අස්වැන්නට පෙර බෝග ආරක්ෂා කර ගනිමු

2020 සැප්තැම්බර් මස 23 පෙ.ව. 07:33 - {{hitsCtrl.values.hits}}  

gayatri art5වගාවක ඵල හට ගැනීම අස්වැන්නේ මූලාරම්භයයි. ඵල හට ගැනීමෙන් පසු විවිධ ක්‍රම යොදා අස්වැන්න ආරක්ෂා කිරීම ගොවියන්ගේ සිරිතයි. පොලිතින් මලු, පෝර උර, කෙසෙල් පරඩැල් හා පොල් අතු ආදී බොහෝ දෑ ඒ සඳහා භාවිතයට ගනියි.

මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ ඵල ආවරණය සඳහා යොදා ගන්නා විවිධ උපක්‍රම පිළිබඳවය.

මොකක්ද මේ අස්වැන්න

වගා බිමක් පවත්වා ගෙන යන්නේ අස්වැන්නක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි. වගාව නිරතුරු පරික්ෂාවෙන් යුතුව ක්‍රමවත්ව පවත්වා ගෙන යාමෙන් කලට අස්වැන්න ලැබෙයි. බෝග වගාවෙන් ලබා ගන්නා අස්වැන්න විවිධයි. එය කරල්, මල්, පොකුරු, ගෙඩි, අල, ධාන්‍ය ඵල ආදී වශයෙනි.

අස්වැන්නට හානි කරන්නේ කවුද?

අස්වැන්නකට හානි පමුණුවන්නෝ බොහෝ වෙති. මේ අතර ප්‍රධාන වන්නේ පළිබෝධක හා රෝග කාරකයි. කුරැල්ලෝ, වඳුරෝ, ඌරෝ, ඉත්තෑවෝ යන සාමාන්‍ය ගනයේ සත්ව යෝද අස්වැන්නට හානි කරති. මීට අමතරව සොර සතුරන්ගෙන් ද වගා අස්වැන්න ආරක්ෂා කර ගැනීමට සිදුවේ.

අස්වැන්න ආරක්ෂා කරන්නේ ඇයි?

සරු අස්වැන්නක්, නෙළා ගැනීමට නම් ඵලදා පැමිණි මුල් අවස්ථාවේ සිට එය හොදින් ආරක්ෂා කළ යුතුය. එවිට සරු අස්වැන්නක් නෙළා ගැනීමට පුළුවන් වේ. ගසෙහි තිබෙන අස්වැන්න නිවැරදිව ආරක්ෂා නොකළ හොත් නෙළා ගැනීමට සිදුවන්නේ පලුදු වූ, කුණු වූ, අවපැහැ වූ, නිසරු අස්වැන්නකි. එවිට වගා නඩත්තුවට යෙද වූ මුදල් සහ කාලය හා ශ්‍රමය ද අපතේ යයි.

අස්වැන්න ආරක්ෂා කරන අවස්ථා

agri-1agri 21ගසක, වැලක මල් හට ගන්නා කාලය අස්වනු ආරක්ෂා කිරීමේ මූලික අවධියයි. මලෙන් ඵල සෑදී ඒවා මෝරන තුරු ආරක්ෂාව ලබා දිය යුතුය. පැසුණු අස්වැන්න කල් යල් බලා නෙළා ගැනීමේදී ද ආරක්ෂක ක්‍රමවේ ද අනුගමනය කළ යුතුය. නෙළූ අස්වැන්න ඇසිරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම යනාදී අවස්ථාවල ද ඵලදායී ආරක්ෂා ක්‍රම යෙදීම අත්‍යවශ්‍යය.

මුල් අවධියේ ආරක්ෂාව

සරු අස්වැන්නක් ලැබෙන්නට නම් හටගත් මල් හොඳින් ආරක්ෂා කළ යුතුයි. මලෙන් ඵල හටගත් පසු ඵල සරුවට වැඩී මෝරන අවස්ථාවේ දී වගාවන් ආරක්ෂා කිරීමට නොයෙකුත් උපක්‍රම යොදා ගැනෙයි.

අඹ, පේර, අලි ගැට පේර, දෙළුම්

ඵලය සහිත පලතුරු වර්ග මේරීමට පෙර ළපටි අවධියේ ඵල ආවරණය කළ යුතුය. ඵලයේ පොත්ත තුනීවන කාලයේ දී පළිබෝධ හානි සිදුවේ. පලතුරු මැස්සා, දොළුම් ගෙඩි විදින්නා හා සලබයා ගෙඩි සහිත පලතුරැවලට හානි කරති.

ආවරණය  සදහා ඝනකම් කඩදාසි. කාඩ්බෝඩ් වර්ග සුදුසුය. ආවරණයේ පතුල විවෘතව තැබිය යුතුය. නැතහොත් ඵලය වැඩීමට අවශ්‍ය වාතාශ්‍රය නොලැබෙයි. එවිට ගෙඩි කුණු වීමට ද ඉඩ ඇත. වාතාශ්‍රය හොඳින් හුවමාරැ වීමට සිදුරැ යෙදූ ආවරණ ද මේ සඳහා භාවිතයට ගනියි.

ළපටි කාලයේ දී ගෙඩි ඉතා කුඩාය. ඵලය අත්තට සවි වී ඇති නටුව තෙරපීමක් නොවන පරිදි ආවරණය ගැට ගැසිය යුතුය. ගැට ගැසීමේ දී නටුව සිරවුවහොත් ඵලය අකලට කුණු වී යා හැකිය.

කරවිල, වැටකොලු, පතෝල

WETAUntitleAAAAd-1මැහි බෝගවලට වැඩි වශයෙන් හානි පමුණුවන්නේ ඉල්මැස්සාය. පළිබෝධ හානිය සීඝ්‍රෙයන් පැතිරී යයි. එනිසා කරල් කුඩා අවධියේම ආවරණ යෙදිය යුතුය.

මලෙන් කරල එළියටවිත් සෙන්ටි මීටරයක් හෝ දෙකක් පමණ දික්වූ අවස්ථාවේ ආවරණය කිරීම සුදුසුය. කරල වර්ධනය වන විට දිගුවන නිසා ආවර බෑග් අඟල් තුනක් හතරක් පමණ දිගු විය යුතුය. කරල වැඩීමට අවශ්‍ය පළල ගැන ද  ආවරණය යෙදීමේ දී සැලකිය යුතුය.  

මේ සඳහා පතුල විවෘත පොලිතින් බෑග් හෝ කඩදාසි බෑග් සුදුසුය. නටුව තද නොවන පරිදි ගැට ගැසීම වැදගත්ය.

වට්ටක්කා, පිපිඤ්ඤා, කැකිරි

බිම් මට්ටමේ වැඩෙන ඵල සහිත බෝගවලට ද පළිබෝධ හානි පැමිණේ. ප්‍රධාන වශයෙන්ම ඉල් මැස්සා පාලනය කළ යුතුය.

මෙම බෝග පොළොවට සමාන්තරව වැඩෙයි. හට ගන්නා ඵලය ද පොළොව හා සම්බන්ධ වෙයි. එවිට ඵලවල පතුල අවපැහැ ගැන්වීම, දිගු කලක් තෙතමනය රුදීමෙන් කුණුවීම පවා සිදු විය හැකිය. එනිසා පළිබෝධ හානිය මෙන්ම ඵලය පස සමග ස්පර්ශ වීම නිසා සිදුවන හානි අවම කර ගත යුතුය. පිදුරු, වියළි තෘණ ආදිය ආවරණයක් ලෙස යොදා ගත හැකිය. මලෙන් ඵලය සලකුණු වී ළපටි අවධියේ දී ආවරණ යොදන්න. ඵලය තද නොවන පරිදි වටේට සිටින සේ පිදුරු යෙදීම කළ හැකිය. පොළොව හා ස්පර්ශ වන ස්ථානයටත් පිදුරු යොදන්න. ඵලය ලිහිල් පිදුරු ආවරණ මත සරැලෙස මෝරා වැඩෙයි. පළිබෝධ හානිය ද අඩු වෙයි.

