මම ගෙදර ගියෙමි

2024 අප්‍රේල් මස 18 පෙ.ව. 08:51 - {{hitsCtrl.values.hits}}  

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිතුමන් බාලදක්ෂයින් වෙත අපූරැ සලකුණක් හඳුන්වා දී ඇත. කවයක මැද තිතක් යෙදීමෙන් එම සලකුණ නිර්මාණය වෙයි.
 එහි අරැත මම ගෙදර ගියෙමි යන්නයි. ඉංග්‍රීසි භාෂාවෙන් එය I have gone home යනුවෙන් ලෝක බාලදක්ෂයෝ හඳුන්වයි.


ගෙදර ගිය බාලදක්ෂයෝ


නවක බාලදක්ෂයින් දවසේ කටයුතු අවසන් කළ පසු නිවෙස් බලා ගිය බවට හඟවන සලකුණ බාලදක්ෂ කාමරය අසල සටහන් කළ හැක.
 ඒ සඳහා ගල් කැබලි කිහිපයක් හෝ කෝටු කැබලි කිහිපයක් යොදා ගත හැකි බව බාලදක්ෂ විද්‍යාව කෘතියෙහි පෙන්වා දී ඇත. 
ඒ අනුව බාලදක්ෂයෝ තමන්ගේ බාලදක්ෂ කඳවුර අවසන් වූ පසු එසේත් නැතිනම් චාරිකාව අවසන් වූ පසු සිරිත් පරිදි තමන් විසිර යන ස්ථානයේ දී මෙම සටහන යොදති.

සමුගත් බාලදක්ෂ ආචාර්යවරයාට 
ගෞරවාචාරය පුද දෙමු


තමන් ඉපදුණ මිහිතලයට සේවය කරමින් තම යුතුකම ඉටුකළ බාලදක්ෂයන් වෙනුවෙන්ම පවත්වාගෙන යන Honorable Scout Salutation මුහුණු පොතෙහි පිටුව 2012 ජනවාරි මස 08 වෙනි දින ආරම්භ විය. 
බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමි තුමන්ගේ “මම ගෙදර ගියෙමි* සලකුණ ඒ සඳහා යොදා ඇත. බේඩ්න් පවෙල් සාමිතුමාගේ සිට වර්තමානය දක්වා අප අතරින් වියෝ වූ දෙස් විදෙස් බාලදක්ෂයෝ එහි වෙති. 
ඒ අනුව එළැඹෙන සෑම වසරකම ජනවාරි මස අටවැනි දා නැසී ගිය බාලදක්ෂයින් ස්මරණය කරන දිනය ලෙස ලෝක බාලදක්ෂයින්ගේ අවධානයට ලක් වෙයි. 
පවතින සමාජයට සහ බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් ඔවුන් සිදුකළ උදාර සේවය අනාගත බාලදක්ෂයන් දැන සිටිය යුතුය. එම අරමුණින් එළැඹි දෙදහස් විස්ස වර්ෂයේ දීත් සමස්ත ලෝකයේ විවිධ රටවල විවිධ වූ පිංකම්, ගුණානුස්මරණ වැඩසටහන් සංවිධානය වෙයි. 

බේඩ්න් පවෙල් ස්මාරක සොහොන


ලෝක බාලදක්ෂ ආදි කර්තෘ යුවලගේ භෂ්මාවශේෂ ඇතුළත් සොහොන් කොත දකුණු අප්‍රිකාවේ කෙන්යාවේ නයිරි කඳු පාමුල පිහිටි ශාන්ත පීතර සුසාන භූමියේ පිහිටුවා ඇත. 
1941 ජනවාරි මස 8 වැනි දින අභාවප්‍රාප්ත වූ රොබට් ස්ටීවන් ස්මිත් බාලදක්ෂ ආදි කර්තෘතුමන් වෙනුවෙන් ඉදිකළ මුල් සොහොන් කොත ඉවත් කර 1977 ජුනි 25 වෙනි දින ස්වර්ගස්ථ වු ආදිකර්තෘ මැතිනිය ඔලෙව් බේඩ්න් පවෙල්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරමින් ඉදිකළ නව සොහොන් කොත මෙහි දක්වා ඇත. 

