කූඩාරම් තිරයේ කූඩාරම් තිරයේ

2024 මැයි මස 08 පෙ.ව. 03:40 - {{hitsCtrl.values.hits}}  

සෙවණැලි රෑප ඇසුරින් කතාන්දරයක් ගොඩනැගීමේ කලාවක් ඇත.  එය හඳුන්වන්නේ සෙවණැලි රෑප කලාව යනුවෙනි. සෙවණැලි රෑප කලාව බාලදක්ෂ කඳවුරකට ආදේශ කරගන්නේ කෙසේ  දැයි විමසා බලමු.

අලුත් අත්දැකීමක් 


බාලදක්ෂ කඳවුරේ ගිනිමැලය, රසකතා කීම හා රාත්‍රී කඳවුරැ ක්‍රියාකාරකම් ආදියේදී සෙවණැලි රෑප කලාව යොදාගත හැකිය. ඔබ කළ යුත්තේ කෙටි රසවත් පිටපතක් සකස් කරගැනීමත් ඒ සඳහා පෙර පුහුණුවීම් කිරීමත් පමණි.
සෙවණැලි රෑප කලාවේ ඉතිහාසය
සෙවණැලි රෑප කලාවට තරමක ඉතිහාසයක් ඇත. චිත්‍රපට කර්මාන්තය ආරම්භ වීමට සෙවණැලි රෑපයෙන් ද රැකුලක් ලැබිණි. ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජර්මනිය ආදී යුරෝපියානු රටවල සෙවණැලි රෑප කලාව ආරම්භ විය. 1781 වසරේ නිර්මාණය කළ මැජික් ලන්තෑරැම සහ දුවන ලාම්පුව එකල සෙවණැලි රෑප ඇසුරින් කළ නිර්මාණ බව එංගලන්තයේ ක්ලීෆ් රිචර්ඩ් පවසයි. සෙවණැලි රෑප පෙන්වූයේ සෙවණැලි රඟහල් තුළය. සෙවණැලි රෑප ප්‍රදර්ශනය කළ අධ්‍යක්ෂවරැන් අතර ප්‍රකට සිනමාකරැවෝ සිටිති. හැන්ක් මර්වින්, බ_ක් වෙල්ච්, බ්‍රේන් බෙනට්, මාක් ග්‍රිෆිත් ඒ අතර ප්‍රමුඛයෝ වෙති. සෙවණැලි රෑපය ටික කලක දී ෂැඩෝ ග්‍රැෆි බවට පත්විය. විදුලි බුබුළක් ඉදිරියේ තබා ඇති විශාල තිරයට සෙවණැලි පතිත කිරීමෙන් සෙවණැලි රෑප මැවූ බවට සෙවණැලි රෑප ශිල්පීහු අදහස් දක්වති.

සෙවණැලි රෑපය මැවීමට අවශ්‍ය දේ

• සෙවණැලි රෑප ශිල්පියාගේ දෑත්
සෙවණැලි රෑප ශිල්පියාගේ දෑත් සහ ඇඟිලි ඉතාම නම්‍යශීලී විය යුතුය. චලනය වන වේගය සහ අදාළ ස්ථානගත කිරීම් අනුව තිරය මත රෑප පතිත වෙයි. එම රෑප කළු පාටැති ගනකම් සෙවණැලිය. එවැනි රෑප කිහිපයක් එක්කර යෙදීමෙන් චරිත සහිතව ගලාගෙන යන සෙවණැලි රෑප නාටක ගොඩනැගිය හැකිය.
• ආලෝක ප්‍රභවයක් සකසා ගැනීම
බාලදක්ෂයාගේ විදුලි පන්දම සහ ලන්තෑරැම මේ සඳහා යොදාගත හැකිය. විදුලි ආලෝක ලාම්පු ඇත්නම් ඒවා වුවද ප්‍රයෝජනයට ගත හැකිය. එහෙත් කෙතරම් ආලෝක ප්‍රභව තිබුණත් සෙවණැලි රෑපයක් තිරය මත පතිත කිරීමට අවශ්‍ය වන්නේ එක් ආලෝක ප්‍රභවයක් පමණි. එම ආලෝකය එක එල්ලේ ගමන් කරන ආලෝක ධාරාවක් නම් ලැබෙන ප්‍රතිඵලය ඉහළ යයි. 
• අවකාශය හිස්ව තබාගන්න


ඔබගේ අත්ල සහ අතැඟිලිවලට අමතර වූ වෙන කිසිදු සෙවණැල්ලක් තිරය මත පතිත නොවිය යුතුය. එසේ වීමෙන් ප්‍රේක්ෂකයාගේ රස වින්දයට බාධා පැමිණෙයි.
• ප්‍රධාන තිරය
සෙවණැලි රෑප පතිත වන්නේ හොඳින් අඳින ලද සුදු පැහැති තිරය මතට බැවින් එය මැනවින් සකසා තිබිය යුතුය. නරඹන බාලදක්ෂයා තිරය ඉදිරියේ අසුන්ගත යුතුය. තිරය පිටුපස සෙවණැලි රෑප ශිල්පියා ස්ථානගත විය යුතුය. ඊට පිටුපස ආලෝක ලාම්පුව ස්ථානගත විය යුතුය. ඔබ සිටිනුයේ බාලදක්ෂ කූඩාරමක් ඇතුළේ නම් එහි දොර ජනේල හොඳින් වැසීමෙන් කූඩාරම් රෙද්ද ප්‍රධාන තිරය බවට පත් කළ හැකිය. එවිට ප්‍රේක්ෂකයන් බාලදක්ෂ කූඩාරම ඉදිරියේ අසුන්ගත යුතුය.

සෙවණැලි රෑප හදමු
බාලදක්ෂ ඔබගේ අත් සහ ඇඟිලි මෙහි දැක්වෙන ආකාරයට ස්ථානගත කළ යුතුය. එවිට තිරය මත පතිත වන රෑප හඳුනා ගැනීමට ප්‍රේක්ෂක බාලදක්ෂයින් උනන්දු විය යුතුය. නිවැරදිව හඳුනාගත් සෙවණැලි රෑපයට නිවැරදි කටහඬ ආදේශ කිරීමට බාලදක්ෂයින් ඉදිරියට කැඳවිය යුතුය. එසේත් නැතිනම් සෙවනැලි රෑප ඇසුරින් කෙටි නාට්‍යයක් හඬකවා ඉදිරිපත් කළ හැකිය. එලෙස පෙර පුහුණුවීම් කළ නාට්‍යයක් බාලදක්ෂ ගිනිමැල සංදර්ශනයක දී වුවද ඉදිරිපත් කළ හැකිය. සෙවණැලි රෑප පිළිබඳව ඔබ උනන්දුවක් දක්වන බාලදක්ෂයකු නම් සෙවණැලි රෑප වීඩියෝ දර්ශන සහිතව නැරඹීමට Scouting.lk වෙබ් අඩවියට හෝ විජය බාලදක්ෂ කඳවුර යූ ටියුබ් නාලිකාවට පිවිසිය හැකිය.

දින පොත