වම්බටු, බටු,

මෙවැනි බෝග විශාල වශයෙන් පළිබෝධ හානියට ලක්වෙයි. කෘමි හානි මෙන්ම, සුළඟ මගින් පැතිර එන රෝග ද මීට බලපායි. රෝග හා පළිබෝධ හානිවලින් වළක්වා ගැනීමට බාධක වැට යෙදීම කළ හැකිය.

ඉල් මැස්සා වැනි කෘමී සතුන් පියාසර කරන්නේ තිරස් අතට පමණය. කෘමීන් බෝග වගාවට ඇතුළුවීම වැළැක්වීමෙන් පළිබෝධ පාලනය අවම කර ගත හැකිය. මේ සඳහා පාත්ති හෝ වගා බිම් වටා ආවරණ යෙදිය යුතුය. වියූ පොල් අතු, වියළි කෙසෙල් පරඬැල් ආදිය ආවරණයට යොදා ගැනෙයි. මේවා ලණු, කෝටු, කම්බි ආධාරයෙන් පාත්ති වටා රුදවිය හැකිය. මීට අමතරව බඩ ඉරිඟු ගස් පේළි තුනක් පමණ පාත්ති වටා සිටුවිය හැකිය. බෝග සිටුවීම ආරම්භයේදීම මේ ආවරණ බඩ ඉරිඟු වගාව ද කළ යුතුය.

කෙසෙල්

අපනයන සඳහා ඉල්ලුමක් ඇති ජනප්‍රිය පලතුරකි. වඳුරන්, කුරැල්ලන් යන සතුන්ගෙන් දැඩි ලෙස හානි සිදුවේ. පැළ මැක්කා වැනි යුෂ උරා බොන සතුන් සහ දිලීර රෝග නිසා ද කැනට හානිවෙයි.

කෙසෙල් කැන සෑදී අවසාන ඇවරිය වැඩුණු පසු ආවරණය කිරීම සුදුසුය. පළමුව කැනේ සිට අඟල් හතරක් පමණ ඉතිරි වන්නට හැර කෙසෙල් මුව කඩා දැමිය යුතුය. පසුව පොලිතින් උර, පොලිසැක් මලු, පොල් අතු කූඩ, විනිවිද පෙනෙන උර, ආධාරයෙන් කෙසෙල් කැන ආවරණය කළ හැකිය. සැම විටම පතුල විවෘතව තැබීමට මතක තබා ගන්න. වියළි කලාපීය තත්ත්ව යටතේ පොලිසැක් මලු හා පොල් අතු කූඩ යෙදීම යෝග්‍ය වේ.

ආවරණය යෙදීමෙන් අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි වී ගෙඩිවලට හානි සිදුවිය හැකිය. කෝලිකුට්ටු ගෙඩිවල ඇතුළත මදය ඝන වීම පවා සිදු වේ. සැමවිටම කෙසෙල් කැනට සිර නොවී පතුල විවෘතව ආවරණය යොදන්න. එමගින් උෂ්ණත්වය රදා නොපවතී. කැන ඇතුළත උෂ්ණත්වය පැවතුණ හොත් කැන තැම්බී යා හැකිය. ආවරණය මගින් ගෙඩිවල විශාලත්වය වැඩි කර ගත හැකි අතර ප්‍රසන්න පෙනුමක් ලබා ගත හැකිය.

 

සටහන - ශිරෝන් ස්වර්ණසිරි

තොරතුරු - ලාලනී හෙට්ටිගේ මහත්මිය

කෘෂිකර්ම නිලධාරිනී

ගුවන් විදුලි ගොවි සේවාව,

නාරාහේන්පිට

දින පොත