වෙසක් පෝදා අපේ රටේ සිදු වූ දේවල්

2024 අප්‍රේල් මස 23 ප.ව. 05:06 - {{hitsCtrl.values.hits}}  

වෙසක් පොහොය සුවිශේෂී පොහෝ දිනයකි. බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිදු වූ වෙසක් පොහෝ දිනයේදීම ශාසනික වශයෙන් තවත් සුවිශේෂී සිදුවීම් රුසක් ද සිදුව තිබේ.

දීපංකර බුදු හිමිගෙන් සම්බුදු පදවිය සඳහා ලැබීම, කිසාගෝතමිය විසින් නිබ්බුත පද කීම, බුදු වීමෙන් පසු පළමුවරට කිඹුල්වත් පුරයට වැඩම කොට යමා මහ පෙළහර පෑම හා ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්ගේ අපවත් වීම ආදී වූ බොහෝ සිදුවීම් වෙසක් පොහෝ දිනයේ දී සිදුව ඇත.

වෙසක් පොහොය මෙරටද ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන්ද වැදගත් සිදුවීම් රුසක් සිදුවූ දිනයකි.

බුදුරදුන් කැලණියට වැඩම කිරීම

තථාගතයන් වහන්සේ තුන් කල් දක්නා නුවණ ඇත්තාහ. සම්බුද්ධ ශාසනය පන්දහසක් කල් සුරක්ෂිතව පවත්නා රට සිංහල ද්වීපය බව බුදු රජාණන් වහන්සේ දුටුවහ.

උන් වහන්සේ බුද්ධත්වයෙන් අට වැනි අවුරැද්දෙහි මණි අක්ඛිත නා රදුන්ගේ ඇරයුමෙන් කැලණියට වැඩම කළ සේක. එදින වෙසක් පුන් පොහෝ දිනයකි.

සමනොල සිරසට වැඩම කිරීම

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව පිළිගත් බුදු හිමියෝ කැලණියට වැඩමකළ දිනම සමනල පවුවට වැඩම කළහ. එහිදී උන් වහන්සේ සමනොල සිරසේ බුදු සිරි පා සටහන තබා මේ බිම පුණ්‍ය භූමියක් කළ සේක.

බුදු පා පහස ලත් සොළොස්මස්ථාන

බුදු හිමියෝ මේ ගමනේදීම අනුරාධපුරය, තිස්ස මහාරාමය, කතරගම ආදී සොළොස්මස්ථානයන්හි ද සමවත් සුවයෙන් මොහොතක් වැඩ හිඳි සේක.  මේ බිම තව තවත් පිවිතුරැ බිමක් බවට පත් කළ සේක.

සක් දෙව් රජුට පවරා දීම

බුදුන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි සැතපී සිටින අවස්ථාවේදී උන් වහන්සේ වෙත සක් දෙව් රජුන් පැමිණියහ. එහිදී බුදු හිමියෝ සක් දෙව් රජුට ලංකාවත්, සිංහල ජාතියත් රක්නා ලෙස පවරන ලද්දේ වෙසක් පුන් පොහෝ දිනයක දී ය.

 විජය කුමරැගේ ලංකා ගමනය

වංශ කතාවලට අනුව සිංහල ජනයා පැවත එන්නේ විජය කුමරැගෙනි. විජය කුමරැ දඹදිව ලාට රට සිංහ පුරයෙහි සිංහබාහු රජුගේ වැඩි මහල් පුත්‍රයා යි.

 සත් සියයක් පිරිස සමග නැව් නැගී මෙරටට ආ විජය කුමරැ සිංහල ජාතියේ සමාරම්භය සිදු කරන ලද්දේ වෙසක් පුන් පොහෝ දිනකදීය. එදින බුදුන් වහන්සේගේ පරිනිර්වාණ දිනයයි.

 දෙවන පෑතිස් රජුගේ ද්විතීයාභිෂේකය

දෙවන පෑතිස් රජු මහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ධර්ම දූතයන් විසින් ගෙනෙන ලද ශාසනික මෙහෙවර ගෞරව පූර්වකව පිළිගත්හ. එම අවස්ථාවේදී ධර්මාශෝක රජු පඤ්දකකුධ භාණ්ඩයන්ද එවන ලදහ.

එම භාණ්ඩයන් සහිතව දෙවන පෑතිස් රජු නියම උදාර රජකු ලෙස ද්විතීයාභිෂේකය ලද්දේ වෙසක් පුන් පොහෝ දිනකදීය. ඒ අනුව රජතුමා බෞද්ධයකු ලෙස අභිෂේක වූ අතර මෙරට බෞද්ධ රාජ්‍යයක් ලෙස ද අභිෂේක ගැන්විණි.

රැවන් වැලි සෑයේ වැඩ ඇරඹීම

දුටු ගැමුණු මහ රජතුමා මෙරටට කළ සේවාව සුළු පටු නොවේ. සතුරන්ගෙන් රටත් ජාතියත් ශාසනයත් බේරා ගත් එතුමා ශාසනික වශයෙන් මහත් වූ සේවාවන් රුසක් ඉටු කළහ.

අනුරාධපුර මහ මෙවුනා උයනෙහි විරාජමානව හිඳින රැවන් වැලි සෑ රදුන් සාදන්නට විසා නැකතින් වැඩ අරඹන ලද්දේ ද වෙසක් පුන් පොහෝ දිනකදීය.


රාජාභිෂේකය

වසර ගණනාවක් මුළුල්ලේ මෙරට රජවරැන් රාජාභිෂේකය සිදු කොට ඇත්තේ ද වෙසක් පුන් පොහෝ දිනයක දී ය.

මහා විහාර වංශික උපසම්පදාව

අනුරාධපුර මහා විහාරයේ වැඩ සිටි මහා විහාර වංශික භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදා මහෝත්සවය පවත්වා ඇත්තේද වෙසක් පොහෝ දිනකදීය. මෙය වර්ෂයක් පාසාම සිදුවන්නකි.

චන්දිමා ඈපා සෙනෙවිරත්න

 

දින පොත