ලොව වටා

නත්තලේ සැබෑ අරුත

2016 දෙසැම්බර් 24 වැනි සෙනසුරාදා - 134  

top-10-historical-unsolved-mysteries-toptenz-net-4dgETd-clipart

දෙවියන් වහන්සේගේ පුත්‍රයා වන ජේසුස් වහන්සේ මනුෂ්‍යෙයකු ලෙස මෙලොව උපත ලැබූ දිනය සමරන උත්සවය නත්තල ලෙස අප හදුන්වනවා.ලොව පුරා සිටින කතෝලික ජනයා මෙම නත්තල් උත්සවය අති උත්කර්ෂවත් ලෙස සමරනවා.බොහෝ දෙනෙක් මෙම නත්තල් උත්සවය සැමරැවත් නත්තලේ අර්ථය පිළිබද  දැනීමක් ඇත්තේ කිහිප දෙනෙකුට පමණයි.මේ නත්තල පිළිබද අප දන්නා දේවල් හා නොදන්නා දේවල් වලින් කීපයකි.

නත්තල කියන්නේ මොකක් ද ?

නත්තල කියන්නේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඉපදුණ දිනය සමරන උත්සවය විතරයි.ජේසුස් වහන්සේ ඉපදුණ දිනය අප සමරනවා නත්තල කියලා.ජේසුස් ස්වාමීන් වහන්සේ,දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා කතෝලිකයන් විශ්වාස කරනවා.ආදී මව්පියන් වන ආදම් සහ ඒව කල වරද නිවැරදි කරන්න ගැලවුම්කාරයෙක් එවන ලෙසට දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා.ඒ අනුව දෙවියන් වහන්සේගේ පුත්‍රයා වන ජේසුස් වහන්සේව මනුෂ්‍යෙයක් ලෙස මේ ලෝකයට එවනවා.එතුමා මනුෂ්‍යෙයක් ලෙස මේ ලෝකයේ උපත ලැබූ දිනය තමයි නත්තල් මංගල්‍ය ලෙස හදුන්වන්නේ.ඒ සදහා දෙවියන් වහන්සේ මරියතුමිය හා ජුසේතුමා ලෙස මනුෂ්‍ය අම්මා කෙනෙක් හා තාත්තා කෙනෙක්ව තෝරා ගන්නවා.ඔවුන් දෙදෙනා හරහා තම එකම පුත්‍රයාව මේ ලෝකයට එවලා එම දරැවා හදා වඩාගෙන ගැලවීමේ ඉදිරි කාර්යය සඳහා සූදානම් කිරීමට දෙවියන් වහන්සේ මොවුන් දෙදෙනාට පවරනවා.මවකගේ වටිනාකම,මව් කුසයේ ශුද්ධවන්තභාවය,පවුලක ශුද්ධවන්ත බව පෙන්වා දීමට දෙවියන් වහන්සේ,ජේසුස් වහන්සේට සාමාන්‍ය දරැවකු ලෙස උපත ලබන්නට ඉඩ හරිනවා.ජේසුස් වහන්සේ මනුෂ්‍යෙයකු ලෙස මෙලොව උපත ලැබූ දිනය තමයි නත්තල ලෙස අපි සමරන්නේ.

නත්තලේ සැබෑ අරුත

නත්තලේ සැබෑ අර්ථය වෙන්නේ අපව ගලවා ගැනීමට ගැලවුම්කාරයෙකු මේ ලෝකයට පැමිණීමයි.එය ලෞකික රාජ්‍යයක් සමග තිබෙන ගනුදෙනුවක් නොවෙයි.එය අධ්‍යාත්මික කාරණයකි.ඒ තමයි සෑම බැම්මකින්ම අප ගලවා ගැනීම.ප්‍රධාන වශයෙන් පාපයෙන්.පාපය පිළිබද,පාපයෙන් ගැලවෙන ආකාරිය පිළිබද මිනිසුන් තුල තේරැමක් තිබුණේ නැහැ.ජේසුස් වහන්සේ පාපයෙන් ගැලවීමට අපට අධ්‍යාත්මික මාර්ගයක් පෙන්නුවා.ඒ තමයි සදාතනික ජීවිතය.එය ලබා ගැනීමට නම් තාවකාලික ලෝකය තුලින් ගමන් කල යුතුයි.තාවකාලික ලෝකයෙන් මිදී අපට   එය කල නොහැකියි.ජේසුස් වහන්සේ මේ ලෝකයට පැමිණ අපට එම මාර්ගය පෙන්වා දුන්නා.පාපයෙන් ජය ගන්නා ආකාරය ජේසුස් වහන්සේ පරීක්ෂා වල භාජනය වෙලා අපට කියා දුන්නා.එම මාර්ගය පෙන්වා දීම තමයි නත්තලේ අරමුණ.සාමයේ පණිවිඩය එයයි.පාපයෙන් අපට ගැලවෙන්න පුළුවන්,පාපයෙන් අපට ගැලවීමක් තිබෙනවා කියන දේ තමයි ජේසුස් වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා අපට කියා දුන්නේ.එය තමයි නත්තලේ සැබෑ අරුත වෙන්නේ.

