මොරටු රොබෝවා ටැංකි නැවට බසී

2024 අප්‍රේල් මස 27 පෙ.ව. 12:51 - {{hitsCtrl.values.hits}}  

 

ඉන්ධන, තෙල් සහ රසායනික ද්‍රව්‍ය රැගෙන යන ටැංකි නෞකාවල තත්ත්වය නිරීක්‍ෂණය කිරීම සඳහා දියයට හැසිරවිය හැකි නවතම රොබෝවෙක් නිපදවීමට මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ සිසුහු පිරිසක් සමත්වී සිටිහි.

සාමාන්‍ය වශයෙන් නියමිත සැතපුම් ගණනක් ගමන් කළ පසුව ටැංකි නෞකාවල තත්ත්වය පරීක්‍ෂා කළ යුතුය. හදිසියේ හෝ සිදුරුවීමක් ඇතිවුවහොත් එය විශාල සාගර විනාශයකට හේතුවෙයි. එබැවින් තත්ත්ව සමීක්‍ෂකවරයකු විසින් එම ඉන්ධන හෝ රසායනික නෞකා පරීක්‍ෂාවට ලක් කෙරේ. එය ඉතා අනතුරුදායක සහ අවදානම් කාර්යයක් විය හැක. මේ හේතු කාරණා සැලකිල්ලට ගනිමින් සබ්මැරිනයකට සමාන හැඩයක් ගන්නා දිය යට ගමන් කරන රොබෝවකු නිර්මාණය කිරීමට ඔවුහු සමත් වූහ.

යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සී.ජේ. කොග්ගලහේවා, නිරෝෂණ කුමාරරත්න සහ චතුර හෙළරුවන් යන සිසුහු මෙය නිර්මාණය කළහ. ඒ වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වයි.ඩබ්ලිව්.ආර්. අමරසිංහ, ආචාර්ය තිලිණ ලාලිතරත්න සහ ආචාර්ය ඩබ්ලිව්.කේ. විමල්සිරි යන මහත්වරු ඔවුනට මඟ පෙන්වූහ.

‘සාගරයේ ගමන් ගන්නා ටැංකි නෞකාවල තත්ත්ව සමීක්‍ෂණය කිරීම විශාල අවදානමක් මෙන්ම අසීරු කාර්යයක් වෙන්න පුළුවන්. එවැනි සමීක්‍ෂකවරු අපේ ලංකාවෙත් ඉන්නවා. ඔවුන්ගේ එම අවදානමට සහ අසීරුතාවට විසඳුමක් ලබාදෙන්න කියලා කීපදෙනක්ගෙන් අපට ඇරැයුම් ලැබුණා. ඒ නිසා මුල ඉඳලාම අපි මෙහි සැලසුම් ආකෘතිය නිර්මාණය කළා. මෙය විශේෂිත නිර්මාණයක්. මෙය කුඩා ප‍්‍රමාණයේ සබ්මැරිනයකට සමානව පෙනුනනද මෙය දිය යටින් ගමන් කළ හැකි රොබෝවෙක්. දැනට අපි මෙහි පළමු අදියරේ පරීක්‍ෂාව සාර්ථකව සිදුකළා‘

‘මෙවැනි සාගර විශ්ලේෂණ සඳහා නිර්මාණයවී ඇති රොබෝ යන්ත‍්‍ර ලෝකයේ දකින්න පුළුවන්. එහෙත් මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මෙය යොදාගනු ලබන ක්ෂේත‍්‍රය සහ එහි නව ජලගතික ආකෘතියයි. මෙහි සවිකර ඇති කැමරා ආධාරයෙන් ටැංකි ඇතුළත දර්ශන නාවුක සමීක්‍ෂකවරයාගේ පරිගණකය වෙත ලබාගත හැකි අතර ඒ මොහොතේදීම පිටත සිට නිරීක්‍ෂණය කළ හැකි වෙනවා‘

‘මෙය දුරස්ථ පාලකයක් මගින් ක‍්‍රියාකරවීමට හැකි වන අතර නාවිත සැතපුම් 5 ක වේගයකින් ඉදිරියට ධාවනය කළ හැකි වෙනවා. මෙම රොබෝ යන්ත‍්‍රය රසායනික බැටරියකින් ක‍්‍රියාත්මක වන අතර මෙය ධාවනය කිරීම සඳහා තෙරපුම් මෝටර පහක් යොදාගෙන තියෙනවා‘

‘මෙය නිර්මාණය කරද්දී අපි බොහෝ ගැටලූවලට මුහුණ දුන්නා. මෙය වතුර යටින් ගමන් කළ යුත්තේ කෙසේද?, තාක්‍ෂණය හැසිරවිය යුත්තේ කොහොමද කියලා අපට සිතන්න සිද්ධ වුණා. ලෝකයේ රටවල මෙවැනි රොබෝවන් සිටියද ලංකාවේ නාවුක ක්ෂේත‍්‍රයේ සමීක්‍ෂණ වෙනුවෙන් මෙය නිර්මාණය කිරීමට ලැබීම අප ලද ජයග‍්‍රහණයක් කීවාට වරදක් නැහැ. මෙය නුදුරු අනාගතයේදී නාවුක ක්ෂේත‍්‍රයට නිෂ්පාදනයක් හැටියට ලබාදීමට වෙළෙඳ ආයෝජකයන්ට අප හා එක්වන්න පුළුවන්. මේවන විට පේටන්ට් බලපත‍්‍රය ලබාගැනීමට අයැදුම්පත් සූදානම් කර අවසන්‘

‘ලෝකයේ  ඕනෑම තාක්‍ෂණයක් එකවර දියුණුවී පැමිණියේ නැහැ. ඒවා ටිකෙන් ටික සංවර්ධනය වුණා. අපි හිතනවා මෙම නිර්මාණයත් තවත් වසර කීපයකින් විශිෂ්ට නිර්මාණයක් වේවි කියලා‘

‘මෙය නිර්මාණය කිරීමේදී මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය රාහුල අත්තලගේ, ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය කපිල පෙරේරා, කොළඹ ඩොක්යාඩ් ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරී සමන්ත ගොඩකුඹුර, නිපෝන් කෛජි කියෝකෛ (ක්ලාස් එන්.කේ.) ජාපාන නාවුක සමීක්‍ෂණ ආයතනයේ ලංකා ජ්‍යෙෂ්ඨ නාවුක ඉංජිනේරු සමීක්‍ෂක සහ කළමනාකාර  මාධව ෆොන්සේකා යන මහත්වරුන්ගේ සහායද සිහිපත් කරනවා. අප සමඟ ඉදිරියට යන්න කැමැති ආයෝජකයන්ට 0718517882 අංකයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්’යැයි ආචාර්ය අමරසිංහ මහතා පැවැසීය.(..ගයාන් සූරියආරච්චි-ලංකාදීප)

Sub-1 Sub-2 Sub-3 Sub-4 Sub-5

 

දින පොත