූර්ණ වුන දරුවෙකු හදා ගන්නයි.  මේ පිළිබඳව අප සියලු දෙනා දැඩි අවධානයක් යොමු කළයුතුයි.

අද ලෝකය දෙස බැලූවිට දශක දෙකකට ඉහත තිබුණාට වඩා බොහෝ සෙයින් වෙනස්.  පෙරදී තිබුණ වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය, නීති වෘත්තිය, ගණකාධිකාරී වෘත්තිය වගේ එකල තිබූ පිළිගත් වෘත්තීන්ට වඩා බොහෝ රැකියා අවස්ථා සහිත වෘත්තීන් බිහි වී තිබෙනවා. මේ අලුතින් ඇති වී තිබෙන වෘත්තීන්, ආර්ථික හා සමාජීය ප්‍රගමනයට ඉතා වැදගත්. අලුත් තාක්ෂණ ක්‍රමවේදයන් තුලින් විශාල ප්‍රමාණයක් අලුත් රැකියා බිහි වී තිබෙනවා. දරුවන් මේ සඳහා යොමු කළ හැකි සුදුසු මාර්ගෝපදේශ ක්‍රමවේදයන් හඳුන්වා දී අපේ දරුවන් අලුත් රැකියා අවස්ථාවලට යොමු කරන්නට ඕනෑ. එවැනි ව්‍යායාමයන් අපේ සමාජ ප්‍රගමනයට විශාල පිටුවහලක් ලබා දෙනවා.

අපේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් විය හැකි ශිෂ්‍ය සංඛ්‍යාව බොහොම සීමිතයි. මේ බව අප වටහා ගතයුතුව තිබෙනවා.  දළ වශයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පන් ලක්ෂයක් පමණ ශිෂ්‍ය සංඛ්‍යාවක් වාඩි උනත් මෙයින් ලක්ෂ දෙකක් පමණයි සමත් වන්නේ.  අවසානයේදී විශ්ව විද්‍යාලයට ඇතුලත් වන්නේ සිසුන් 30,000 ක් පමණයි.  විශ්ව විද්‍යාල පද්ධතියේ තිබෙන සීමිත ඉඩකඩ නිසා අපට බඳවා ගතහැකි සංඛ්‍යාව මේ ප්‍රමාණයට අඩු වෙලා.  මූලික අධ්‍යාපන පද්ධතිය මේ ගැන සැලකිල්ලට ගෙන අප වෙනස් කළයුතුයි. 

ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු තෘතීය අධ්‍යාපන ක්‍රමයක් සැකසීම මගේ ප්‍රධාන අරමුණයි.  විශ්ව විද්‍යාල අධ්‍යාපනය දියුණු කරනවා වගේම වෙනත් තෘතීය මට්ටමේ අධ්‍යාපනය ලබාදෙන ආයතනද අපි ස්ථාපිත කළයුතුයි.  වෘත්තිය පුහුණුව තුලින් සාර්ථකත්වය කරා බොහෝ ශිෂ්‍යයන්ට පියනගන්නට පුළුවන්.  ඔවුන්ගේ දක්ෂතාවයන් සහ හැකියාවන් උපයෝගී කරගෙන මේ සඳහා ශිෂ්‍යයන්ට මගපෙන්විය යුතුය.  අපි මේ ගැන දීර්ඝ වශයෙන් සලකා බලා තිබෙනවා.  ඒ අනුව නොයෙකුත් නවීන තාක්ෂණික අංශ වලට දරුවන් යොමු කිරීමට අප දැනටමත් කටයුතු යොදා තිබෙනවා. 

මේ අතර භාෂා නිපුණතාවයන්, පරිගණක වැඩසටහන් සැකසීම (Programming) කේතකිරීම් (Coding), ඉලෙක්ට්‍රොනික් විද්‍යාව, වඩුවැඩ, ඒ වගේම පයිප්ප වැඩ පාසල් කාලය තුලදිම කුඩා කල සිටම දරුවන්ට අප ඉගැන්විය යුතුයි. තමන්ගේ ද්විතීයික අධ්‍යාපනය අවසන් කළ විට අමතර ක්ෂේත්‍රයන් ගැන අවබෝධයක් ලබාගැනීමට දරුවන්ට හැකියාව ලැබෙනවා.

