වන අලි සංරක්ෂණ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම ප්‍රමාදයි

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 02:34 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත මහජන අදහස් විමසීම සඳහා යොමුකිරීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා අදාළ කෙටුම්පත තිරසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය වෙත යොමුකර තිබේ.

වර්ෂ 2006දී ඉදිරිපත්වූ මෙම ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත, මහජන අදහස් විමසීමකින් අනතුරුව එළිදැක්වීමට 2017 වර්ෂයේ දෙසැම්බර් මසදී තීරණය වී තිබේ.

කෙසේ වෙතත් මේ සඳහා වූ මහජන අදහස් විමසීමේ කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් පරිසරවේදීන් ගෙන් චෝදනාවක් එල්ලවෙමින් තිබේ.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් තිරසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි මහතාගෙන් %අද පුවත්පත^ කළ විමසීමකදී , ඒ මහතා සඳහන් කර තිබුණේ සංශෝධිත වන අලි කළමනාකරණ ජාතික ප්‍රතිපත්තියේ අඩංගු කරුණු පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා පුවත්පත් දැන්වීමක් ඉදිරියේදී පළ කිරීමට නියමිතව ඇති බවය. ඒ අනුව මහජනතාවගේ අදහස් විමසීමකින් අනතුරුව ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම සිදු කරන බව කී ලේකම්වරයා මෙම වසර අවසානය වනවිට ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ හැකියාව ඇති බවද ඔහු සඳහන් කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා තිබූ අමාත්‍යාංශ ලේකම්වරයා,

&අලි පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය 2006දි හදලා 2017.12 වැනි මාසයේදී සමාලෝචනයක් කරන්න වැඩමුළුවක් කර තිබෙනවා. මහජනතාවගේ අදහස් දැනගැනීම හා දැනුවත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් කරලා තමයි එළිදක්වන්න නියමිතව තිබෙන්නේ. එහි වැඩ කටයුතු දැන් ආරම්භ කර තිබෙනවා මූලික කටයුතු ඉදිරියට ගෙන යන්න. පසුගිය කාලයේ වනජීවිය අවස්ථා 03කදී සංශෝධනය වුණා, අමාත්‍යාංශවලට මාරු වුණා.

අධ්‍යක්ෂ ජනරාල්තුමා මට එවලා තියෙනවා 2017.12 වැනි මාසයේ ඉදිරිපත් කළ සංශෝධන. ශ්‍රී ලංකාවේ වන අලින්ගේ දිගුකාලීන පැවැත්ම තහවුරු කිරීම, අලි සංරක්ෂණ ප්‍රදේශ ඇති කිරීම හා කළමනාකරණය කිරීම යනාදී ප්‍රධාන කරුණු 05ක් යටතේ උප කරුණුත් එහි සඳහන් වෙනවා.

ඊළඟ වැඩසටහන ලෙස යෝජනා කර තිබෙන්නේ සංශෝධිත වනඅලි කළමනාකරණ ජාතික ප්‍රතිපත්තියේ අඩංගු කරුණු පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා පුවත්පතක පළකිරීමයි. මහජනතාවගේ අදහස් විමසීමකින් පසුවයි අපි මෙය එළිදක්වන්නේ. කොහොම වුණත් මේ වසර අවසාන වනවිට මෙම ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමට හැකියාව තිබෙනවා.

අලි මිනිස් ගැටුමෙන් මිනිසුන්ට වන හානිය අවම කිරීම, අලි මිනිස් ගැටුම අවම කිරීම, ප්‍රජාවට වන්දි ගෙවීම, සත්ත්ව රැඳවුම් මධ්‍යස්ථාන ඉදි කිරීම, අලි රක්ෂිත තුළ වාස භූමි කළමනාකරණය කිරීම යනාදී කාරණා පළල් මට්ටමින් අපි මේවනවිටත් කරමින් පවතින්නේ. වනජීවීන් සම්බන්ධව ඇති ගැටලු ගැන වනජීවී දෙපාර්තමේන්තුවට ලොකු වැඩ කොටසක් තිබෙනවා. නමුත් කාර්යමණ්ඩලය ඉන්නේ ටිකයි. අපි දැන් අලුතින්ම අමාත්‍ය මණ්ඩල සංදේශයක් දාලා සැලසුමකට අනුව කරගෙන යනවා* යැයිද සඳහන් කළේය.

 

දින පොත