වෙල් යායක හැන්දෑව

2020 සැප්තැම්බර් මස 20 පෙ.ව. 06:14 - {{hitsCtrl.values.hits}}  

නිවසේ කම්මැලිකමෙන් සිටි මම වෙල් යාය දෙසට පියිවර තැබුවෙමි. පොල් රුප්පාව අතරින් පායා එන සඳ කොමලිය තව මොහොතකින් මුළු ලොවම සඳ රැසින් නහවන බව මට වැටහුණි.

ඈතින් හමා ආ සීත සුළං රැල්ල මගේ අලස බව පලවා හැරීඹට සමත් විය. දහඩියට නතු වී තිබූ ගතට දැනුණු සිසිලස කියා නිම කළ නොහැකි ය. මම නියිර දිගේ ඉදිරියට පියවර මැන්නෙමි.

වෙල් යායෙ ඉස්මත්තෙහි ලස් මත වසා සිටි නානා වර්ණයන්ගෙන් සැදුම්ලත් අලංකාර කුරුල්ලෝ කිචි බිචි හඬ පතුරවන්නට වූහ. ඇඳිරි වැටීගෙන එද්දි පියඹා යන සියොත්කැල ගුවන පුරා රටා විහිදුවා ඇති අයුරු පෙනේ. සුළඟ හා ගැටෙනවී කරලින් නැගෙන ශබ්දය අමුතුම මිහිරියාවක් ඇති කිරීමට සමත් ය. වසු පැටවකුගේ උම්බෑ හඩ ඈතින් ඇසේ. වෙල් යාය කෙලවරට වන්නට පිහිටි දිය ඇල්ලේ මිහිරි රාවය පරයමින් දෙසවන්හි වැකෙන වස්දඬු රාවය මගේ සිත අමන්දානන්දයට පත් කිරීමට සමත් විය. නියර අද්දර පිපී ඇති නොයෙක් වර්ණයේ කුඩා මල් අහස දෙස බලා සිටින්නාක් මෙන් පෙනේ.

ඕවිට දෙසට ගිය නැන්දා මුකුණුවැන්න මිටියක් ම කඩාගෙන ඈත නියරෙහි එනු පෙනේ. දිය මතට වැටී ඇති මල් පෙති අතරෙහි දැවටි දැවටී එහා මෙහා පීනන මින් කැල සඳ එළියේ තෙමීමට සැරසෙති.

නැන්දා මා සමීඵයට ම පැමිණියා ය. ඇඳිරි වැටීගෙන ඒමට පරිසරය දරන උත්සාහය දුටු මම නැන්දාත් සමග ගෙදර බලා පිය එසවීමි.


 

අයේෂා නිමන්ති,

8 ශ්‍රේණිය,

මහ/පුෂ්පදාන බාලිකා විද්‍යාලය,

මහනුවර.


 

දින පොත