කූඤ්ඤ පොළොවේ රඳවන අලුත් ක්‍රම

2024 මැයි මස 20 පෙ.ව. 01:15 - {{hitsCtrl.values.hits}}  

විජය බාලදක්ෂ කඳවුර ඔබේ පුරෝගාමී දැනුම අලුත් කර ගැනීමට සහය වෙයි. මෙහි දැක්වෙන්නේ ද එවැනි උත්සාහයකි.
කූඩාරම් ඉදිකරන විට “කූඤ්ඤ* පොළොවෙහි ගිල්විය යුතුය. එසේ කළ නොහැකි අවස්ථාවක දී ප්‍රයෝජනයට ගත හැකි විකල්ප ක්‍රම පිළිබඳව ඔබ දැන සිටිය යුතුය. කූඤ්ඤයක් පොළොවෙහි රුඳවිය හැකි ක්‍රම හතරක් මෙම රෑප සටහනින් පෙන්වා දී ඇත.

සාම්ප්‍රදායික ක්‍රමය
නිතරම ප්‍රයෝජනයට ගන්නේ මෙම සාම්ප්‍රදායික ක්‍රමයයි. එහෙත් කිසිදු අවස්ථාවක ආධාරක ලණු ඇදෙන දිශාවට කූඤ්ඤ පොළොවේ ගිල්වීම නොකළ යුතුය. එමෙන්ම කූඤ්ඤයේ කොටසක් පිටතට පෙනෙන ආකාරයෙන් පොළොවේ ගිල්වීමද නොකළ යුතුය. (කූඤ්ඤයේ උසින් 2/3 ක ප්‍රමාණයක් පොළොවේ ගිල්විය යුතුය.)
ඇදෙන ලණුව සහ කූඤ්ඤය අතර තනන කෝණය අංශක 90 ක් වන අයුරින් ආනතිකව ගිල්වූ කූඤ්ඤයක් මැනවින් ස්ථාවර වෙයි. ඇදෙන ලණු කිසිදු අවස්ථාවක ලිහිල් නොකිරීමට වගබලා ගත යුතුය. කඳවුර අවසානයේ දී කූඩාරම් ඉවත් කර කූඤ්ඤ ඉවත් කරන විට කූඤ්ඤය දක්ෂිණාවර්තව කරකවා ඉහළට ඇදිය යුතුය. 

ගල් කුළක කූඤ්ඤය රුඳවීම
කූඤ්ඤය පොළොවෙහි ගිල්විය නොහැකි අවස්ථාවක ප්‍රමාණයෙන් විශාල ගලක් ඇත්නම් එය ප්‍රයෝජනයට ගත හැකිය. ඇදෙන ලණුව එම ගල වටා වට කිහිපයක් ඔතා පොලව මත තැබිය හැකිය. ලණුව ගලෙහි ගැටගැසීම නොකළ යුතුය. ප්‍රමාණවත් විශාල ගල් සොයාගත නොහැකි නම් ඒ සඳහා කුඩාගල් කැබලි ප්‍රයෝජනයට ගත හැකි ක්‍රමයක් ද ඇත.
ඇදෙන ලණුව කූඤ්ඤයේ හරි මැදින් ගැටගසා ඉංග්‍රිසි “T* අක්ෂරයේ හැඩයට ස්ථානගත කළ යුතුය. ඉන්පසු කුඩා ගල් කැබලි එක මත එක තැබිය යුතුය. ඇදෙන ලණුව මැදිවන සේ කුඩා ගල් කැබලි කිහිපයක් තැබීමෙන් “ටී බොන් කූඤ්ඤ රුඳවුම* සකස් කරගත හැකිය.

වැළලූ කූඤ්ඤ ක්‍රමය
වෙරළාශ්‍රිතව, ගංගා ඉවුරක හෝ මඩ වගුරැ සහිත ප්‍රදේශයක කඳවුරැ බඳින විට කූඩාරමේ කූඤ්ඤ රෑපයේ දැක්වෙන ආකාරයට මිහිදන් කළ හැක. එසේ කළ හැකි ආකාර තුනක් ඇත.
පළමු ක්‍රමය
කූඩාරම් පියස්සේ ආධාරක ලණුව කූඤ්ඤයෙහි “තුඩ* සහිත ස්ථානයට මදක් ඉහළින් කොස්පට්ටා ගැටය යොදා බැඳ ඉතිරි කෙළවර කූඤ්ඤයේ “හිස* සහිත ස්ථානයේ හොඳින් ගැටගැසිය යුතුය. ඉන් අනතුරැව කූඤ්ඤය වැලි හෝ මඩ සහිත පොළොවට ගිල්විය යුතුය. 
දෙවැනි ක්‍රමය
කූඩාරම් පියස්සේ සිට පහතට ඇදෙන කූඩාරම් ලණුව කූඤ්ඤයේ මැද ගැටගැසිය යුතුය. ඉන්පසු කූඩාරම් පියස්සේ සිට අඩි 3 ක් ඈතින් රෑපයේ දැක්වෙන ආකාරයට වළක් හෑරිය  යුතුය. අනතුරැව කූඤ්ඤය වළෙහි තිරස් අතට තබා ඊට උඩින් වැලි හෝ මඩ දමා වළ වසා දැමිය යුතුය. 
තුන්වැනි ක්‍රමය
මෙම ක්‍රමය “පැරිෂුට් ක්‍රමය* ලෙසද පුරෝගාමීන් අතර ප්‍රචලිතය. කූඩාරම් පියස්සේ සිට පහතට දිවෙන ලණුව කෙළවර “කුඩා පැරිෂුටයක්* ගැටගසයි. ඉටි රෙදි කැබැල්ලකින් හෝ ශක්තිමත් රෙදි කඩකින් හෝ රෑපයේ දැක්වෙන ආකාරයට පැරිෂුටය නිර්මාණය කළ යුතුය. සකස් කරගත් පැරිෂුටය තුළට මඩ හෝ ගල් කැබලි පුරවා ගත යුතුය. මේ ආකාරයෙන් සකසා ගත් පැරිෂුටය කූඩාරමේ සිට අඩි 3 ක් ඈතින් හෑරෑ වළක වැළලිය යුතුය.

ඔබේ අවධානයට

එළිමහනේ කඳවුරැ බඳින විට ඕනෑම අවස්ථාවකට ගැළපෙන අයුරින් “ඇදෙන ලණු* පොළොව මත ඇද බැඳීම සඳහා මෙම ක්‍රම යොදාගත හැකිය.

 

දින පොත