අවුරුදු කුමාරයා  සහ විජය අතර අවුරුදු කඹ ඇදිල්ලක්

2024 අප්‍රේල් මස 25 ප.ව. 07:34 - {{hitsCtrl.values.hits}}  

 

 

අවුරුදු හිරැ අවර ගිරින් බැස යන්නට ආසන්න ය. ඈත මුහුද දෙසින්  හමා ගෙන එන සිසිල් සුළං රුල්ලෙන් විහාරමහා දේවී උද්‍යානය ද සිසිල් වී ඇත. අවුරුදු සමරන්නට පැමිණි ජනයා උද්‍යානයේ තැන තැන රංචු ලෙස අවුරැදු අසිරිය විඳිති. 

උයනේ එක් පැත්තක විජය අවුරැදු උලෙළයි. විජය පුවත්පතේ ලියන්නෝද, අඳින්නෝද, සැරසිලි කරන්නෝද ඔවුන්ගේ පවුල්වල දූ දරුවෝ ද විජය අවුරැදු කුටියේ මහත් ප්‍රමෝදයෙනි.

කඹ ඇදිල්ල කොයි වෙලාවේද?

කවුරැත් සිටින්නේ කඹ ඇදිල්ල පටන් ගන්නා තුරැය. මේ කඹ ඇදිල්ල නම් එසේ මෙසේ කඹ ඇදිල්ලක් නොවේ. මහම මහ  කඹ ඇදිල්ලකි. එපිට - මෙපිට කඹ ඇදිල්ලකි. මෙපිට  නම් විජය ඇත්තෝ ය. එපිට නම් අවුරුදු කුමාරයාගේ ඇත්තෝ ය. එහෙත් පරහකට ඇත්තේ අවුරුදු කුමාරයාගේ ඇත්තෝ තවමත් නොපැමිණීමයි.

එන එකක් නැති වෙයිද? 

නෑ... එහෙම වෙන එකක් නෑ. එයි. එපිට ඇත්තෝ  යමක් කිව්වොත් කිව්වාමයි. 

එතකොට මෙපිට.?

මෙපිටත් එහෙම තමයි. යමක් කිව්වොත් කිව්වාමයි.

විජය කුමාරිකාවෝ ඔන්චිලි වාරම් කියමින් ඔන්චිලි පදිති. ඔවුන්ට කඹ ඇදිල්ල ගැන වගේ වගක් නැත. කුමාරිකාවන්ගේ ඔන්චිලි වාරම් ද අපූරුය. ඒවා පෙර නොඇසූ විරෑය. එක් පැත්තකට පැද්දී යන ඔන්චිල්ලාවේ ලලනාවන් රංචුවකි. ඉහළට එසවෙන ඔන්චිල්ලාව අනෙක් පැත්තට පැද්දී යන්නේ නරඹන්නන්ගේ සිත් සතන් ප්‍රමෝදයට පත් කරවමිනි.  

කඹය සූදානම් ය. විජය කඹ අදින්නෝද සූදානම්ය. අවුරැදු කුමාරයාගේ ඇත්තෝ පැමිණියා නම් කඹය ද දැන් සූදානම් ය.

ගත වූයේ එක මොහොතකි. අවුරුදු කුමාරයා උයනේ ගස් අස්සෙන් මතු විය. ඒ සමගම අවුරුදු කුමාරයාගේ ඇත්තෝ පමණක් නොව ඇත්තියෝ ද ප්‍රාදුර්භූත වූහ. එය නම් මහත්ම අසිරියකි. මිහිබට සුරපුර සිහි ගැන්වීමකි. විජය ඇත්තෝ ද මහත් ආනන්දයට පත්ව එපිට පිරිස පිළි ගන්නට ගියහ.

විජය මහ කතු ද, හිරැ කුමරැ ද සතුටු සාමීචියෙනි.

ගිය අවුරුද්දේ ඔබගේ පැමිණීම අපට මහත් සතුටක් 

‘‘එහෙම එන්නට ලැබීම මටත් මහත් සතුටක්. ඒ නිසා තමයි මේ වතාවේ මගේ සහචර පිරිසක්ම කැන්දා ගෙන ආවේ. අපේ  කුමරියනුත් හරිම කැමැත්තෙන් හිටියේ විජය ලලනාවන් බලන්නට. අපේ  කුමරැවන්ට කඹ ඇදිල්ල නම් පුරැදු නැති වැඩක්. ඒ වුණත් මා සිතන්නේ ඔවුන් බොහොම කැමැත්තෙන් කඹ ඇදිල්ලට එක් වෙයි කියලයි. 

