පෘථිවි භ්‍රමණය, මෙම ජූලි සහ අගෝස්තු මාසවලදී වේගවත් වනු ඇතැයි විද්‍යාඥයෝ පවසති. ඒ අනුව, දින කෙටි වනු ඇත. පසුගිය ජූලි 9 වැනිදා මේ අයුරින් පෘථිවි භ්‍රමණය වේගවත් විය. යළි ලබන ජූලි 22 වැනිදාත්, ඉන්පසු අගෝස්තු 5 වැනිදාත් පෘථිවි භ්‍රමණය වේගවත් වී දින කෙටි වීම සිදුවනු ඇත.
වේගය වැඩි වෙයි
පෘථිවි භ්‍රමණය වේගවත් වී දින කෙටි වීම අපට දැනෙන විදිහේ වෙනසක් නම් නොවෙයි. එය ඉතා සියුම් වෙනස් වීමකි. එය මැනීම සිදුවන්නේ මිලි තත්පරවලිනි. උදාහරණයක් ලෙස, අගෝස්තු 5 වැනි දින සාමාන්‍ය දිනයකට වඩා මිලි තත්පර 1.51ක් පමණ කෙටි වනු ඇතැයි විද්‍යාඥයෝ පුරෝකථනය කර ඇත. පෘථිවිය, අක්ෂය වටා 365 වතාවකට වඩා ටිකක් වැඩි වාර ගණනක් භ්‍රමණය වන අතර, එයින් වසරක දින ගණනට බලපෑමක් නොවේ.
විවිධ හේතු
අතීතයේ පෘථිවියට සූර්යයා වටා යෑමට ගත වූ දින ගණන දින 490 සිට 372 දක්වා පරාසයක පැවති බව විවිධ ගණනය කිරීම්වලින් අනාවරණය වී ඇත. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙම වෙනස්වීමට සාධක කිහිපයක් බලපෑම් කළ හැකි බවය. පෘථිවි හරයේ සිදුවන චලන පෘථිවි භ්‍රමණයට බලපෑම් කළ හැකිය. ග්ලැසියර දියවීම ද මීට හේතුවක් යැයි විශ්වාස කෙරේ. එල්-නිනෝ සහ ලා-නිනා වැනි දේශගුණික පෙරළි ද පෘථිවි භ්‍රමණයට බලපෑම් කළ හැකි බව විද්‍යාඥයන්ගේ අදහසය. එපමණක් නොව, අප පෘථිවියේ උප ග්‍රහයා වන චන්ද්‍රයා ද හේතුවක් විය හැකිය.
අපේ නිවහන
පෘථිවිය යනු අපගේ නිවහන වන අතර, එහි ඇති සියුම් සමතුලිතතාවය ජීවය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වේ. දේශගුණික විපර්යාස, පරිසර දූෂණය සහ ජනගහන වර්ධනය වැනි ගැටලු හේතුවෙන් අද වනවිට අප නිවහන අභියෝග රැසකට මුහුණ පා සිටී. මෙම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමෙන් පමණක් අපට පෘථිවිය අනාගත පරම්පරාවන් සඳහා සුරක්ෂිත කළ හැකිය. පෘථිවි භ්‍රමණයේ වෙනස්වීම් වැනි ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් අපට අපගේ ග්‍රහලෝකය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගත හැකිය.
පෘථිවිය
පෘථිවිය, සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයාගේ සිට තුන්වන ග්‍රහලෝකයයි. විශ්වයේ ජීවය පවතින බවට අප දන්නා එකම ග්‍රහලෝකය ද මෙයයි. පෘථිවිය අද්විතීය වන්නේ එහි මතුපිට ජලය බහුලව තිබීම, ඔක්සිජන් සහිත වායුගෝලයක් තිබීම සහ ජීවය පවත්වා ගැනීමට අවශ්‍ය විවිධ තත්වයන් තිබීම හේතුවෙනි. පෘථිවිය ප්‍රධාන ස්ථර කිහිපයකින් සමන්විත වෙයි. ඝන හරය, ද්‍රව පිටත හරය, මැන්ටලය සහ කබොල. මෙම ස්තරවල චලනය භූමිකම්පා, ගිනිකඳු සහ කඳු ඇතිවීමට හේතු වෙයි.
පෘථිවිය නිරන්තරයෙන් තම අක්ෂය වටා භ්‍රමණය වන අතර, දින සහ රාත්‍රී ඇතිවීමට එය හේතු වේ. සූර්යයා වටා භ්‍රමණය වීමෙන් වසරක් සම්පූර්ණ වන අතර ඍතු වෙනස් වීම් සිදු වෙයි. සාමාන්‍යයෙන් වසරකට දින 365 ක් සහ පැය 6ක් පමණ තිබුණත්, මෙම භ්‍රමණ වේගය විවිධ හේතු නිසා සුළු වශයෙන් වෙනස් වෙයි.
ලුසිත ජයමාන්න
එන්.ඩී.ටීවී ඇසුරිනි