මා අද ඔබට ඉදිරිපත් කළ අදහස් මගේම ඒවා පමණක් නොවෙයි.  පසුගිය වසර කිහිපය තුළම බොහෝ දෙනෙකුට ඇහුම්කන් දුන්නා.  ඔවුන් සමග සාකච්ඡා කළා. ප්‍රසිද්ධ විද්වතුන් සමග වාදවිවාද කළා.  අධ්‍යාපනය පිළිබඳ දැනුමක්, ඒ වගේම විශාල අත්දැකීම් සම්භාරයක් තිබෙන අය සමග දීර්ඝ වශයෙන් කතාබහ කළා.  එවන් අයගේ නිර්දේශ බොහොමයක් මා අද ඔබට මේ අවස්ථාවේදී ඉදිරිපත් කළා.

අද පෙර තිබූ ලෝකය නැහැ.  අතීතයට වඩා වර්තමානයේ බොහෝ දෑ එකිනෙකට සම්බන්ධ වී තිබෙනවා.  අද චීනයේ පැතිර යන වෛරසය අවුරුදු 30 කට පෙර තිබුණා නම් මේ ගැන අපට දැන ගන්නට වත් ලැබෙන්නේ නැහැ.  ඒ වගේම අපේ රටට එකල සංචාරකයන් එතරම් නොපැමිණි නිසා එවැනි රෝගයක් පැතිරයාමක්, බලපෑමක් ඇති වන එකක් නැහැ.  ඒ උනාට අද මේ තත්ත්වය බොහෝ වෙනස්. 

අපේ බොහෝ දරුවන් අද චීනයේ නොයෙකුත් ප්‍රාන්තවල ඉගෙනුම ලබනවා. ඒ වගේම අපේ බොහෝ ව්‍යාපාරිකයින් තම ව්‍යාපාර කටයුතු සඳහා චීනයට නිතරම යනවා.  අනෙක් පැත්තෙන් ගත් විට සංචාරකයින් විශාල ප්‍රමාණයක් චීනයෙන් අප රටට එනවා.  සමහරු මෙහි වැඩටත් පැමිණෙනවා.  ගෝලීයකරණය නිසා මේ සියලු දේ අද සිදුවෙමින් පවතිනවා. 

ගෝලීයකරණය තුල අපේ දරුවන් සන්නිවේදනය පිළිබඳ මනා නිපුණත්වයක් ලැබිය යුතු වෙනවා. සෑම දරුවෙකුටම අපේ පාසල් තුලින් ගෝලීය භාෂාවක් වූ ඉංග්‍රීසි භාෂාව හොඳින් ඉගැන්වීමට කටයුතු යොදන්නට ඕනෑ.  සමහරවිට සමහරුන් මතයක් දරාවි එවැනි සුදුසු පුහුණු ගුරුවරුන් නොමැති බවට.  ඒ මානසිකත්වය තුළ සිටියොත් අපට තව පරම්පරා ගණනාවකටවත් මෙය කරන්නට වෙන්නේ නැහැ.  ඒ වෙනුවට ඉදිරි පරම්පරාව ගැන ගැඹුරින් සිතා දැඩි පියවර ගැනීමට අපට සිදුවෙනවා.  තාක්ෂණික හා දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයක් පාවිච්චි කරමින් අඩු මුදලකින් කෙටි කාලයක් තුල අපි දිවයින පුරා දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්විය යුතුව තිබෙනවා.

ඒ වගේම ගණිතය සහ විද්‍යා අංශයෙනුත් අප දරුවන් ඉදිරියට ගෙන යා යුතු වෙනවා.  එම අංශ වලින් අපි බොහෝ දරුවන්ට අවස්ථා නැති බවක් මට පෙනී ගොස් තිබෙනවා.  අපේ අධ්‍යාපන පද්ධතිය මේ සඳහා යොදා ගන්නට නොහැකි නම් ඉදිරියේදී අපට තිබෙන ආර්ථික අභියෝග ජයගන්නට අපට නොහැකි වෙනවා. 

