දරුවෝ අඬන හඬ ඇහෙනවා

2021 ජනවාරි මස 22 පෙ.ව. 05:07 - {{hitsCtrl.values.hits}}  

මේ ශිෂ්‍යත්ව විභාගය කියන බර දරුවන්ගේ හිස මතින් ඉවත් කරන්න මම යෝජනා කළා. බස්නාහිර පලාත එක හඬින් ඒක අනුමත කළා. මේ ශිෂ්‍යත්ව විභාගය ගේන්න ඕන පන්තියේ හතට හෝ අටට දරුවන්ගේ ශාරිරික මානසික ද්විතීයික අවධිය පසු කරන්නේ එතකොට. පහේ පන්තියෙන් දරුවන්ගේ හිස මතට දාලා තියෙන මේ විභාගය නිසා දරුවෝ හුඟාක් ජීවිතයෙන් පේල් වෙලා. මේක කුමන්ත්‍රණ විභාගයක්.

මේ වෙනුවට අපි අලුත් වැඩ පිළිවෙලකට අනුව සාමාන්‍ය පෙළ සඳහා දරුවන් සූදානම් කරවනවා. බස්නාහිර පලාත් අධ්‍යාපන සංස්කෘතික තොරතුරු තාක්ෂණික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා එසේ පැවසූයේ පැලවත්ත මිරිස්වත්ත මහ විද්‍යාලයේ පැවති සංහිඳ කලා මංගල්‍යය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමිනි. මෙහිදී අමාත්‍යවරයා අතින් විවිධ දක්ෂතා දැක්වූ දරුවන් 125 දෙනකු ද විද්‍යාලයේ ඉදිරිය වෙනුවෙන් සේවාව සලසන ගුරුමණ්ඩලයේ පිරිසද අමාත්‍යවරයා අතින් උපහාර සමරු තිළිණ ලබා ගත් අතර දරුවන්ගේ විවිධ   ප්‍රාසාංගික අංගවලින් උත්සවය අළංකාර විය.

ප්‍රධාන ආරාධිතයන් අතර මතුගම අධ්‍යාපන කලාපයේ සංගීත අංශයේ අධ්‍යක්ෂ බී. එස්. කන්නන්ගර, වලල්ලාවිට කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඩැනී ගුණසිංහ, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ නාලක සමරවික්‍රම, යන මහත්වරුන් ඇතුළු   අවට විධ්‍යාලයන්හි විදුහල්පතිවරු රැසක්ද එක්ව සිටියේය.

විදුහල්පති සුනිල් විස්නාහකඩවර මහතාගේ උපදෙස් පරිදි විද්‍යාලයේ ගුරු මහත්ම මහත්මීන් විසින් සංවිධානය කළ මේ සඳහා විද්‍යාලයට සුබ පතන්නන් වන දිදුළ කනට්‍රක්ෂන් සමාගමේ  දමිත් ගම්මන්පිල සහ මිනැස්රෝ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ අනුර කන්නන්ගර යන මහත්වරු  සහයෝගය ලබා දී තිබූණි.

මෙහිදි වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අපේ මේ දරුපරපුර අනාගතයට සූදානම් කරන උත්තුංග දිව්‍යමය කාර්ය තමයි මේ ගුරු භවතුන් කරන්නේ. ගුරු වෘත්තිය තරම් උසස් වෘත්තියක් ලෝකේ වෙන මුකුත්ම නැහැ. මේක වෘත්තියක් නොවෙයි සේවාවක්. මේ සේවවාවට  දරුවන්ගේ දෙමව්පියෝ වශයෙන් විශාල සහයෝගයක් ලබා දිය යුතුයි. මොකද ගුරුවරුන් කරන මේ විශාල කාර්ය ඔවුන්ට තනියම කරන්න බැහැ.

දරුවාගේ ළමා කාලයේ සුන්දරත්වය ආරක්ෂා කිරිම දෙමව්පියන් විසින් කළ යුතු දෙයක්. ඉස්සර අපේ දරුවෝ ජීවිතය ඩගෙන ගත්තේ අත්දැකීම් වලින් පරිසරයේ ඇති වස්තූන් ඔවුන්ගේ ජීවිතයේ කොටස් කර ගත්තා.

ඇළ දොළ වල සිසිල් ජලයේ පහස ඒ දරුවෝ අත්වින්දා කැලේ කොලේ අල බතල රස ගඩා ගෙඩිවල ඇති රස හැම දේම අඳුනගත්තා. ඒවායෙන්  ශරීර වලට  අමුතුම ප්‍රතිශක්තියක් ඇති වුණා.  අද අපේ දරුවන් ගේ දොරකඩ ගහේ හැදෙන පලතුර අඳුනන්නේ නැහැ.

හැම දේම ප්‍රශ්න පත්තරයට ලියන්න මතකයේ තබා ගන්නවා මිසක් අතීත මිහිරියාවක් හැටියට කිසි දරුවෙකුගේ මතකේ නැහැ.

මේ ශිෂ්‍යත්වය කියන භයානක විභාගය දරුවන්ගේ ළමා සමය එහෙම් පිටින්ම ගිලගෙන. මම දැක්කා හුගාක් පාසල්වල  ශිෂ්‍යත්වය පාස් වෙච්ච දරුවන්ගේ පින්තූර දාලා බෝඩ් එකක් ගහනවා. පහේ හපන්නු කියලා.. මේ වතාවෙත් ශිෂ්‍යත්වේ හොඳින්ම සමත් චේච්ච දරුවෝ ඉන්නේ මගේ බස්නාහිර පලාතේ පාසල් වල.. මට ඒ හැම දරුවෙක්ගේම සතුට දැණෙනවා. පෙණෙනවා.  මම ඒ  සතුට බෙදා ගන්නවා. ඒ වාගේම මට ඊටත් වඩා මේ විභාගේ අසමත් වෙච්ච දරුවන්ගේ ඉකිබිඳින හඬ හොඳින් ඇහෙනවා.

මට අවශ්‍යය ඒ ඉකිබිඳුම නැති කරලා හැමෝම සතුටු වෙන දරු පරපුරක් හදන්නයි.

(විශ්ව ගැමුණු ප්‍රියංකර)

දින පොත