girl_guides

මහනුවර උසස් බාලිකාවෙන් ඇරඹි බාලදක්ෂිකා ව්‍යාපාරයට සියවස සපිරේ

2017 මාර්තු 13 වැනි සඳුදා - 57  

සෑම දියණියකගේ ම ආත්මයට ආලෝකය ලබා දී සමානත්වය, සහජීවනය පෙරදැරි කර ගෙන ගොඩ නැගුණු විශිෂ්ට සමාජ සේවා ව්‍යාපාරයක් ලෙස බාලදක්ෂිකා ව්‍යාපාරය හැඳින්වීමට පුළුවන. රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පොයෙල් සාමිවරයාගේ සොයුරිය වූ ඇග්නස් බේඩ්න් පොයෙල් මෙනෙවියගේ මූලිකත්වයෙන් 1910 දී ආරම්භ වූ මෙම බාලදක්ෂිකා ව්‍යාපාරය බේඩ්න් පොයෙල් සාමිවරයාගේ බිරිඳ වූ ඔලෙව් සෙන්ට් ක්ලෙයා සෝම්ස් මහත්මියගේ කැපවීම මත තව දුරටත් දියුණු විය. එය ශ්‍රී ලංකාවේ ආරම්භ වූයේ 1917 මාර්තු 21 දින ය. මහනුවර උසස් බාලිකා විදුහලේ එවකට විදුහල්පතිනිය වූ සැන්සම් මෙනෙවියගේ උනන්දුව මත ජෙනී කැල්වර්ලි මෙනෙවිය විසින් එය හඳුන්වා දෙන ලදි. ඒ හරහා සමස්ත බාලිකාවන්ට තම දක්ෂතා පෙන්වන්නට අවස්ථාව උදා වුණු අතර අද වන විට කලාප පහක් තුළ රටවල් 145ක් පුරා බාලදක්ෂිකාවන් හැට දෙදහස ඉක්මවා තිබීමෙන් එහි සාර්ථකත්වය තහවුරු කෙරේ.

            වර්තමානයේ පාසල් තුළ වයස් මට්ටම් අනුව අංශ හතරකට බෙදී මෙම බාලදක්ෂිකා ව්‍යාපාරය ක්‍රියාත්මක වේ. උදව් කරන්න තේමාව යටතේ කුඩා මිතුරියෝ ද, සූදානම් ව සිටින්න තේමාව යටතේ බාලදක්ෂිකාවෝ ද, ජ්‍යේෂ්ඨ බාලදක්ෂිකාවෝ ද කටයුතු කරන අතර සතුටු වන්න තේමාවෙන් සමනලියන් කණ්ඩායම ද විවිධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී අනාගතයට සූදානම් වෙති. බාලදක්ෂිකා ව්‍යාපාරය මහනුවර උසස් බාලිකාවෙන් ඇරඹි අතර සමනලියන් කණ්ඩායම ද 2013 වර්ෂයේ දී මුලින් ම ආරම්භ වූයේ මහනුවර උසස් බාලිකාවෙන් වීම විශේෂත්වයකි. Untitled-1

            එදා සිට මේ දක්වා විදුහල මෙහෙය වූ විදුහල්පතිනියන්ගේ උපදෙස් හා බාලදක්ෂිකා කටයුතු භාර නායිකාවන්ගේ මග පෙන්වීම අනුව බාලදක්ෂිකාවන් රැසක් සමාජ ගත වීම විශ්වීය සමාජයට අනුගත වන්නා වූ පිරිපුන් උසස් කාන්තාවක දායාද කිරීම යන උසස් බාලිකා දැක්ම අනුව යාමක් වෙයි. සෑම වසරක ම උසස් බාලිකාවෙන් ජනාධිපති බාලදක්ෂිකාවන් බිහි කර ඇති අතර මධ්‍යම පළාතේ වැඩි ම ජනාධිපති බාලදක්ෂිකාවන්  (13ක් ) බිහි කළ වසර ලෙස ද 2014 වසර ඉතිහාසයට එක් ව ඇත.

4 (1) 4 7 8

            සියවසක ගමන් මග ආවර්ජනය කරන මේ අවස්ථාවේ එදා සිට අද දක්වා ද බාලදක්ෂිකා ව්‍යාපාරය වෙනුවෙන් උසස් බාලිකාවේ දායකත්වය ද විශේෂයෙන් අගය කළ යුතු ව ඇත.  මහනුවර දිස්ත්‍රික්කයේ බාලදක්ෂිකා කටයුතු සඳහා උසස් බාලිකා විදුහලේ බාලදක්ෂිකා නිවහන මුල් කර ගනිමින් ආධුනික බාලදක්ෂිකාවන්ගේ පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබන අතර බාලදක්ෂිකා සංගමයේ නිලධාරින් ඇතුළු පළාත් කොමසාරිස්වරුන්ගේ සියලු ම සැලසුම් සංවිධානය කරන මෙහෙයුම් ස්ථානයක් ලෙස ද මෙම පාසල් පරිශ්‍රය  භාවිත කෙරේ.

6 9 10

            අභියෝගාත්මක සමාජ ප්‍රවාහය තුළ නොසැලෙන පෞරුෂත්වයක්  හා නායකත්වයක් ඇති කර ගැනීමට හේතු වුණු බාලදක්ෂිකා ව්‍යාපාරය මෙරට ආරම්භ කරමින් පවත්වාගෙන යන්නට කැප වූ පූර්ව විදුහල්පතිනියන්, නියෝජ්‍ය විදුහල්පතිනියන්, බාලදක්ෂිකා භාර නායිකාවන් ඇතුළු සමස්ත බාලදක්ෂිකා ප්‍රජාව ද ඉකුත් දශකය පුරා විදුහලේ බාලදක්ෂිකා ව්‍යාපාරය ශක්තිමත් කරන්නට කැප වූ උසස් බාලිකා විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මිය ද විදුහල තුළ තව දුරටත් එම ව්‍යාපාරය හා බැඳුණු ක්‍රියාකාරකම්වල නියැලුණු චන්ද්‍රානි දිසානායක, නයනා අදිකාරි, මල්ලිකා සුබ්‍රමානියම් මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් හා පළාත් නිලධාරීන්ගේ ද ප්‍රගති සමාලෝචන  අධ්‍යක්ෂ පුෂ්පා ආර්යරත්න මහත්මියගේ ද සේවය විශේෂයෙන් අගය කරන අතර සියවස් සැමරුම උදෙසා විශේෂ වැඩ සටහන් රැසක් ද සැලසුම් කර ඇති බව සඳහන් කිරීම වටී. සියවස් සැමරුම් ඵලකයක් නිරාවරණය කිරීමට ද කටයුතු යොදා ඇත.

( ඇන්ටන් විජේරත්න විසිනි.)