21 වන සියවස හඳුන්වන්නේ “දැනුමේ සියවස” ලෙසයි.  මෙය ශ්‍රී ලංකාවට තිබෙන දැවැන්ත අවස්ථාවක්.  අපට ස්වභාවික සම්පත් නැහැ.  ඒ වගේම අපට බොහෝ දියුණු වූ කර්මාන්ත නැහැ.  එපමණක් නොවෙයි අඩු වැටුප් ලබන ශ්‍රම බලකායක් නැහැ.  මේ සියල්ල නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය වන දේවල්. 

වාසනාවකට අපට ඉන්නවා බුද්ධිමත් ඉහළ ගණයේ ශ්‍රම බලකායක්.  මෙයින් අප උපරිම ප්‍රයෝජන ගතයුතුයි.  අපේ අධ්‍යාපන පද්ධතියෙන් පිටවන ශිෂ්‍යයන්ට සුදුසු පුහුණුවක් ලැබුණහොත් එම ඕනෑම අවස්ථාවකදී මුහුණදීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.  ඒ නිසා අපට මේ පුහුණු අවස්ථා ගැන නැවතත් සිතා බලන්නට වෙනවා.  දශක ගණනාවක් තිස්සේ අපේ තරුණ දරුවන් එක් අවාසනාවන්ත ප්‍රවාහයකට හසු වී තිබෙනවා.  අවදානමක් ගෙන යම් කටයුත්තක් කිරීමට මේ දරුවන් විශාල අකමැත්තක් දක්වනවා. 

අද ඔබ ලෝකය දෙස බැලුවොත් ඉතා සාර්ථක ව්‍යාපාරිකයින් හිනිපෙත්තට නැග තිබෙන්නේ ඔවුන්ට සාර්ථකත්වය සඳහා යාමට යම් අවදානමක් ගැනීමට හැකියාව තිබූ නිසායි.  ඔවුන් බොහෝවිට ඉදිරි පෙළ සිටි සිසුන් නොවේ. එහෙත් ඔවුන් සාර්ථකත්වයට‍ ගොස් ඇත්තේ හොඳින් සිතා බලා අවදානමක් ගෙන වුවද යම් යම් තීරණ ගැනීමට ඔවුන්ට තිබූ  හැකියාව නිසයි. 

මේ නිසා අපේ දරුවන් සැකයෙන් හා බියෙන් තොරව අවිශ්වාසය මුසු නොකොට තීරණ ගෙන අවදානම් සහිත දේ වලට යොමු කිරීමට අප කටයුතු කළයුතුයි.  නමුත් අපේ රටේ බොහෝ විශ්ව විද්‍යාල උපාධිධාරින් අඩු වැටුප් සහිත රජයේ රැකියාවන් ලබා ගන්නට පෙළ ගැසෙනවා මිස, පෞද්ගලික අංශයේ තිබෙන ඉහළ වැටුප් ලැබෙන රැකියා ලබා ගැනීමට අකමැත්තක් දක්වනවා.  මෙය සමහර විට රජයේ රැකියාවල විශ්‍රාම වැටුප් ලැබෙන නිසා වන්නට පුළුවන්. 

මේ තත්ත්වය පරාජිත මානසිකත්වයක් තිබෙන තත්ත්වයක්.  වයස අවුරුදු 23 හෝ 24 දී තමන්ගේ අනාගතය තමන් වයස අවුරුදු 60 වූ විට ලැබෙන විශ්‍රාම වැටුප දෙස බලා තීරණය කිරිම සුදුසු වන්නේ නැහැ.  මේ වෙනුවට අපේ දරුවන් අරමුණු කළයුත්තේ සුභවාදී තීරණ ගෙන ලැබෙන අවස්ථාවන් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමයි.  මේ සඳහා අපි අධ්‍යාපන ක්‍රමයම වෙනස් කළයුතු වෙනවා.

සෑම දරුවකුම එකම විදියකට වර්ධනය වන්නේ නැහැ.  සමහරවිට අඩු වයසින් පරිපූර්ණත්වයට පැමිණියත්, තවත් සමහරු වයසට ගියත් තම දක්ෂතාවයන් පෙන්වන්නේ නැහැ.  සමහර විට කුඩා කළ කිසිම හැකියාවක් දක්ෂතාවයක් නොපෙන්වන දරුවන් පසු කලෙක  ජීවිතයේ අතිදක්ෂ පුද්ගලයින් බවට පත්වී තිබෙනවා.  එනිසා තමයි කුඩා කලදී අපේ දරුවන් අපි අධෛර්යමත් නොකළ යුත්තේ.  ගුරුවරුන් මෙන්ම දෙමව්පියන්ද දරුවන්ගේ කුඩා කාලයේදී පවත්නා වූ දක්ෂතාවයන් හා හැකියාවන් හඳුනාගෙන ඒවා තවදුරටත් වර්ධනය කර ගැනීමට මගපාදා දෙන්නට ඕනෑ.  අධ්‍යාපන ක්‍රමයක මූලික හරය විය යුත්තේ මෙයයි. 

අවසන් වශයෙන් අප විසින් ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාවත්, රට සංවර්ධනය කිරීමේ රාමුවත් තුල අධ්‍යාපනය දැඩි වෙනසක් කිරිමට මා බලාපොරොත්තු වෙනවා.  ඉදිරි පරම්පරාව ඒ වගේම අනාගතයේදී බිහි වන දරුවන් හැකියාවෙන්, නිපුණතාවයෙන්, දැනුමෙන් සන්නද්ධ කොට ඉදිරියේදී එන්නට පුළුවන් සුදුසු අභියෝග හා බාධක ජය ගැනීමට සකස් කළයුතු බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. 

අපි තවදුරටත් දියුණු වෙමින් පවතින රටක් කියනා මානසිකත්වයෙන් ඉවත් වී සැබෑ දියුණුව අත්කරගන්නට නම් අපට ඒ සඳහා දැක්මක් හා සැලැස්මක් තිබිය යුතුයි.  අද අපට එය තිබෙනවා.  නමුත් අපට ඉදිරියේදී කරන්නට වැඩ රාශියක් තිබෙනවා, ජය ගන්නට අභියෝග රාශියක් තිබෙනවා.  අතීතයේ අපි බරපතල අභියෝග ජයගත් ජාතියක්, අනාගතයේත් අපට එය කළ හැකියි.  ඒ සඳහා අපට අවශ්‍ය වන්නේ එකමුතුකම හා නිසි නායකත්වයයි.

ආනන්දීයන් හැමදාමත් රටට අවශ්‍ය වූ විට නායකත්වය සැපයූවා.  අදත් රටට ඔබේ නායකත්වය අවශ්‍යව තිබෙනවා.  ආනන්දියන් වන අපි සියලු දෙනාම අපේ පාසැලට ආදරය කරනවා. අපේ ජාතියට ආදරය කරනවා.  අපේ රටට ආදරය කරනවා.ඒ නිසා දේශප්‍රේමී අනඳ පුතුන් ලෙස එකට එක්වී ඉදිරියට විත් ජාතිය ගොඩනැගීමේ වැඩපිළිවෙලට ක්‍රියාකාරීව එකතුවන ලෙස මම ඔබ සියලු දෙනාටම ආරාධනය කරනවා.

මා නැවත වරක්, මා හැදූ වැඩූ දෙමාපියන්, මාගේ ජීවිත හර පද්ධතිය, දැනුම, ආකල්ප බෙහෙවින් වෙනස් කොට මා මේ තැනට ගෙන ඒමට මහඟු මෙහෙයක් කළ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරුන් සහ ගුරු මණ්ඩලය, ඒ වගේම මාගේ වෘත්තීය ජීවිතයේ හමුදා විනය හා පුහුණුව තුලින් පරිපූර්ණ කළ  ශ්‍රී  ලංකා යුද හමුදාව, මා කෙරෙහි මහත් සෙනෙහස දක්වමින් අතහිත දුන් මාගේ සියලු හිතමිතුරන් ගෞරවයෙන් සිහිපත් කරමින් අප රට ඉදිරියේ තිබෙන අභියෝග ජය ගැනීමට එක්ව කටයුතු කරමු යන අධිෂ්ඨානය ඔබ ඉදිරියේ තබමින් ඔබට සුභ ප්‍රාර්ථනා කරනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි.

 

දින පොත
  • සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය එකට ගමන් කළයුතුයි - ජනපති රටේ සහ මතු පරපුරේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධනයත්, පරිසර සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය Read more...
  • තෙත් බිම් සිතුවම් තරගයට සිතුවම් භාර ගැනේ ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ Read more...
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...