දුර්ලභ සීබ්‍රාවෙක් හමුවෙලා

2020 අගෝස්තු මස 11 පෙ.ව. 08:41 - {{hitsCtrl.values.hits}}  

 

  • දුඹුරු හමේ සුදු පුල්ලි

කෙන්යාවේ මසායි මාරා ජාතික රක්ෂිතයේදී ජාන විපර්යාසයක් හේතුවෙන් දුඹුරු පැහැ ගැන්වූ දුර්ලභ සීබ්‍රා පැටවකු හමුවී තිබේ.

සාමාන්‍ය සීබ්‍රා සත්වයකුගේ සුදු සමේ කළු පැහැ ඉරි දක්නට ඇතත්, මෙම පැටවාගේ දුඹුරු පැහැ සමේ සුදු පැහැ වයිරම් සහ කඩ ඉරි වැටී තිබේ. pseudomelanism  නම් දුර්ලභ ජාන විපර්යාසය හේතුවෙන් සීබ්‍රා පැටවාගේ පැහැය වෙනස්වී ඇතැයි හදුනාගෙන ඇත.

කුඩා අශ්ව පැටවකු වැනි වූ මෙම දුර්ලභ සත්වයා ෆ්‍රෑන්ක් ලියූ නම් ඡායාරූප ශිල්පියාට අහම්බෙන් දක්නට ලැබී ඇත.

“මම පළමු අවස්ථාවේ මේ සීබ්‍රාව දුටුවේ විශේෂ සත්ව වර්ග කිහිපයක් එකට එක් වුණාම දකින පින්තූරයක් වගෙයි.”

නම ටිරා

මෙම සත්වයාව පළමුව සොයාගත් මසායි රක්ෂිතයේ මාර්ගෝපදේශකයකු වන අන්තෝනි ටිරා, මෙම සත්වයාට ‘ටිරා’ යන නම යොදා තිබේ.

සීබ්‍රා සත්වයින්ගේ ඉරි, ඇඟිලි සලකුණු මෙන් ඔවුන්ට ම අනන්‍ය ය. නමුත් ටිරාගේ වර්ණ විෂමතාවය මසායි මාරාහි වාර්තාගත පළමු සොයාගැනීම වනු ඇත.

අප්‍රිකාවේ ඔකවන්ගෝ දිවයිනේදීද මීට සමාන ජාන විපර්යාසයට ලක්වූ සතුන් හමුවී තිබුණි. අප්‍රිකාවේ නැගෙනහිර පිහිටි ටැන්සානියාහි සෙරෙන්ගෙටි ජාතික උද්‍යානයේ දී මේ වසරේ ආරම්භයේදී අතිශය දුර්ලභ ඇළි වර්ගයට අයත්, සත්වයෙකු ඡායාරූපයකට හසුවී ඇතැයිද වාර්තා වේ.

වර්ණ විපර්යාසයට හේතුව?

මෙලනොසයිට් නම් විශේෂ සෛලවලින් මෙලනින් නිපදවන අතර, ක්ෂීරපායී සත්වයින්ගේ රතු, කහ, දුඹුරු හෝ කළු පැහැය,  කෙස් සහ සමේ සෛලවල වර්ණ තීරණය කරයි.

“මෙලනින් නිපදවීමේ සහ සංයෝග ක්‍රියාවලියේදී බාධා කරවන විවිධ ජාන විපර්යාස තිබෙනවා. මේ සියලු විපර්යාසවලින්, මෙලනොසයිට් තමයි සාමාන්‍යයෙන් ඒවා ව්‍යාප්ත කරන්නේ. නමුත් එයින් නිපදවන මෙලනින් අසමාන්‍යයයි” හඩ්සන් ඇල්ෆා ආයතනයේ ජාන විද්‍යාඥයකු වන ග්‍රේග් බාෂ් මහතා පවසයි.

සාමාන්‍යයෙන් සීබ්‍රාවන්ගේ ශරීරය පුරා ඒකාකාරයෙන් මෙම සෛල පැතිර යයි. එනිසා ලෝම ඉවත්කරන ලද සීබ්‍රාවකු නම් සම්පූර්ණයෙන් එම සත්ත්වයා කළු පැහැ වේ. ග්‍රෙග් පවසන්නේ ටිරා වැනි සීබ්‍රාවන්ගේ මෙලනොසයිට් සිරුරේ පවතින බවත්, නමුත් එහි ඇති මෙලනින් කුමන හෝ හේතුවක් නිසා ඉරි ලෙසින් පැහැදිලිව මතුවන්නේ නැති බවයි.

අනාගතය අවිනිශ්චිතයි

මෙවැනි අසාමාන්‍ය වර්ණ විපර්යාස සහිත සීබ්‍රාවන් සාමාන්‍යයෙන් වැඩිකලක් ජීවත්වන්නේ නැති බවද, ටිරාගේ අනාගතය අවිනිශ්චිත බවද ලොස් ඇන්ජලීස් නුවර කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥවරියක වන රෙන් ලැරිසන් මහත්මිය කියයි. ඇය සීබ්‍රාවන්ගේ සිරුරේ ඇති ඉරිවල විකාශනය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්නෙකි.

“අනෙකුත් සතුන් ගැන කළ අධ්‍යයනවලදී අපි හඳුනාගත් ආකාරයට කණ්ඩායම් වශයෙන් සීබ්‍රාවන් සිටිනවිට පරපෝෂිත සත්වයින්ට මොවුන්ව ගොදුරු කරගැනීම අසීරුයි. සියල්ලන්ම එකවගේ නිසා. නමුත් සත්වයා විශේෂ නම්, වෙනස් නම් ගොදුරු කරගැනීම පහසුයි.

මම වර්ණ විපර්යාසයට ලක් වූ මෙම වර්ගයට අයත් සීබ්‍රාවන්ගේ පින්තූර ගණනක් පහුගිය කාලය පුරා දැක තිබෙනවා. නමුත් ඒ එකම පින්තූරයකයි එම සත්වයෙක් වැඩිහිටි හෝ නාඹර විය වෙනතෙක් වර්ධනය වෙලා ආරක්ෂිතවෙලා තිබුණේ.”

කෙසේ හෝ මෙම බාධා අතරින් සීබ්‍රා පැටවා ටවර්ධනය වී තරුණ අවධියට පත්වන තෙක් ආරක්ෂිත වීමට හැකියාව ලදහොත් ඔහුට ඔහුගේ සීබ්‍රා කණ්ඩායමට එක්වී ඊට අනුගතවීමට  හැකිවනු ඇත.

ලැරිසන් මහත්මිය පවසන ආකාරයට සීබ්‍රාවන්ගේ සිරුරේ ඇති ඉරි විකාශනය වී ඇත්තේ, මැස්සන් සපාකෑමට එරෙහිව කටයුතු කිරීමටය. උෂ්ණත්වය සහ ඔවුන්ගේ වෙස් මාරුකර මුලාකිරීම අනුව එසේ වන බවට මත පැවතිණි. මේ දක්වා කරන ලද පර්යේෂණවලට අනුව, මැස්සන් සීබ්‍රාවන්ගේ ඉරි සහිත සම කොටසෙහි සිටීමට අරුචි බව සොයාගෙන ඇත.

“මැස්සන් විකර්ශනය කරගැනීමට ටීරා සමත්වෙන එකක් නැහැ. මොකද ටිරාට කළු ඉරි නැති නිසා” යැයි ඇය කීවාය.

Courtesy _: https://www.nationalgeographic.com/animals/2019/09/zebra-pseudo-melanism-kenya-masai/

(නැෂනල් ජියෝගැෆික් ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

දින පොත