ළමයින්ට හිමි අයිතිවාසිකම්

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 12:19 - {{hitsCtrl.values.hits}}  

ළමයින්ට හිමි අයිතිවාසිකම්

ළමයින්ට හිංසනයෙන් තොරව නිදහසේ ජීවත්වීම වෙනුවෙන් පිළිගත් නීතිරිති, අණපනත් රාශියක් ඇත. ලංකාවේ පමණක් නොව මුළු ලෝකය පුරාම ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම සහා ගනු ලැබූ නොයෙක් පියවර විධිවිධාන ද රැසකි.

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය

ළමා අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකරන ආයතන රාශියකි. ඒවා අතර පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය, ළමා ආරක්ෂක අධිකාරිය, කම්කරු කාර්යාලය, මානව හිමිකම් කොමිෂන් සභාව කැපී පෙනේ. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් වශයෙන් ළමා අයිතිවාසිකම් සම්මුතියේ අත්සන්කළේ 1991 ජූලි 12 වැනිදා ය. එතැන් පටන් අපේ රට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය නිල වශයෙන් පිළිගත්තේය. 

මෙය ළමයින්ගේ අයිතිවාසිකම් කවරේදැයි ජාත්‍යන්තරව පිළිගත් ලියැවිල්ලකි. ළමයින් හට සැලකීමේ දී මේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය පාදක කරගත යුතුය. ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අත්සන් තබා ඇත්තේ රජය වුවද රටේ සෑම පුරවැසියෙක් ළමා අයිති වාසිකම් පිළිබඳව දැන සිටිය යුතුය. ඒ පිළිබඳ අවබෝධයෙන් යුක්තව කටයුතු කළ යුතුය.

ළමයා යනු

අවුරැදු 18 ට අඩු සියල්ලෝම ළමයින් හැටියට පිළිගැනෙති. ඒ සියලු දෙනාටම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ සඳහන් අයිතිවාසිකම් හිමිවේ.

ප්‍රඥප්තියේ දැක්වෙන ළමා අයිතිවාසිකම්

වෙනසක් නොකිරීම

ළමයා කවරකු වුවද, කුමන වයසක පසු වුවද, කවර ජාතියකට හෝ ආගමකට හෝ අයත් වුවද, කවර වර්ණයකින් යුතු වුවද, කුමන භාෂාවක් කතා කළද, සමාජ තත්ත්වය කවරක් වුවද, ස්ත්‍රී පුරුෂ භාවය කුමක් වුවද කුමන අන්දමේ ආබාධ තිබුණ ද ඒ කිසිවක් නිසා ඔහුට ඇයට වෙනස්කමක් නොකළ යුතුය. එසේ වෙනස්කමක් වේ නම් ඊට විරැද්ධ වීමට ළමයාට අයිතියක් ඇත.

ළමයින්ගේ උපරිම යහපත

රටේ ජනතාව ළමයින් සම්බන්ධව තීන්දු තීරණ ගන්නා විටත්, ක්‍රියාකරන විටත් ළමයාට යහපතක් වන පරිදි කටයුතු කළ යුතුය. ළමයින්ට අසාධාරණයක් වන, අයහපතක් වන තීරණ හා ක්‍රියාකාරකම් කරන විට ළමයාට ඊට එරෙහි වීමට පුළුවන.

පැවැත්ම හා සංවර්ධනය

ජීවත්වීම ළමයාගේ අයිතියකි. ළමයාගේ නිදහසේ ජීවත්වීමේ අයිතියට හෝ නිසි ලෙස වැඩීමේ අයිතියට හෝ ඉඩක් නොලැබේ නම් ඊට එරෙහි වීමට දරුවාට අයිතියක් ඇත.

නම හා ජාතිකත්වය

සෑම ළමයකුටම උපන්දා සිට නමක් හා ජාතිකත්වයක් ඇත. තමන්ගේ මව, පියා කවුරුන් දැයි දැන ගැනීමටත්, ඔවුන්ගේ ආදරය ලැබීමටත් ළමයාට අයිතිය තිබේ. එය යමෙකු විසින් වළක්වනු ලැබ ඇතිනම් මීට එරෙහි වීමට ලමයාට අයිතියක් ඇත.

අනන්‍යතාව ආරක්ෂා කිරීම

ළමයාටම වෙන්වූ අනන්‍යතාවක් ඇත. උදාහරණ ලෙස නම, ජාතියක් ඇතිවාසේවා ආගම සේම දරුවා හැදෙන වැඩෙන පවුලක් හා පරිසරයක් ද ඇත. මවුපිය සෙවණක් ඇත. එය යම් හෙයකින් නැති වූ අවස්ථාවක ඊට මැදිහත් වී එම අනන්‍යතාව ලබා දීමට රජය බැඳී සිටියි.

