කොළඹ වරාය නගරයේ නව වෙරළ තීරය ලබන වසරේ ජනතාවට විවෘත වේ
- 2020-06-18 15:41:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ වරාය නගරයේ (PORT CITY COLOMBO) වෙරළ තීරය පොදු මහජනතාව වෙනුවෙන් ලබන වසරේ දී විවෘත කිරීම කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම (Port City Colombo pvt/ Ltd) සැලසුම් කර තිබෙන බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු මේ දිනවල කඩිනමින් සිදුකෙරෙමින් පවතින බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය, ඉංජිනේරු ප්‍රියත් බන්දු වික්‍රම මහතා ප්‍රකාශ කරයි.
කිලෝමීටර් 2 ක් දිගින් යුත් කොළඹ වරාය නගරයේ නව වෙරළ තීරය සකස් කෙරෙමින් පවතින අතර වෙරළ ක්‍රීඩා අංගණයක් වෙරළ උද්‍යානය, ළමා උද්‍යාන, කුඩා ආපන ශාලා, බෝට්ටු ප්‍රවාහන සේවා වලට අදාළ අංගන ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු ළඟදීම ආරම්භ කිරීමට නියමිතයි.
මුහුදු මට්ටමේ සිට මීටර් 4 1/2 ක උසකින් යුක්තව සහ කිලෝමීටර් 3.2 ක දිගකින් යුත් දියකඩනය ඉදිකිරීමේ කටයුතු ද මේ වන විට මුළුමනින්ම අවසන් කොට තිබේ.
මෙම දියකඩනය යෙදීමෙන් විශාල මුහුදු රළට වෙරළ සීමාවට පැමිණීමට නොහැකි වන නිසා එම මුහුදු සීමාවේ දිය නෑමට, වෙරළ ක්‍රීඩාවල නිරතවීමට, ජල ක්‍රීඩාවල නිරතවීමට හැකියාව ලැබෙන පරිදි එම කටයුතු ආරක්ෂාකාරී සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ද කොළඹ වරාය නගර ව්‍යාපෘතියට ඇතුළත් වේ.
කොළඹ වරාය නගරය ව්‍යාපෘතියේ වෙරළ සීමාවේ සහ ඊට අදාළ ගොඩබිම් ප්‍රදේශයේ (Marina Construction) මෙහෙයුම් කටයුතු ද ළඟදීම ආරම්භ කිරීමට නියමිතයි. ඒ යටතේ සැහැල්ලු යාත්‍රාංගනයක් ද ආරම්භ කිරීමට නියමිතව ඇත.
ගාලු මුවදොර පිටිය (Galle face) ප්‍රදේශයට විවේකීව ගතකිරීමට පැමිණෙන ජනතාවට එහි වෙරළට යාමට සහ දිය නෑමට යෑම යම් යම් ගැටළු වලට යෙදවූවද කොළඹ වරාය නගරයේ වෙරළ තීරයට පිවිසීම සහ දියනෑමේ කටයුතු කිසිදු ගැටළුවකින් තොරව සිදුකිරීමට හැකි අතර ගාලුමුවදොර පිටිය ප්‍රදේශයේ සිට කොළඹ වරාය නගරයට පාගමණින් පැමිණිය හැකි වන පරිදි පිවිසුම් මාර්ගයක් ඉදිකෙරෙමින් පවතී.
සාමාන්‍ය පොදු මහජනතාවට කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව කොළඹ වරාය නගරයට පිවිසිය හැකියි.
මුහුද ගොඩකර හෙක්ටයාර් 269 ක අයත් භූමිය ඇතුළු වෙරළ ඉදිකිරීම සහ දියකඩනය ඉදිකරීම් වැයවී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 830 කි.
මෙරට විශාලම සංවර්ධන ව්‍යාපෘතිය වන කොළඹ වරාය නගරය තුළින් රටට ආර්ථික ප්‍රතිලාභ ඇතුළු තවත් විශාල ප්‍රතිලාභ හිමිවන අතර ආසියාවේ මෙන්ම මුළු ලෝකයේම ආයෝජකයින්ගේ අවධානය මේ වන විටත් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය කෙරෙහි යොමු වී තිබේ.
කොළඹ වරාය නගරය තුළ සේවකයින් 1600 ක් පමණ ඉදිකිරීම් කටයුතුවල නිරත වූ අතර කොවිඞ් -19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් 500 කට පමණ සේවකයින් සීමාකර තිබුණි.
රට යළි විවෘත කිරීමත් සමග සියළුම සේවකයින් PCR පරීක්ෂණ වලට ලක්කර සති දෙකක නිරෝධායනයකින් පසුව සේවයට යොදවා ඇති අතර ජූලි මාසය මැදවන විට සියළුම සේවකයින් වැඩකටයුතු සඳහා යොදවා ගැනීමට අපේක්ෂා කෙරේ.
ඉදිකිරීම් ක්ෂේත්‍රයට සෞඛ්‍ය මාර්ගෝපදේශ 47 ක් ලබා දී ඇති අතර එම මාර්ගෝපදේශ යටතේ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ.
නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ උපදෙස් හා අධික්ෂණය යටතේ කොළඹ වරාය නගරය ඉදිකෙරෙන අතර Port City Colombo pvt/ Ltd සමාගම ආයෝජන සමාගම වශයෙන් කටයුතු කරන අතර China Harbor Company (CHEC) සමාගම කොන්ත්‍රාත් සමාගම වශයෙන් කටයුතු සිදු කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments