උසස් පෙළ ලියන්න ඉන්න ඔබටයි

2024 අප්‍රේල් මස 25 ප.ව. 04:49 - {{hitsCtrl.values.hits}}  

පසුගිය වර්ෂයේ අගෝස්තු මස පවත්වන්නට යෙදුණු නමුත්, කෝවිඩ් වසංගතයේ බලපෑම මත කල් ගිය අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා (07) ආරම්භ වීමට නියමිතයි. මේ ඒ සඳහා මුහුණ දෙන දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ අවධානය යොමු විය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පසුගියදා පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඉදිරිපත් වූ අයුරුයි.


තවමත් විභාගය සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා නම් විභාග දෙපාර්තමේන්තුව අමතන්න - විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන

 2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස උසස් පෙළ විභාගය මෙම වර්ෂයේ පෙබරවාරි 07වැනිදා ආරම්භ කරනවා. මේ විභාගය මාර්තු 5 සෙනසුරාදා දක්වා පවත්වන්නට දැනට සියලුම කටයුතු සූදානම් කර අවසන්. මේ සඳහා පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ හැත්තෑ නවදහස් එකසිය හතළිස් එකක් සහභාගී වෙනවා. පෞද්ගලික අයදුම්කරුවන් හැට හයදහස් එකසිය එකකුත් විභාගයට මුහුණ දෙන්න සූදානම් වී සිටිනවා. ඒ අනුව විභාගයට මුහුණ දෙන සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව වන්නේ තුන් ලක්ෂ හතළිස් පන්දහස් දෙසිය හතළිස් දෙකක්. විභාග මධ්‍යස්ථාන 2,438ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316ක්, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක්, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඒකාබද්ධව සංවිධානය කරන කෝවිඩ් රෝගීන් සඳහා වූ විභාග මධ්‍යස්ථාන දැනට 29ක් සූදානම් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා විභාග සාර්ථකව පවත්වාගන්නට ලබාදෙන සහයෝගයට. මෙවර විභාගයේදී වැඩිපුරම අවධානය යොමු කරන යම් විශේෂත්වයක් තිබෙනවා. පසුගිය ශිෂ්‍යත්ව විභාගයේදී චෝදනා ආවා මධ්‍යස්ථාන තුනක හෝ හතරක උත්තර පත්‍ර නියමිත වේලාවට පෙර එකතු කළ බවටත්, ප්‍රශ්න පත්‍ර ප්‍රමාද වී ලබා දුන් බවටත්.

ඒ නිසා, මෙවර විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස සියලුම ශාලාධිපතිවරුන්ට නිත්‍ය නියෝගයක් පනවා තිබෙනවා තමන්ගේ වෙලාව නිවැරදිව ඉලෙක්ට්‍රොනික් ඔරලෝසුවකින් සකස් කරගත යුතු බවට. ඒ වගේම වෙලාව ප්‍රදර්ශනය කළ යුතුයි. තමන්ගේ අත්ඔරලෝසුවේ වෙලාවට සියලුම නිරීක්ෂකයන්, එනම් සහකාර ශාලාධිපතිවරුන් ඔවුන්ගේ අත්ඔරලෝසුවල වෙලාව සකස් කළ යුතුයි. ඒ අනුව එකම වෙලාවක් තමයි විභාග ශාලාවේ තිබෙන්නේ.

ඒ වගේම දරුවන් තමන්ගේ ඔරලෝසුවල වෙලාවන් විභාග ශාලාවේ ප්‍රදර්ශනය වන වෙලාව අනුව සකස් කරගත යුතුයි. ඒ අනුව මම විභාගයට පෙනී සිටින දුවල, පුතාලගෙන් ඉල්ලනවා තමන්ගේ පන්ති කාමරයට ගියාම ගුරුතුමියගෙන් හෝ ගුරුතුමාගෙන් වෙලාව විමසලා තමන්ගේ ඔරලෝසුවල වේලාව සකස් කරගන්නා ලෙස. එවිට කාටවත් කියන්න බෑ විනාඩි 5ක් පරක්කු වුණා කියන එක. ඒ අනුව එකම වෙලාවක් විභාග ශාලාවේ පවත්වාගන්න හැකියාව ලැබේවි.

 මෙවරත් විභාග නීති රීති එලෙසම ක්‍රියාත්මකයි. විභාග ශාලාවට අනවශ්‍ය කිසිම දෙයක් ගේන්න බැහැ. ඉලෙක්ට්‍රොනික මෙවලම්, ඉලෙක්ට්‍රොනික අත්ඔරලෝසු, ජංගම දුරකථන ආදිය රැගෙන ඒම තහනම්.