මවුපියන්ගෙන් වෙන්කර තැබීම

මවුපියන් විසින් ළමයාට අකටයුත්තක් හෝ බරපතළ නොසලකා හැරීමක් සිදු කෙරෙන්නේ නම් පමණක් ළමයාගේ උපරිම යහපත සඳහා ඔහු හෝ ඇය මවුපියන්ගෙන් වෙන්කර තැබීමට යම් යම් නීති තත්ත්වයන් ඇත. පවුල් ප්‍රශ්න මත මවුපියන් වෙන්ව ජීවත් වේ නම් පවතින නීති තත්ත්වය මත මව හෝ පියා හෝ සමීපයේ ළමයාට ජීවත්විය හැකිය. කවුරුන් ළඟ හැදුණත් තමන්ගේ අම්මා තාත්තා සමග පහසුවෙන් සබඳතා පවත්වාගෙන යාමට ළමයාට අයිතියක් ඇත. ළමයා මවුපිය සෙවණින් ඉවත්ව සිටීනම් ඒ පිළිබඳව නීතියෙන් ගත හැකි පියවර රුසක් ඇත.

පවුලක් ලෙස නැවත එක්වීම

ළමයාට තමන්ගේ පවුල සමග ගත කිරීමේදී ඒ වෙනුවෙන් ඕනෑම රටකින් පිටවීමටත්, තම රටට නැවත පැමිණීමටත් අයිතියක් ඇත.

ළමයා පැහැරගෙන යාම හෝ බලහත්කාරයෙන් රඳවා ගැනීම

ළමයා බලෙන් පැහැර ගෙන ගියොත් හෝ බලහත්කාරකමින් රඳවා තබා ගත්තොත් එය වැළැක්වීමට හා ළමයා ආරක්ෂිතව ලබාගෙන භාරකරුවන්ට පැවරීමට රජය බැඳී සිටී. එබඳු යම් සිද්ධියක් වේ නම් ඒ ගැන  ළඟම පොලිසියට  හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට හෝ දැනුම්දිය හැකිය.

ළමයාගේ මතය

ළමයා පිළිබඳව මවුපියන් හෝ වැඩිහිටියන් විසින්  කිසියම් තීරණයක් ගන්නා අවස්ථාවේ දී තමන්ගේ අදහස ප්‍රකාශ කිරීමට ළමයාට අයිතිය තිබේ.ඔහුගේ එම මතය වැඩිහිටියන් විසින් සැලකිල්ලට ගත යුතුය. එය ළමයාගේ අයිතියකි.

නිදහස් ලෙස අදහස් ප්‍රකාශ කිරීම

ළමයාට වැදගත් වන විවිධ කාරණා ගැන තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට ළමයාට අයිතියක් ඇත.

නිදහසේ සිතීම හා ආගමක් ඇදහීම

ළමයාට නිදහසේ හිතන්නට අයිතියක් තිබේ. මාපිය මග පෙන්වීම මත තමන් කැමති ආගමක් ඇදහීමට ද ළමයාට අයිතියක් ඇත.

ඇසුරැ කිරීමේ නිදහස

තමන්ගේ යහළු මිත්‍රයන් හමුවීමටත්, ඇසුරැ කිරීමටත් ළමයින්ට අයිතියක් ඇත.

පෞද්ගලිකත්වය රුකගැනීම

ළමයින්ට පෞද්ගලිකත්වයක් ඇත. ඔහුගේ,තොරතුරැ හා පවුල, නිවස ආදිය පිළිබඳව වෙනත් අයගේ සෙවීම් බැලුම් වලට අන්‍ය පුද්ගලයන් පිළිතුරැ දීමට අවශ්‍යම නැත.

නිසි තොරතුරැ ලබා ගැනීම

දේශීය හා විදේශීය මූලාශ්‍රයන්ගෙන් තොරතුරැ ලබාගැනීම ළමයාට ඇති අයිතියකි. එසේ ලබාදෙන තොරතුරු ළමයාගේ ශුභ සිද්ධියට ගැළපෙන සංස්කෘතික අගයන්ට හානි නොවන විය යුතුය.

මවුපියන්ගේ වගකීම

මවත්,පියාත් දෙදෙනාම ළමයාගේ වැඩීම හා වර්ධනය සම්බන්ධව සොයා බැලීමේ සම වගකීම ඇත්තෝය. ඔවුහු දරැවන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කළ යුත්තෝය.