නාඳුනන බාලදක්ෂ සොල්දාදුවාගේ සොහොන
දෙදහස් විස්සේ ජනවාරි මාසයේ පැවැත්වෙන ලොවින් සමුගත් බාලදක්ෂ ආචාර්යවරැන්ගේ දිනය වෙනුවෙන් අපූරැ සටහනක් ධර්ම ලාල් ගුණවර්ධන නමැති බාලදක්ෂ ආචාර්යවරයා අන්තර්ජාලයට එකතු කර තිබුණි. 
එහිදී ඔහු බාලදක්ෂ ඔබගේ අවධානය ජපානය හා ඇමරිකාව වෙතට යොමු කර තිබුණේ මේ අයුරින්ය.
ඇමරිකාව ජපානයට න්‍යෂ්ටික බෝම්බ හෙලීම දෙවැනි ලෝක යුද්ධයේ එක් බිහිසුණු අවස්ථාවකි. 
මෙම යුද්ධයේ එක අවස්ථාවක දී දකුණු පැසිපික් සාගරයේ පිහිටි දූපතක ඇමරිකානු සොල්දාදුවෙක් බරපතළ ලෙස තුවාල ලබා සිටියේය. අවට වෙඩි තැබීමේ හඬ නතර වු පසු ඔහු වැටී සිටි ස්ථානය කරා අඩි පාර දිගේ යමෙකු පැමිණෙන හඬ ඔහුට ඇසුණි.
 තම අතෙහි වූ බයිනෙත්තුව තමා වෙත මානාගෙන සිටින ජපන් ජාතික සොල්දාදුවා ඔහුට දැකගත හැකි විය. ඇමරිකානු සොල්දාදුවා සිතුවේ ජපන් ජාතික සොල්දාදුවා අතින් තව සුළු මොහොතකින් තමා මිය යන බවය.
 ඒ මොහොතේ දී හෙතෙම ක්ලාන්ත විය. මඳ වේලාවකින් අනතුරැව පියවී සිහියලත් ඔහු දුටුවේ තමා අසල සුදු පැහැති වැලි මත නමා දැමූ කඩදාසියකි. හෙතෙම එය අහුලා තම කමිස සාක්කුවේ ලා ගත්තේය.
 මඳ වේලාවකින් පැමිණි වෛද්‍ය බලකාය විසින් ඔහු ගිලන් මැස්සක හොවා ක්ෂේත්‍ර මෙහෙයුම් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගෙන යනු ලදුව එහිදී තම සාක්කුවේ තිබූ කඩදාසි කැබැල්ල එහි සිටි වෛද්‍යවරයාට දුන්නේය. එහි සඳහන් වූ දේවල් වෛද්‍යවරයා ඇමරිකානු සොල්දාදුවාට ඇසෙන සේ කියවීය. එහි මෙසේ සඳහන් විය.
“මම ඔබ මරා දැමීමට සූදානම් වන විට ඔබ ඇඟිලි තුඩු තුනෙන් යුතු බාලදක්ෂ ආචාරය මා වෙත පුද කළා. මම බාලදක්ෂයෙක්මි.
 ඔබ මගේ බාලදක්ෂ සොහොයුරෙකු බැවින් මට ඔබ ඝාතනය කළ නොහැකි විය. සටන් ශක්තිය නොමැති ඔබ වෙත යොමු වී ඔබව වෛද්‍යාධාර ලබා දීමට යොමු කළෙමි.* 
වර්තමානය වන විට එම සිදුවීමට අදාළ ජපන් සොල්දාදුවා මිය ගොසින්ය. ඇමරිකානු සොල්දාදුවාගේ නම අස්ථානගත වී ඇත. 
එහෙත් එම සත්‍ය සිදුවීම ස්මරණය වීම උදෙසා ජපානයේ යොකොහාමා හි “නම නොදන්නා බාලදක්ෂ සොල්දාදුවාගේ ස්මාරකය* ඉදිකර ඇත්තේය.

 

දින පොත