විභාගය 8.30ට ආරම්භ වෙනවා. ඒ අනුව විභාග  ශාලාවට අනිවාර්යයෙන් 7.45ට හෝ 8.00 වෙද්දි පැමිණිය යුතුයි.

ඊට පෙර අද හෝ හෙට ගිහින් තමන්ගේ විභාග ශාලාව කුමක්ද කියලා හඳුනාගන්න. මොකද තමන්ගේ පාසලේ නෙවෙයි වෙනත් පාසලක තමන්ගේ විභාග මධ්‍යස්ථානය පවතින්න පුළුවන්. ඒ අනුව විභාග මධ්‍යස්ථානය කොහෙද තියෙන්නේ, ඒ වෙත යෑමට කොපමණ කාලයක් ගත වෙනවාද, විභාග ශාලාවට ගමන් කළ හැකි කෙටිම මාර්ගය කුමක්ද ආදිය ගැන අවධානය යොමු කරන්න.

මීළඟට තමන්ගේ ප්‍රවේශ පත්‍රය මේ වෙද්දි ලැබිලා ඇති. අනිවාර්යයෙන් දැන්මම බලන්න තමන් මුහුණ දෙන විෂයන් එහි සඳහන් වෙනවාද යන්න. නියමිත මාධ්‍යයෙන්ද සටහන් වෙලා තියෙන්නේ වගේම වෙලාව මොකක්ද කියන එක ගැනත් අවධානය යොමු කරන්න. මොකද සමහර වෙලාවට සවස් වරුවේ විභාගය තියෙනවා කියල හිතන් ඉඳලා විභාග මධ්‍යස්ථානයට පැමිණෙද්දී උදේ වරුවේ විභාගය පවත්වා අවසන්ව තිබුණු අවස්ථාවලට මුහුණ දුන් සිසුන් අපි පසුගිය විභාගවලදී දුටුවා.

ඒ නිසා අම්මලා, තාත්තලාටත් අපි කියනවා මේ දරුවන්ගේ  විභාග කාලසටහන බලලා, දරුවන්ව නියමිත වෙලාවන්ට නිදහසේ විභාගයට යන්න අවස්ථාවන් සලස්වා දෙන ලෙසට. මොකද යම් අවස්ථාවන් තිබුණා විභාගය පැවැත්වෙන වේලාවන් දරුවා විතරයි දන්නෙ. අම්මා, තාත්තා ඒ ගැන දන්නෙ නෑ. දරුවාට වැරදීමක් සිදුවුණොත්, දෙමව්පියන් ඒ ගැන දැනුම්වත්ව හිටියොත් නිවැරදි කරන්න පුළුවන් වේවි. ඒ නිසා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ දරුවා ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින වෙලාව, වරුව, දිනය පොඩි කොළයක ලියල තියාගන්න. නැත්නම් ලියලා බිත්තියේ අලවා ගන්න.

මීළඟට හැඳුනුම්පත අනිවාර්යයි. හැඳුනුම්පතක් දැනට නැත්නම් විදුහල්පතිවරයාගෙන් සහතික කරගත් ඡායාරූපයක් ඉදිරිපත් කළ හැකියි. නමුත් අපි මේක ප්‍රචාරය කරන්නෙ නෑ වගේම හැඳුනුම්පත නොමැතිව සහතික කරගත් ඡායාරූපයක් ඉදිරිපත් කර යමෙක් හදිසි අවස්ථාවක විභාගයට මුහුණ දුන්නත්, ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිඵල නිකුත් කරන්නේ ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීමෙන් පසුවයි. ඒ නිසා අනිවාර්යෙන් හැඳුනුම්පත රැගෙන එන්න. හැඳුනුම්පත නැතිවෙලා නම් ඉහත කී ලෙස  සහතික කළ ඡායාරූප තුනක් රැගෙන ආ යුතුයි. නමුත් අදාළ පුද්ගලයාමද විභාගයට පෙනී සිටියේ යන්න සම්බන්ධයෙන් විමර්ශනයකට යටත් කරනවා. ඒ අනුව අත්අකුරු පරීක්ෂා කිරීමක් ආදිය පරික්ෂා කරනු ලබනවා.