අපයෝජනයෙන් හා නොසලකා හැරීමෙන් ආරක්ෂා වීම

අපයෝජනයෙන් හා නොසලකා හැරීමෙන් ආරක්ෂා වීමට ළමයාට අයිතියක් තිබේ. ළමයින්ට හිංසා කිරීමට කිසිම කෙනෙකුට අයිතියක් නැත.

පවුලක් නොමැති දරැවන්ට රුකවරණය

මව පියා නැති හෝ වගකිව යුතු භාරකරුවකු නොමැති දරැවන්ට විශේෂ ආරක්ෂාව ලැබිය යුතුය. එවැනි දරැවන්ට සුදුසු ආරක්ෂාව පවතින පවුලක් ලබා දීම හෝ ළමයාගේ සංස්කෘතික පදනමට ගැළපෙන සුදුසු ආයතනයක් ලබාදීම රජයේ වගකීම වේ. ළමයකු වෙනත් පවුලක් විසින් දරැකමට හදාගන්නේ නම් එය පවතින නීතියට අනුරෑපව ළමයාට උපරිම යහපත සැලසෙන පරිදි සිදුකළ යුතුය.

ආබාධ සහිත ළමයි

කායික වශයෙන් හෝ මානසික වශයෙන් කිසියම් ආබාධයකින් පෙළෙන දරැවකුට වුවද අනෙක් ළමයින්ට මෙන් හැදෙන්නට වැඩෙන්නට ද විශේෂ ආරක්ෂාවක් හා අධ්‍යාපනයක් ලැබීමට ද, පූර්ණ ජීවිතයක් ගත කිරීමට ද අයිතියක් තිබේ.

මනා සෞඛ්‍යයක් ලැබීම

හැම ළමයකුටම මනා සෞඛ්‍යයක් අත් විඳීමට අයිතියක් ඇත. මනා සෞඛ්‍යයක් උදෙසා අවස්ථාව නොලැබෙන විට තමන්ගේ අයිතිය වෙනුවෙන් ඉල්ලීම් කළ හැකිය. සෞඛ්‍ය අධ්‍යාපනය ලැබීමට ද ළමයින්ට අවස්ථාව ඇත.

සමාජ ආරක්ෂාව

තම රටේ පවතින සමාජ ආරක්ෂණ වැඩසටහන් වලින් ප්‍රයෝජන ලැබීමට ළමයින්ට අයිතියක් ඇත.

ජීවන තත්ත්වය

ළමයෙකුට මනා ජීවන තත්ත්වයක් හිමිවිය යුතුය. ළමයාගේ අධ්‍යාපන, ආහාර, නිවාස, නිදහස ආදි මූලික අවශ්‍යතා මාපියන් හෝ රජය හෝ විසින් සම්පූර්ණ කළ යුතුය.

අධ්‍යාපනය

අධ්‍යාපනය ලැබීමට හැම ළමයෙකුටම අයිතියක් ඇත. එය නොලැබී යා නම් තම අයිතිය වෙනුවෙන් ඉල්ලීම් කළ හැකිය. අධ්‍යාපනයේ පරමාර්ථය වනුයේ ළමයාගේ පෞරුෂත්වය, දැනුම, කුසලතා මෙන්ම මානසික හා ශාරිරික හැකියාවන් පරිපූර්ණ කිරීමයි.

සුළු ජන කොටස්වලට අයිති ළමයි

සුළු ජන කණ්ඩායම්වලට අයත් ළමයින්ට තමන්ගේ සංස්කෘතිය භූක්ති විඳීමටත්, තම ආගම ඇදහීමටත්, තම භාෂාව භාවිත කිරීමටත් අයිතියක් ඇත. එයට බලපෑම්  සිදු වේ නම් තම අයිතිය වෙනුවෙන් ඉල්ලීම් කළ හැකිය.

ක්‍රීඩා විනෝදාත්මක කටයුතු හා සංස්කෘතික කටයුතු

සෑම ළමයෙකුටම ක්‍රීඩා කිරීමටත්, විනෝදයෙන් සිටීමටත්, සෞන්දර්යාත්මක හා සංස්කෘතික ක්‍රියාකාරකම්වලට සහභාගි වීමටත් හා සම්බන්ධ වීමට අයිතියක් ඇත්තේය.