ගත වූයේ ටික වේලාවකි. එපිට කුමරියනුත් විජය ලලනාවනුත් එක පොදියට ඔන්චිලිවල එල්ලී පැද්දෙති. ඔන්චිලි වාරම් ගයති. එපිට කුමරියන්ගේ ගායනා හඬින් මුළු උයනම අසිරියට පත් වූවාක් සේය. උයනේ සිටි අනෙක් අවුරැදු උත්සව නවතා සියල්ලෝ විජය අවුරුදු උත්සවය වටා රොක් වී ඇත. ඔවුන් සියල්ලෝ දැන් බලා සිටින්නේ එපිට - මෙපිට මහම මහ කඹ ඇදිල්ල ආරම්භ වන තෙක්ය. 

දැන් එක පැත්තක විජය ඇත්තෝය. අනෙක් පැත්තේ අවුරුදු කුමාරයාගේ ඇත්තෝය. විජය ඇත්තෝ නම් හැඩි දැඩි පෙනුමැතිය. විජය ඇත්තන්ට  කඹය අදින්නට දෙන්නේ නම් නැතැයි හිරැ කුමරැන්ගේ ඇත්තෝ මුණු මුණු ගාති.

එපිට කුමරැ කවදාවත් නොඇද්ද කඹයක් අදින්නට සූදානමිනි. ඔවුහු පෙළ ගැසී කඹය අල්ලා ගෙන සිටිති.  සියුමැලි සිරුරින් යුත් එපිට කුමර කුමරියන් දැන් සූදානම්ව බලා සිටින්නේ සංඥාව ලැබෙන තුරැය.

එකායි. දෙකායි. තුනායි.

දැන් දෙපැත්තම එක ගැම්මට කඹය අදිති. විජය ඇත්තෝ නම් දත කා ගෙන, දණ ගසා ගෙන කඹය අදින්නෝ ය. ඔවුන්ගේ කෑ ගැසීමෙන් උද්‍යානයේ වෘක්ෂයන්හි සැඟ වී නින්දේ සිටි පක්ෂීහු කෑ ගසාගෙන පියාඹා ගියහ.

එපිට කුමරැවෝ ද අත නොහැර කඹය අදින්නට වූහ. හුරැවක් නොතිබූ එපිට කුමරුවන්ගේ දෑත් රිදී කකියන්නට වීමෙන් ඔවුන්ට කඹය අත හැරිණි. එක් වරම  වූ මේ සිද්ධියෙන් වූයේ විජය රැළම කඹය සමග ඇදී ගොස් පසු පස්සට වැටීමයි.

සුර දූතියෝ ද, විජය ලලනාවෝ ද අත් පොළසන් දුන්නේ කාටදැයි වෙන් වෙන් ව නොවැටහුණි. එහෙත් ඔවුහු මහත් ප්‍රමෝදයෙන් අත් පොළසන් දෙමින් හඬ නැගූහ.

දෙවන වටයේ කඹ ඇදිල්ල ඇරඹූයේ පැති මාරැ කර ගැනීමෙන් පසුවය. හිරු කුමරුද, විජය මහ කතු ද පසෙකට වී සිටියේ තරගය නරඹමිනි.

දෙවන වටය ආරම්භ වූයේ මහත් ඝෝෂාවක් සමගිනි. ඝෝෂාව නැගුණේ වටින් රුස්ව සිටි ජනී ජනයාගෙනි. මෙවර නම් කඹය අත නොහරින්නෙමුයි ශපථ කළෝ එපිට කුමරැවෝ ය. විජය ඇත්තෝ සිටියේ මහත් උද්දාමයෙනි. සංඥාව ලැබිණි. දෙපිරිස දෙපැත්තට අදින්නට වූහ. පළමු වටයේ සේ මෙවර නම් පරාජය නොවන්නෙමුයි සිතූ එපිට කුමරැවෝ එකාවන්ව කඹය අදින්නට වූයෙන් විජය ඇත්තෝ  කඹය සමග ඇදී ගියහ. පළමු වටයේ ජය ඝෝෂා නැගූ විජය ඇත්තෝ ඒ මේ අත බැලුවේ මේ වූයේ කිමෙක්දැයි සිතා ගත නොහැකි ව ය.