තවමත් විභාගය සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් තිබෙනවා නම් විශේෂයෙන් විභාග මධ්‍යස්ථානය, විෂයන්, මාධ්‍ය පිළිබඳ ගැටලු තිබෙනවා නම් 1911 දරන දුරකථන අංකයට හෝ 011- 2784208 /011 -2784537ට හෝ මාගේ සෘජු දුරකථන අංකය වන 071- 4679679 අංක අමතන්න. මීට අමතරව ෆැක්ස් අංකය වන 011-2784422 අංකයත් ක්‍රියාත්මකයි.

තවත් කාරණයක් පැහැදිලි කරන්න අවශ්‍යයි. සමහර විට දරුවන් පොඩි සංඛ්‍යාවකට විෂය ගැටුම්, එනම් එකම වෙලාවේ විෂයන් යෙදුණු අවස්ථා තිබෙනවා. මොකද දැන් දරුවන් අලුත් Combinations නැත්නම් විෂය සංකලන හොයාගෙන තිබෙනවා. සමහර දරුවන් ඉන්නවා කතෝලික ධර්මයයි, බුද්ධ ධර්මයයි දෙකම විභාගයට ලියනවා. මේ විෂයන් යන්නෙ එකට. එසේ නැත්නම් ඉස්ලාම් ශිෂ්ටාචාරයයි, බෞද්ධ ශිෂ්ටාචාරයයි දෙකම කරනවා. මේවා සියල්ල එකට යන විෂයන්. ඒ වගේ විෂයන් එකම වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ. මේ නිසා මොකක්ද කරන්නේ කියන දේ තමන්ගේ ශාලාධිපතිවරයා සමග සාකච්ඡා කරන්න. එදාට දරුවාට විභාග ශාලාවෙන් එළියට යන්න දෙන්නෙ නෑ. කාලසටහනේ මුලින්ම තිබෙන විෂය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. එය අවසන් වූ පසු දරුවාට එළියට යන්න අවස්ථාව ලැබෙන්නෙ නෑ. විභාග ශාලාවේ සිට අනෙක් ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය යුතුයි. අපිට වෙන වෙනම කාලයක් මේ එක් එක් විෂයකට වෙන් කරන්න වුණොත්, මාස ගානක් විභාගය තියන්න සිදුවෙන නිසයි මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න.

මීළඟට ප්‍රවේශ පත්‍ර තැපැල් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk කියන වෙබ් අඩවිය තිබෙනවා. කාටහරි තමන්ගේ ඇඩ්මිෂන් එක ලැබිලා නැත්නම් මේ වෙබ් අඩවියට පිවිස එය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එසේ නැත්නම් ඉහත සඳහන් කළ දුරකථන අංකවලට අමතන්න පුළුවන්.

සුපුරුදු පරිදි අපි 7වෙනිදා විභාගය පවත්වන්න සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව ශාලාධිපතිවරුන් සූදානම් කර අවසන්, විභාග මධ්‍යස්ථාන සක්‍රීය කරලා අවසන්, පොලිස් ස්ථානාධිපතිවරුන් හා ත්‍රිවිධ හමුදාව මෙන්ම සෞඛ්‍ය අංශවල සහාය මේ සඳහා ලැබෙනවා. සියලුම ලිපි ද්‍රව්‍ය අදාළ ප්‍රදේශවලට යොමු කර අවසන්. ඉදිරි කාලයේ ඉතිරි රහස්‍ය ලේඛන යොමු කරන්න නියමිතයි. අපි සුබ ප්‍රාර්ථනා කරනවා ඔබ කැපවීමෙන් මහන්සි වුණ විභාගයට හොඳින් මුහුණ දෙන්න කියලා. ඒ අනුව සන්සුන්ව පියවරෙන් පියවර සැලසුම්සහගතව පාඩම් කර විභාගයට මුහුණ දෙන්න.

මීළඟට දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා, ඔබගේ නිවසේ හොඳ වාතාවරණයක් දරුවාට ලබා දෙන්න. මොකද මේ විභාගය තමයි දරුවාගේ අනාගත ගමනේ වැදගත්ම සංධිස්ථානය. අපි කෝවිඩ්වලට පරාද වෙලා අපේ දරුවන්ගේ අනාගතයට පරාජ වෙන්න දෙන්න බෑ. ඒ නිසා තමන්ගේ දරුවන්ට, අපේ අනාගත නායකත්වය වන මේ දරුවන්ට හොඳ සහායක් දෙන්න. අවශ්‍ය වෙලාවට තේ ටික හදලා දීලා, කන්න බොන්න දීලා, ආදරෙන් කතා කරලා හොඳ මානසික වාතාවරණයක් දරුවාට ලබාදෙන්න. ඔබට විශාල වගකීමක් තිබෙනවා දරුවෝ මේ වෙලාවේ ඉන්න පීඩනය, ආතතිය නිවල දාලා දරුවන්ට සන්සුන් මනසක් ඇති කරලා විභාගය ලියන්න යවන්න.