ළමා ශ්‍රමය

ළමයින්ට තම අධ්‍යාපනයට, තම සෞඛ්‍යයට හෝ වර්ධනයට හානියක් වන පරිදි ශ්‍රමය යෙදවීමෙන් වන අවස්ථාවලින් මිදීමට අයිතියක් ඇත. ළමයින් රුකියාවක යොදනවා නම් එහි අවම වයස් මට්ටම රජය නීත්‍යානුකූලව දන්වා සිටී. ළමයා සේවාවල යොදවනවා නම් ඊට යහපත් සේවා පරිසරයක් ද පැවතිය යුතුය.

මත්ද්‍රව්‍ය උවදුර

මත්ද්‍රව්‍ය භාවිතය ද, මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ද, මත්ද්‍රව්‍ය බෙදාහැරීම ද ළමයින්ට සපුරා තහනම්ය. යමෙක් බලහත්කාරකමින් හෝ එවැන්නක් සඳහා ළමයි යොදවන්නේ නම් වහාම ඒ පිළිබඳව ළඟම පොලිසියට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත දැනුම්වත් කළ හැකිය.

ලිංගික අපයෝජනය

ලිංගික අපයෝජනයෙන් හා සියලු ලිංගික අතවරවලින් ආරක්ෂා වීමට ළමයාට අයිතිය ඇත. එවැනි ලකුණකුදු වේ නම් වහා වගකිව යුතු අය දැනුම්වත් කළ යුතුය.

විකිණීම හා පැහැරගෙන යාම

ළමයින් පැහැරගෙන යාමද, විකිණීමද සපුරා තහනම් වෙන්නකි. එවැනි තත්ත්වයක් ඇත්නම් ඒ ගැන හඬක් නැගීමට ළමයාට අයිතිය ඇත්තේය.

වධහිංසා පැමිණවීම

ළමයින්ට වධ හිංසා කිරීම සපුරා තහනම්ය. මින් අදහස් කරන්නේ මාපියන් හෝ ගුරුවරැන් වරසක් වෙනුවෙන් කරන සුළු සුළු තරවටු නොවේ. එවැනි තරවටු ද දරැණු වධ හිංසාවන් නම් ඒ පිළිබඳ වගකිවයුතු ආයතන දැනුම්වත් කළ යුතුය. කවර පුද්ගලයකුගෙන් හෝ ළමයාගේ නිදහසට බාධාවන පරිදි වද හිංසා, දරැණු ලෙස සැලකීම් වෙත් නම් ඒවායින් මිදීම සඳහා හඩ නැගිය හැකියි.

සන්නද්ධ අරගල

යුදමය තත්ත්වයන් හෝ ගැටුම් පවතින ස්ථානවලින් ආරක්ෂාව ලැබීම අනිවාර්යයෙන් ළමයාට හිමිවිය යුතුය. කිසිම ආකාර යුද්ධයකට, ආරක්ෂක හමුදාවකට අවුරැදු 18 ට අඩු ළමයකු බඳවා නොගත යුතුය. යම් ළමයෙකු යුද්ධයෙන් පීඩාවට පත්වී නම් ඒ ළමයාට රජය විසින් රුකවරණය සැලසිය යුතුය.

පුනරැත්ථාපනය රුකවරණය

යුද්ධයෙන් පීඩිත වූ හෝ වධ හිංසාවන්ට ලක්වූ ළමයින්ට නොසැලකිල්ලට පත්වූ ළමයින්. අපයෝජන හා අතවරයන්ට ලක්වූ ළමයින්ට නිසි පරිදි ප්‍රතිකාර කිරීමටත්, ඔවුන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමටත් සුදුසු පරිසරයක් ගොඩනැගීම රජයේ වගකීමකි. එය නොලද විට අයිතිය උදෙසා ඉල්ලීම් කළ හැකිය.

ළමයා සහ නීතිය

ළමයෙකු අපරාධයක් කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් ලැබ ඇතිනම් නීතිමය හා වෙනත් ආධාර ලැබීමට අයිතියක් ඇත. දරැවන් ආයතන ගත කිරීමේදී හා නඩු විභාගවලට ගෙන්වීම අවම කළ යුතුය.

ළමා අයිතිය බිඳෙන විට කියන්නේ කාටද ?

ළමා අයිතීන් බිඳෙන ඕනෑම අවස්ථාවක ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි කළ හැකිය. ඊට අමතරව 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇමතිය හැකිය. 1998 අංක 50 දරණ පනත ප්‍රකාරව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවා ඇත. සියළු ළමා හිංසනයන් පිළිබඳව ක්‍රියාත්මක වීමට හා නීති ක්‍රියාත්මක කිරීම නීයාමනය කිරීමට ළමා ආරක්ෂක අධිකාරියට බලය ඇත.

 

 

දින පොත