ගවලෙන

ගවලෙනේ ආරම්භය සිදු කරන්නේ අසීසයේ ශුද්ධ වූ ප්‍රැන්සිස් තුමා විසිනුයි.එතුමාට අවශ්‍ය වෙනවා ජේසුගේ උපත සැබෑ ආකාරයෙන්ම සමරන්න.ඒ සඳිහා එතුමා ජීවමාන මිනිසුන්ව යොදා ගන්නවා.මරියතුමිය,ජුසේතුමන්,ගොපලුවන්,බැටලුවන් ආදිය.සැබෑ මිනිසුන් ගෙන හිස් ගව ඔරැව තබාගෙන නත්තලේ පලවෙන් ගවලෙන ඉතිහාසයේ පලමු වතාවට එතුමා සාදනවා.පියතුමකු විසින් එම ස්ථානයේ දිව්‍ය පූජාව පවත්වනවා. හිස් ගව ඔරැවට ජේසුස් වහන්සේ වැඩම කල බව එම අවස්ථාවේ එතන සිටි මිනිසුන් ඉටිපන්දම් එළියෙන් දුටු බව පවසනවා.එම අවස්ථාවේ එතන ලොකු ප්‍රාතිහාර්යක් සිදුවුණ බව විශ්වාස කරනවා.එය තමයි නත්තලේ පලමුවෙනි ගවලෙන.එය වසර            

 ගණනාවක් තිස්සේ දිගටම පැවතගෙන පැමිණ වර්තමානයේ දී සංකේතාත්මකව සුරැවම් භාවිතයෙන් ගවලෙන් සාදනවා.මෙහි තේරැම නම් එදා ජේසුස් වහන්සේ ඉපදුණ දිනයේ සිදු වූ සිදුවීම නැවත අපට රෑපකාරයෙන් සිහි ගැන්වීමයි.ගවලෙන මුදුනේ තාරකාවක් එල්ලීමෙන් එම අවස්ථාවේ අහසේ වල්ගා තරැවක් පායා තිබෙනු දුටු බව පැවසෙනවා.

නත්තල් ගස

නත්තල් ගස අප සැම දෙනාම අසා තිබෙනවා.ආගමික් විශ්වාසයන් හා බැඳි මේ ගසට තිබෙන්නේ දීර්ඝ ඉතිහාසයක්.යුරෝපයේ මිථ්‍යා විශ්වාස ඇති බොහෝ දෙනෙක් ගස් වලට වන්දනාමාන කළා.ඔවුන් පසු කාලයක දී ක්‍රිස්තියානි ආගමට හැරැණත් දිගටම ගස් වලට වන්දනාමාන කළා.උදාහරණයක් ලෙස සීත කාලයේ දී බොහෝ දෙනෙක් නිවෙස්වල දොරකඩ හා ඇතුළත නත්තල් ගසක් තැබුවා.වර්ෂ 1841 බ්‍රිතාන්‍යයේ රාජකීය පවුල නත්තල සැමරීම සඳහා ස්පෘෘස් ගස භාවිත කර එය අලංකාර කළා.එදා සිට එම ගස නත්තල් ගස ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුණා.ඒ හා සමානව සාදා ඇති කෘතිම ගස් වලට ද තිබෙන්නේ ඉතා අධික ඉල්ලුමක්.