මේ වෙද්දී අපිට කෝවිඩ් ආසාදිත විභාග අපේක්ෂකයන් ගැන වාර්තා නොවුණත්, විභාගය ආරම්භ කරන දිනයේ අපිට ඒ ගැන වාර්තා වේවි. මොකද ඇඩ්මිෂන් රැගෙන මේ වෙද්දි දරුවන් නිවසේ ඉන්නේ. ඒ නිසා මේ සම්බන්ධ තොරතුරු විදුහල්පතිවරුන්ට ලැබෙන්නේ නැති තරම්. ඒ අනුව තමන්ට යම් රෝග ලක්ෂණයක් තිබෙනවා නම්, විදුහල්පතිවරයා දැනුම්වත් කරන්න. ඉන්පසුව තමන්ට කෝවිඩ් ආසාදිත නම් ඒ සඳහා සූදානම් කර ඇති තමන්ට ළඟම තිබෙන රෝහල මොකක්ද කියලා වෙබ් අඩවියේ බලන්න. ඒ අනුව එහිදී විභාගයට මුහුණ දිය හැකියි.


විභාග අපේක්ෂකයෙක්ට කෝවිඩ් ධනාත්මක වුණොත්, තමන්ගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට දැනුම් දී රෝහල්ගත වන්න - පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා

උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක එකතුවෙලා ඒ සඳහා  ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර තිබෙනවා. පහ වසරේ ශිෂ්‍යත්වයත් අපි මෑතකදී පැවැත්වුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරලයි. කෝවිඩ් ආසාදනය වුණු දරුවන් 250ක් පමණ කිසිම ගැටලුවක් ඇති නොවී ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නා. ඒ වගේම උසස් පෙළ විභාගයත් සාර්ථකව නිම කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. මේ සඳහා අපි රෝහල් පද්ධතිය සකස් කර තිබෙනවා.

ඒ අනුව රෝගය සහිත දරුවන් සිටිනවා නම් සෑම දිස්ත්‍රික්කයකටම රෝහලක් හෝ රෝහල් දෙකක් වෙන්කර තිබෙනවා. මේක ශිෂ්‍යත්ව විභාගය වගේ නෙවෙයි, දිගු කාලයක් පැවැත්වෙන විභාගයක්. මේ නිසා දරුවන් දවස් 10ක් පමණ එකම තැන රැඳී සිටලා විභාගයට යන්න හොඳ මානසික වාතාවරණයක් තිබිය යුතුයි. ඒ නිසයි අපි රෝහල් පද්ධතියක් මේ වෙනුවෙන් හදලා තියෙන්නේ. ඒ වෙනුවෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් විසින් හඳුනාගන්නා ලද රෝහලක අවශ්‍ය සම්පත් යොදවලා, එම ස්ථානය පන්ති කාමරයක් ලෙස සකස් කර තිබෙනවා.

 තමන්ගේ දරුවාට කෝවිඩ් ආසාදනය වුණත් කිසිම දෙමව්පියෙක් බය වෙන්න ඕන නෑ. තමන්ගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට හෝ තුමියට කතා කරන්න. කතා කරලා තමන්ගේ ප්‍රදේශයට අයිති රෝහලට දරුවාව ඇතුල් කරන්න. එවිට දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන ගමන් විභාගයට මුහුණ දෙන්න පුළුවන්.

විභාගය පැවැත්වෙන දිනයට දින හතක් ඇතුළත කෝවිඩ් රෝගය ආසාදනය වන (පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණයක් පොසිටිව් වීම විභාගයට දින හතක් ඇතුළත සිදුවුණේ නම්) දරුවන්ට පුළුවන් මේ රෝහල් තුළදී විභාගයට මුහුණ දෙන්නට.

මීළඟට විභාගය අතරතුර දිනයකදී රෝගය වැලඳෙන්න හැකියාවක් තිබෙනවා. එවැනි  අවස්ථාවකත් පරීක්ෂණ මගින් රෝගය වැලඳී ඇති බව තහවුරු වන්නේ නම්, රෝහල් තුළ සකස් කර ඇති විභාග මධ්‍යස්ථානයක සිට විභාගයට මුහුණ දිය හැකියි.

