ප්‍රථම රන්තරැ පෝතක බාලිකාවට ජනපති සම්මානය පිරිනැමේ

2024 මැයි මස 07 ප.ව. 01:31 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ඉතිහාසයේ පෝතක බාලදක්ෂ බාලිකා අංශයේ ප්‍රථම රන්තරැව 2000 වසරේ දී පිරිනමන ලදී. එම සම්මානය දිනාගනු ලැබුවේ හෝමාගම විජයවර්ධන මහ විදුහලේ ජේ.පී.දිනිති පබසරා දියණියයි. ඇය පසුගියදා මහනුවර මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික බාලදක්ෂ උලෙළේ දී බාලදක්ෂ අංශය වෙනුවෙන් ජනාධිපති සම්මානය දිනාගනු ලැබුවාය. ප්‍රධාන බාලදක්ෂතුමන්ගේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් සම්මානයට පාත්‍ර වූ ඇය විජය බාලදක්ෂ කඳවුරට පැවසුවේ මෙවැනි අදහසක්ය.
මගේ තාත්තා බාලදක්ෂ ක්ෂේත්‍රයේ නියැලීම නිසා අපේ පවුලේ සියලු දෙනා ඔහුත් සමග බාලදක්ෂ කටයුතුවලට සහභාගී වීමට සහ කඳවුරැ ගතවීමට පුරැදුව සිටියෙමු.
එබැවින් මම ඉතා කුඩා කල සිටම බාලදක්ෂ කඳවුරැවලට සහභාගී වූයෙමි. වාර්ෂිකව පියා සමග මීරිගම කඳවුරට සහභාගී වූයෙන් මීරිගම කඳවුරැ බිම මගේ නිවස මෙන් මට හුරැපුරැදුය. බාලදක්ෂ කටයුතුවලට කුඩා කල සිටම මගේ වූ දැඩි කැමැත්ත නිසාම අවුරැදු 3 දී පමණ තාත්තා මට අලුත් බාලදක්ෂ ඇඳුමක් වසා දුන්නේය. පසුව මම එම ඇඳුමෙන් සැරසී එවකට පැවති කබෝරි, ජම්බෝරි, හෝඩොරි, කැම්පරි ආදී සියලුම කඳවුරැවලට සහභාගී වූවෙමි. එහෙත් මෙම ඇඳුම පසුකාලයේ දී ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්ෂ බාලිකා නිල ඇඳුම වේයැයි එදින කිසි විටකත් නොසිතුවෙමි.
කිරිවත්තුඩුව විජයවර්ධන මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලද මම එහි ඇරඹණු පෝතක බාලදක්ෂ බාලිකා රුලට එක්වූයෙමි. දැනට කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සේවය කරන ධම්මිකා ජයමිණී මහත්මිය හා සන්ධ්‍යා කුමාරි මහත්මිය රුලට නායකත්වය දුන්හ. නැසීගිය සහකාර දිසා කොමසාරිස් දන්ත නුවන් සේනාධීර මහතා විශේෂ පුහුණුවීම් සිදුකරමින් විශාල සහයෝගයක් ලබාදුන්නේ ය. එතුමා හා සහකාර දිසා කොමසාරිස් දයා සුමනරත්න මහත්මිය ද ගෞරවයෙන් සිහිපත් කරමි.
එවකට ශ්‍රී ලංකා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය අතින් ශ්‍රී ලංකාවේ පළමු පෝතක බාලදක්ෂ බාලිකාව ලෙස අභිෂේක ලැබුවෙමි. 

ශ්‍රී ලංකාවේ පළමු රන්තරැ ලාභියා 
ශිෂ්‍යත්ව විභාගය සමත්ව නුගේගොඩ සමුද්‍රදේවී විද්‍යාලයට ගියද බාලදක්ෂ කටයුතු අත් නොහැරියෙමි. හෝමාගම මහා විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමට අනුයුක්තව කටයුතු කළෙමි. ඊට විශේෂ අවසරය ලබාදුන් එවකට දිසා කොමසාරිස් පුෂ්පකුමාර මහගම්මුල්ලගේ මහතාව සහ එවකට හෝමාගම මහා විද්‍යාලයේ විදුහල්පතිනි ප්‍රියංගනී ජයසිංහ මැතිනිය ගෞරවයෙන් සිහිපත් කරමි.
මගේ ඉලක්කය වූ ජනාධිපති පදක්කම ලබා ගැනීම පිළිබඳව මට ඇත්තේ ඉමහත් සතුටකි. එය භාග්‍යයක් කොට සලකමි.
ඊට උදවු උපකාර කළ සැමට ස්තූති කරන්නට මෙය අවස්ථාවක් කරගන්නා අතර බාලදක්ෂ ලෝකයේ අ  ආ කියාදී බාලදක්ෂයෙකු කර මෙතෙක් ආ දුෂ්කර ගමන් මගේ සියලු ජයග්‍රහණ සඳහා මා මෙහෙය වූ මගේ බාලදක්ෂ දිවියේ ගුරැවරයා හිටපු දිසා කොමසාරිස් සහ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ සාමාජික ජේ.පී.ආර්.අසෝක මගේ ආදරණීය තාත්තාට සහ මගේ දිවිය පුරා මෙන්ම මේ ආ ගමන්මගේ ද නිබඳ මා හා රුඳී සිටින මගේ ආදරණීය අම්මාට සහ විශේෂයෙන්ම ජනාධිපති ප්‍රදානය සඳහා අවැසි වැඩ කටයුතුවල දී නිරන්තරයෙන් මට උදවු උපකාර කළ මගේ ආදරණීය මල්ලි සහ නංගි ද ආදරයෙන් සිහිපත් කරමි. ඔවුන් දෙදෙනා ද බාලදක්ෂ කටයුතුවල නිරත වන අතර ඔවුන්ගේ බාලදක්ෂ දිවියට ද මම සුබ පතමි. ඉදිරියේ ද බාලදක්ෂ ක්ෂේත්‍රයේ නියලීමට බලාපොරොත්තු වෙමි.

දින පොත