නත්තල් සීයා

නත්තල් සීයාගේ ආරම්භය තමයි සාන්ත නිකලස් තුමා.එතුමා ලස්සන ඇදුමක් ඇදගෙන සීත රටවල රාත්‍රී කාලයේ දී දුප්පත් ළමයින්ගේ ගෙවල් ළගට ගොස් ඔවුන්ට තෑගි තියා හැංගිලා එනවා.එය තමයි නත්තල් සීයාගේ ආරම්භය.සෙන්ට් නිකලස් යන නාමය බිදී සැන්ටා ක්ලෝස් යන නාමය සෑදී ඇත.වර්තමානය වන විට නත්තල් සීයා වාණිජ වෙළෙද භාණ්ඩයක් බවට පත්ව තිබේ.

කැරොල්

ජේසුස් වහන්සේ උපත ලැබු දින රාත්‍රියේ දේවදූත කණ්ඩායම් ජේසුස් වහන්සේගේ උපතේ ප්‍රීතිය ස්වර්ගයේ ගායනා කරන හඩ එඩේරැන්ට ඇසුණලු.එම ගායනා වල ස්වරෑපය,දේව ප්‍රශංසා,ප්‍රීත්ය පල කරන වචන අදටත් අපි ගීතිකා ලෙස කණ්ඩායම් එකතු වී දේවස්ථාන වල ගායනා කරනවා.අපට ගැලවුම්කාරයෙක් ලබා දීම වෙනුවෙන්  දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා.පසු කලෙක මිනිසුන් කණ්ඩායම් වශයෙන් එකතු වී ගෙවල් ගානේ ගොස්,තැන තැන වේදිකා සාදා ගායනා කරනවා.ගැලවුම්කාරයෙකු ලැබුණු ප්‍රීතිය ප්‍රීතිමත් වචන වලින් ප්‍රශංසා කරනවා.එය තමයි කැරොල් ගායනා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ.

ඇත්තටම නත්තල් කවදාද?

දෙසැම්බර් 24 මධ්‍යම රාත්‍රියේ තමයි අපි ජේසුස් වහන්සේ උපත ලැබුවා කියා විශ්වාස කරන්නේ.එය ආගමික සිදුවීමක් ලෙසයි පිලිගන්නේ.දිව්‍ය පුජාවක දී තමයි අපි එය සමරන්නේ.දිව්‍ය පූජාවෙන් පසු අපි සියලු දෙනාම පවුලක් ලෙස,රටක් ලෙස,ලෝකයක් ලෙස දෙසැම්බර් 25 නත්තල සමරනවා.දෙසැම්බර් 24 මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවෙන් පසුවයි නත්තල උදා වෙන්නේ.

නත්තල අයිති කාට ද?

දේවදූතයන් ගායනා කළේ සුසිත් දනන් හට සාමය වේවා කියා.දේවදූතයන් ගායනා කල ගීත වලට අනුව නත්තලේ අයිති කාරයන් වන්නේ හොද හිත් තිබෙන අයයි.නත්තල අයිති කතෝලිකයන්ට පමණක් නොවේ.හොද හිත් තිබෙන සෑම දෙනාටම නත්තල අයිතියි.මේ ලෝකයේ වැඩිපුරම හොද හිත් තිබෙන්නේ ළමයින්ටයි.එම නිසා නත්තලේ පලමු අයිතිකාරයින් වන්නේ ළමයින් ය.හොද හිතක් තිබෙන ඕනෑම කෙනෙකුට නත්තල අයිති කරගන්න පුළුවන්.ළමයින් ලෙස පොඩි කාලේ සිට හොද හිතක් තියාගන්න අවශ්‍යයි.හොද හිත වර්ධනය කර ගත යුතුයි.හොද හිත් ඇති තැන තමයි සාමය ඇති වෙන්නේ.අපේ හිත් දෙවියන්ට පවා ජීවත් විය හැකි සරැ හිතක් බවට පත් කරගත යුතුයි.මට සිදුවුණ අනතුරක් තවත් කෙනෙකුට නොවෙන්න,මට වඩා තවත් කෙනෙක් දියුණු වෙන්න කියා නත්තලේ දී අප් ප්‍රාර්ථනා කල යුතුයි.සාමය කියන්නේ එයටයි.කුඩා දරැවන් ලෙස ළමයින් තුල ඊර්ෂ්‍යාව,වෛරය,ක්‍රෝධය නොමැති නිසාම නත්තලේ පලමු අයිතිකරැවන් ලෙස ළමයින්ව හදුන්වනවා.

නත්තල අර්ථවත්ව ගත කරන්නේ කොහොම ද?