විජය කුමාරිකාවෝ ද, සුර දූතියෝ ද එක්ව අත් පොළසන් හඬ නැගූහ. ඒ කාගේ සතුට වෙනුවෙන්දැයි කාටවත් ගාණක් නොවීය.

නැවත පැති මාරැ විය. සංඥාව ලැබිණි. ඇදිල්ල  පටන් ගැනිණි.

දැන් විජය ඇත්තෝ ද, හිරු කුමරුගේ ඇත්තෝ ද එකාවන්ව කඹය දෙපැත්තට අදිති. දැන් දැන් එපිට ඇත්තන්ට කඹය අත හැරෙතැයි විජය ඇත්තෝ සිතති. දැන් දැන් විජය ඇත්තෝ තමන්ගේ පැත්තට ඇදී එතැයි එපිට කුමරැවෝ ද සිතති. කවදාවත් නැතිව  සුර කුමාරවරුන්ගේද සිරැරැවලින් ඩහදිය ගලන්නට පටන් ගෙන ඇත. මේ සිදු වන්නේ කුමක්දැයි ඔවුන් ද විමතියෙනි. 

කඹය ඒ පැත්තට ඇදෙයි. මේ පැත්තට ඇදෙයි. විජය ඇත්තන් නම් දැන් හෙම්බත් ය. තවත් නම් අදින්නට බැරි යැයි එකෙක් කෙඳිරි ගෑ ය. හිරැ කුමරැගේ ඇත්තන් ද දැන් හෙම්බත් ය. සිරුරින් ඩහදිය ගැලීමෙන් තමන්ට කුමක් වේදැයි ඔවුහු බියට පත් ව සිටියහ.

එහෙත් දෙපිරිසිම කඹය අත නොහැර අදිති. අවට සිටියවුන් ජය ඝෝෂා නගති. විජය ලලනාවෝ ද, සුර දූතියෝ ද මහත් සේ වික්ෂිප්ත ව දෙඅත් ඔසවා ගෙන සිටින්නේ අත් පොළසන් දීමට සූදානමිනි. කාට ජය අතේ වේදැයි සිතිය නොහැකි ය.

එක් වරම කඹය මැදින් කැඩී ගියේ ය. එතරම් සවිමත් කඹයක් එසේ කැඩුණේ කෙසේදැයි බලා සිටි හැම විමතියට පත් වූහ. විජය  රුළ පිටු පසට විසි වී ගොස් එකා පිට එකා වැටුණෝ ය. හිරැ කුමරැගේ එපිටඇත්තන්ට ද  සිදු වූයේ එයමය. ඔවුහු ද පිටු පසට විසි වී ගොස් එකා පිට එකා වැටුණේ පළමුවරට රිදුම නම් කුමක්දැයි අත් විඳමිනි. එවැනි රිදුමක් මෙයට පෙර නම් කිසි කලෙක විඳ නැතැයි එපිට ඇත්තෝ කන් කෙඳිරි ගෑහ.

‘‘ඇයි මේ කෙඳිරි ගාන්නේ...? අසනීපයක්ද? “ කියා කිසිවකු මා සොලවා අසන විට මම අවදි වී වට පිට බැලුවෙමි. මා වට කර ගෙන විජය පුවත් පතේ කතු මඩුල්ලේ කිහිප දෙනෙකි. මා සිටියේ පරිගණකය ඉදිරිපිට පුටුවේ  හිඳ ගත් ගමන්මය.  විජය පුවත්පතට අවුරැදු ලිපිය සකස් කරමින් සිටි මට නින්ද ගියේ කොයි වේලාවේද? විජය ඇත්තන්ගේ හා හිරු කුමරුන්ගේ ඇත්තන්ගේ කඹ ඇදිල්ලට සිහිනෙන් හෝ සහභාගි වන්නට ලැබීම කොතරම්  භාග්‍යයක්ද?

හිරැ කුමරුන්ගේ පිරිවරටත්,   විජය පුවත්පතේ පිරිවරටත්, මෙය කියවන ඔබ සැමටත් සුභ අලුත් අවුද්දක් වේවා!

 

 

බන්දුල දයාරත්න

සිහිනය සිතුවම්  ක ෙල්

සමන් කළු ෙබා්විල

 

දින පොත