මීළඟට සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ හෝ උණ පවතින නමුත්, පීසීආර් පරීක්ෂණයකට ලක් නොවුණු දරුවන් සිටිනවා නම්, සෑම විභාග මධ්‍යස්ථානයකම වෙනමම  පන්ති කාමරයක් ඒ සඳහා සූදානම් කර තිබෙනවා.

ඒ වගේම පවුලේ වෙනත් සාමාජිකයෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී, නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති පවුලක අයෙකු නම්, ඒ දරුවන්ටත්  තමන්ගේ විභාග මධ්‍යස්ථානයේ වෙන් කරන ලද පන්ති කාමරයේ සිට විභාගයට මුහුණ දිය හැකියි. ඒ අනුව බය වෙන්න දෙයක් නැහැ. තමන්ගේ පුරුදු විභාග මධ්‍යස්ථානයේ වෙනම පන්ති කාමරයක සිට ඔබට විභාගයට මුහුණ දීමට හැකියාවක් තිබෙනවා.

 හැම වෙලාවේම මුව ආවරණයක් පලඳින්න. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම සියල්ලට අනුගත වෙන්න. දෙඅත් පිරිසුදු කරගන්න. දුරස්ථභාවය තබාගන්න.


විභාගයට මුහුණ දෙන දරුවා වගේම පවුලේ අයත් මේ දිනවල  ඉතාම පරිස්සමින් කටයුතු කරන්න -  ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් ,රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා

උසස් පෙළ කියන්නේ දරුවන්ගේ ජීවිතයේ ඉතා වැදගත් කඩඉම් විභාගයක්. දරුවන් වසර දෙකකට වැඩි කාලයක් මේ විභාගයට සූදානම් වෙලා  සිටියත්, කෝවිඩ් රෝගය නිසා කල්දාන්න සිදුවුණා. මෙහිදී අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕන දරුවන් අතරත් මේ රෝගය පැතිරීමේ යම් වැඩි වීමක් අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා උසස් පෙළ විභාගයට සූදානම්ව සිටින දරුවන්ට හා ඔවුන්ගේ දෙමාපියන් හා වැඩිහිටියන්ට කියන්න තියෙන්නේ මේ දිනවල ඔබ ඉතාම පරිස්සමින් කටයුතු කරන්න කියන දෙයයි.

විශේෂයෙන් දරුවන් මේ වෙද්දී අධ්‍යාපන කටයුතු සියල්ල අවසන් කරලා විභාගයට සූදානම් වෙනවා. ඒ නිසා අනවශ්‍ය ලෙස පිටතට ගමන් බිමන් යාම ආදී කටයුතුවලදී සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපැදීම ඉතාම වැදගත්. සමහරවිට පුද්ගල දුරස්ථභාවය පවත්වාගන්න අපහසු ස්ථාන තිබෙන්න පුළුවන්. නමුත් සියලුම අවස්ථාවන්හීදී මුව ආවරණ පැලඳීම ඉතාම අවශ්‍ය කාරණයක්. මොකද මේ අවස්ථාවේ සමහර අය අතර ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී රෝග ලක්ෂණ නොපෙන්වා සිටින්න පුළුවන්. ඒ නිසා තමන්ගේ යාළුවන්ගෙන් මේ රෝග බෝ වෙන්න අවස්ථාවක් තිබෙනවා.

අපි නැවත නැවත කියනවා වෛරසය ආසාදනය වූවෙකු නිවැරදිව මුව ආවරණය පලඳිනවා නම්, අවට වාතාශ්‍රයට බිඳිති මගින් වෛරසය නිකුත් වීමේ අඩුවක් අපි දකිනවා. ඒ වගේම නිරෝගී පුද්ගලයෙක් මුව ආවරණයක් නිවැරදිව පලඳිනවා නම් රෝගය ආසාදනය වීම වළක්වා ගන්නට හැකියාවක් තිබෙනවා. මේ ක්‍රම දෙක මගින්ම ඉතා හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. සියලු දෙනාම හැකි සෑම අවස්ථාවකදීම, වෙනත් කෙනෙක් ඉදිරියේ  සිටින හැම අවස්ථාවකම මුව ආවරණයක් පලඳින්න.

නදීශානි පතිරණ

 

දින පොත