නත්තල අපට ගත කිරීමට ක්‍රම කීපයක්ම තිබෙනවා.ශාරීරිකව,සමාජයීයව හා අධ්‍යාත්මිකව අපට නත්තල ගත කරන්න පුළුවන්.නමුත් වර්තමානය වන විට නත්තල වඩාත්ම නැඹුරැ වී තිබෙන්නේ ශාරීරික හා සමාජීය යන අංශ වලට.විවිධ විලාසිතා සහිත ඇදුම් පැලදුම් ඇදීම,කෑම බීම කා නටා ගයා විනෝද විම තමයි වර්තමානයේ නත්තලේ දී බොහෝ දෙනා ඉහලින්ම කරන්නේ.එය මුළුමනින්ම වෙළද ආක්‍රමණයක්.ශාරීරික හා සමාජීය අංශ වලට වෙළෙන්දන් විසින් මිනිසුන්ව මුළුමනින්ම වහල් කරලා.මානසික සුවයට අඩු අවදානමක් හිමිවෙලා තිබෙන්නේ.නත්තලේ දී අපට කළහැකි අධ්‍යාත්මික කාරණා ලෙස පල්ලි ගොස් දිව්‍ය පූජාවට හරියාකාරව සහභාගි වීම,තම තමන්ගේ ජීවිත නිවැරදි කරගැනීම,පරණ තරහවල් අමතක කිරීම,අපගේ ජීවිත අලුත් මාවතකට ගැනීම.ජේසු ගෙනා පණිවිඩය තේරැම් ගෙන පාපයෙන් මිදී අධ්‍යාත්මික ගමනකට ධෛර්යක් ගැනීම අපි සියලු දෙනා කල යුතුයි.නත්තලේ අර්ථය වන්නේ අපගේ ජීවිත ආලෝකමත් කර ගැනීමයි.ආලෝකයේ කුමාරයාණන්ගේ ආගමනය තුලින් අප සියලු දෙනාගේ ජීවිත ආලෝකමත් කරගැනීම තුලින් අප සියලු දෙනාට නත්තල අර්ථවත්ව ගත කිරීමට හැකි වේ.

ළමයින් විදිහට නත්තල ගත කරන්නේ කොහොම ද?

කතෝලික දරැවන් ලෙස පලමුවෙන්ම කල යුත්තේ නත්තල් දිව්‍ය පූජාවට සහභාගි වීම යි.කතෝලිකයන් ලෙස සියලු දෙනා එක් වී නත්තලට ලොකු උත්සවයක් ගත්තත් එය ආගමික උත්සවයක් පමණයි.පලමුවෙන්ම ජේසුස් වහන්සේව අපව ලබා දුන්නට අප දෙවියන් වහන්සේට ප්‍රශංසා කල යුතුයි.දිව්‍ය පූජාවේ ආගමික කටයුතු වලට අප සම්බන්ධ විය යුතුයි.නත්තලේ පලමු සුබ පැතුම අප පියතුමාගෙන් ලබා ගෙන අනිත් අයට ද සුබ පතා සියලු දෙනා සමග සාමය බෙදා ගත යුතුයි.ජේසු අපට ලබා දුන් සාමය අපි ද ලබා ගෙන අන් අයට ද සාමය පතා නත්තලේ ප්‍රීතිය අප සියලු දෙනා සමග බෙදා ගත යුතුයි.ළමයින් ලෙස වැඩිහිටියන් බැලීමට යාම,ඔවුන්ට සුබ පැතීම කල යුතුයි.අපට පුළුවන් ආකාරයට අම්මාට,තාත්තාට පොඩි තෑග්ගක් සාදා දීමෙන් අපට ඔවුන්ව සතුටු කරන්න පුළුවන්.ගමේ සිටින දුප්පත්,අසරණ දරැවන් සමග නත්තලේ දී අපට ලැබෙන තෑගි බෝග වලින් යමක් බෙදා හදා ගන්නට පුළුවන්.නත්තලේ දී අප බඩ කට පමණක් පුරවා නොගෙන අපේ අත් දෙකත් යොදාගෙන අප ළග ඇති දේ අන් අය සමග බෙදා හදා ගන්නේ නම් ළමයින් ලෙස නත්තලේ දී ලබා ගත හැකි ලොකුම සතුට එයයි.  

ආචාර්ය ජයන්ත ප්‍රනාන්දු  පියතුමා

සටහන සඳුනි ඉමල්කා