මිත්‍රත්ව ගැටය ලෝකයට ගෙන යමු

2024 අප්‍රේල් මස 19 පෙ.ව. 09:33 - {{hitsCtrl.values.hits}}  

මිතුරැකම සංකේතවත් කරන ගැටයක් බාලදක්ෂයින්ට හඳුන්වා දී ඇත. එම ගැටය කුඩා කාලයේ පොල් කොළයකින් නිර්මාණය කළ පොල් කොළ බඹරය සිහිපත් කරයි.

මිත්‍රත්වයේ ගැටය පොල් කොළයට යොදමු


මිත්‍රත්ව ගැටය පුහුණු වීමට පොල් කොළයක් භාවිත කළ යුතුය. ඉරටුව ගලවා ඉවත් කළ පොල් කොළයේ කොටස් දෙක එකින් එක හරහා යැවීමෙන් ගැටය නිර්මාණය කළ හැකිය. 
එතැනින් නොනැවතී එය පොල් කොළ බඹරයක් දක්වාම විකාශය කිරීම පෝතක බාලදක්ෂ ආකේලා වෙත පැවරෙන කටයුත්තක්ය. එහිදී බඹරය මඤ්ඤොක්කා ලී කෝටු කැබැල්ලකට ඇල්පෙනිති තුඩකින් රඳවන්න.
පසුව  එය හමා එන සුළඟට ඇල්ලූ විට කරකැවෙන ආකාරය කුඩා පෝතක බාලදක්ෂයින් හට විනෝදාස්වාදයක් ලබාදෙනු ඇත. මෙහි දැක්වෙන්නේ ඉවත දමන ක්‍රේප් පටියකින් සකස් කළ මිත්‍රත්ව ගැටය යෙදූ සුළං බඹරයක්ය.

මිත්‍රත්ව ගැටය යොදන්නේ මෙහෙමයි


ගැටලණු දෙකක්, ක්‍රේප් පටි දෙකක්, පොලි එතලීන් ලණු දෙකක් හෝ පොල් කොළ දෙකක් යොදා ගනිමින් මිත්‍රත්ව ගැටය පුහුණු විය හැකිය. 
ක්‍රියාකාරී අන්ත සිව්කොන් එකම ලක්ෂයක් වටා එක මත එක රිංගා යමින් එකින් එක පොටවල් ස්පර්ශ වන හෙයින් මෙම ගැටයට මිත්‍රත්ව ගැටය ලෙස නම්කර ඇත. 
මෙහි දැක්වෙන පියවර එකින් එක අනුගමනය කිරීමෙන් මිත්‍රත්ව ගැටය ක්‍රමවත්ව යොදන අයුරැ බාලදක්ෂ ඔබ විසින් අත්හදා බැලිය යුතුය.

මිත්‍රත්ව ගැටය ලෝක ජම්බෝරියට ගෙන යමු


එළැඹෙන ලෝක බාලදක්ෂ ජම්බෝරියේ දී හෝ දිසා කඳවුරේ දී ඔබට හමුවන බාලදක්ෂයින් හට සිහිවටනයක් ලෙස ත්‍යාග කිරීමට මිත්‍රත්ව ගැටය යෙදූ කුඩා පොල්කොළ බඹරය සුදුසුය. 
පොල් කොළය වියළා පදම් කොට මෙම නිර්මාණය කළ හැකි නම් දිගු කාලයක් සිහිවටනය ආරක්ෂා වනු ඇත. මේ අයුරින් පියවර එකින් එක අනුගමනය කිරීමෙන් මිත්‍රත්ව ගැටය ක්‍රමවත්ව යොදන අයුරැ බාලදක්ෂ ඔබ අත්හදා බැලිය යුතුය.

මිත්‍රත්ව ගැටය කර ලේන්සුවට යොදමු


මිත්‍රත්ව ගැටය යෙදීමට පුහුණු වූ බාලදක්ෂයෝ නිල ඇඳුම නොඅඳින අවස්ථාවල එය තමන්ගේ බාලදක්ෂ කර ලේන්සුවට යොදා ගෙල පලඳා ගනිති. මෙහි දැක්වෙන්නේ බාලදක්ෂ කර ලේන්සුවේ තුඩ දෙක එකිනෙක හරහා යවමින් මිත්‍රත්ව ගැටය යොදන ආකාරයයි. 
මිත්‍රත්ව ගැටයේ ප්‍රයෝජන
මිත්‍රත්ව ගැටය මුල් කාලයේ භාවිතයට ගනු ලැබුවේ චීන ජාතිකයින් විසින්ය. බිත්ති සැරසිලි සහ මැක්‍රම් ගෙතීම සඳහා යොදාගත් මිත්‍රත්ව ගැටයේ ආකර්ෂණය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල මිනිසුන් විවිධ ප්‍රයෝජන ලබා ගත්තෝය. 
ලබාගත් ප්‍රයෝජන අනුව විවිධ නම් වලින් හැඳින්විණ. ඒ අතර චීන කුරැස ගැටය, ජපන් ඔටුනු ගැටය, බ්‍රිතාන්‍ය හතරුස් ගැටය, දියුණුවේ ගැටය, බැකාරෝ ගැටය යන නම් ප්‍රමුඛ වෙයි.

 

ලෝක මිත්‍රත්වයට අත දිගුකරන බාලදක්ෂිකාවෝ

බාලදක්ෂිකා නීතිය සහ පොරොන්දුවේ කරැණු මුදුන්පත් කරගැනීම අරබයා එය සංකේතවත් කිරීමේ අරමුණින් මිත්‍රත්වයේ ගැටය බාලදක්ෂිකා ව්‍යාපාරයට එකතු කරගනු ලැබුවේය.
 එම නිසාම බාලදක්ෂිකාවන් විසින් මෙම ගැටය හඳුන්වනු ලබන්නේ වැග්ස් මිත්‍රත්ව ගැටය ලෙසින්ය. ගෙලෙහි පලඳින කර ලේන්සුව කෙළවරෙහි මිත්‍රත්ව ගැටය යෙදීමෙන් එය සංකේතවත් කරනු ලබයි.

දින පොත