අත්තා සහ අත්තම්මා වෙත ලියමි

2021 මාර්තු මස 05 පෙ.ව. 09:49 - {{hitsCtrl.values.hits}}  

ගංගා ඇල දොල

හේන් කුඹුරැ ඇති

පිටිසර ගම්මානවලට

සිහිනයෙන් යාත්‍රා කිරීමට

තම කුඩා කල ගැන‍

නිතර දෙවේලේ

කතාන්දර කියමින්

මග හසර සලසා දුන්

අත්තේ‍්, අත්තම්මේ මගේ

සිහියට නැඟේ ඔබව‍

වෙලක කුඹුරක් දකිද්දීත් !

 

පැරණි ගම්වල රස කතා

රසට ගොතා

කවිපදවලින් හැඩ දමා

හැන්දෑවට

ඇඹරුල්ලා ගස යට‍

ඉඳුණු ගෙඩි කමින්

ගයන විට

මට හැඟෙන්නේ

අත්තම්මේ, ඔබ

ගතින් වියපත් මුත්

සිතින් කුඩා දැරියක ලෙස

කල් ගෙවනා බවයි !

 

තණකොළයේ පටන්

මහා මාර ගස් දක්වා

ගස්කොළන් හඳුනනා

කුඩා අවදියේ පටන්

මට

සොබාදම් මෑණිගේ

වටිනාකම් කියාදුන්,

අත්තේ, ඔබ

තමා සමග එකටම

උස් මහත් වුණු

පරිසරය

අමතක නොකරන්නෙකි කිසිදා !

 

අප්පච්චීගෙන් ගුටි කන විට

අම්මාගෙන් බැනුම් අසන විට‍

මා ඉන් බේරා ගැනුමට

සිටියේ

ඔබම පමණකි !

ඉතින් කෙලෙසක වේවිද

අත්තේ, අත්තම්මේ

ඔබ නැති ලොවක

මගේ ජීවිතය ?

 

දිනක් මා මගේ මිත්තණියගේ

ජීවන නෞකාවට ගොඩ වුණෙමි

ඈ ඇගේ කථාවට මුල පිරැවේ

තවමත් සිතට දුක් දෙන

කරැණක් ගෙන හැර පාමින්,

මන්ද යත්,

“අධ්‍යාපන* නමැති වරම තම ජීවිත

කථාවෙන් ගිලිහීම පිළිබඳවයි.

දොළොස් දරැ පවුලක

මගේ මිත්තණිය පවුලේ දෙවනියා විය

නැති බැරිකම රජ කෙරෑ සිය පවුල තුළ

අකමැත්තෙන් වුවද

පාසල් ගමනට තිත තබන්නට වූයේ

රතිඤ්ඤා කම්මලක හයියෙන්

දහහතර දෙනෙකුගෙන් ගැබ්බර වූ තම

පවුල පෝෂණය කරමින් සිටි

පියාට සවියක් වන්නටයි ...

එවදන් පවසන විටද,

ඇගේ දෑස් කඳුළින් පිරෙනු මා දුටිමි

ඇය මා තුරැලට ගෙන

සෙනෙහස පාන්නට ඇත්තේ,

දිනෙක ඇය තම සොයුරැ දනන් හට

මවක් වූ සේමය

වරිච්චි බැඳි කටු මැටි ගෙයි

තම උදවිය සමග ගෙවූ කාලය

ඈ මතකයට නගන්නේ

හදපිරි තුටියෙන්, විටෙක ඇති වූ වේදනාවෙන්

අතීතයට පියමං කරන

මගේ මුළු ආත්මයම

අවුරැදැ හැට හැත්තෑවකට

පෙර වූ දිනයක් වෙත

ඇදී යන්නේ, මගේ මිත්තණියගේ

වාග් ශෛලිය නිසාවෙන් දෝ

මා නොදනිමි

අතීතයේ සිට මෙතැන් දක්වා

පියමං කළ ඈ අද

ශිල්ප හරඹ නොපෙන්වුවත් අත්දැකීම් තුළින්

ලොව දිනූ මවකි

ආදරණීය මිත්තණියකි

 

යූ.ජී.මීදුලා ශෙහානී ඉමදූව,

13 වැනි ශ්‍රේණිය,

නුගවෙල මධ්‍ය විදුහල.

දින පොත