ලොව වටා

අපේ නිදහසට හැත්තෑ වසරයි

2018 පෙබරවාරි 05 වැනි සඳුදා - 175  

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස දිනය මෙම පෙබරවාරි 4 වෙනි දිනට යෙදී ඇත. 1948 පෙබරවාරි 4 වෙනි දින බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදී බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයට එක්ව ඩොමීනියන් රාජ්‍යයක් බවට ලංකාව පත් වීම අප රට නිදහස ලැබීම ලෙස සලකනු ලැබේ.  අපගේ අසල්වැසි මහා රාජ්‍යය වන ඉන්දියාව 1947 අගෝස්තු 15 වන දින බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් විය. ඉන්දියාව පූර්ණ නිදහස් රාජ්‍යයක් බවට පත් වූයේ 1950 ජනවාරි 26 වැනි දින පනවන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි. 

බුරැමය අපට මසකට පෙර එනම් 1948 ජනවාරි 4 වෙනි දින බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදී නිදහස ලබා ගත්තේය. ඉන්දියාවද, ලංකාවද බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් වූ නමුත් බුරැමය එසේ නොවීය. එය  බුරැම ජනරජය ලෙස ස්ථාපිත විය.  මැලේසියාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගත්තේ 1957 අගෝස්තු 31 වන දින දීය. එම උත්සවයේ ද බ්‍රිතාන්‍ය රජුගේ නියෝජිතයා ලෙස සහභාගි වූයේ ග්ලෝස්ටර් ආදිපාදවරයාය.

නිදහස දිනා  ගත්තාද? ලබා ගත්තාද?

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකාවේ නිදහස සැමරීම හුදෙකලා සිද්ධියක් නොවේ. යුරෝපීය ජාතිකයන්  විසින් ශත වර්ෂ කිහිපයක්ම ආසියා, අප්‍රිකා හා ලතින් ඇමෙරිකානු රටවල් යටත් විජිත වශයෙන් පවත්වා ගෙන ගොස් ඇත. පෘතුගීසි, ලන්දේසි, ප්‍රංශ, ස්පාඤ්ඤ හා ඉංග්‍රීසි යන අධිරාජ්‍යවාදීන් මේ යටත් විජිතවල අයිතිකාරයෝය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ ඇති වූ වෙනස්කම්වල ප්‍රතිඵලයක් වශයෙන්ද, රැසියාවේ කොමියුනිස්ට්වාදය විසින් ලෝක දේශපාලනය කෙරෙහි ඇති කරන ලද බලපෑම්වල ප්‍රතිඵලයක් වශයෙන්ද යටත් විජිත මුදා හරින්නට අධිරාජ්‍යවාදීන්ට සිදු විය. ලංකාව නිදහස ලබන ලද්දේ එවැනි ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙනි. මේ නිසා ලංකාව 1948 පෙබරවාරි 4 වෙනි දින නිදහස ලබා ගැනීම යනු දිනා ගත් නිදහසක් නොව, ලබා ගත් නිදහසක් ලෙස සැලකිය හැකිය.

කෝල්බෘෘක්

ලංකාවේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය සඳහා බ්‍රිතාන්‍ය මහරජුගේ නියෝගයෙන් කොල්බෘෘක් කොමිසම ලංකාවට පැමිණියේ 1829 දීය.  ඒ අනුව ලංකාව උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර හා මධ්‍යම යනුවෙන් පළාත් පහකට බෙදනු ලැබිණි. කොලින් කැමල් ආණ්ඩුකාරයා යටතේ 1845 දී වයඹ පළාතද, ග්‍රෙගරි ආණ්ඩුකාරයා යටතේ 1873 දී උතුරැ මැද පළාතද, ගොර්ඩ්න් ආණ්ඩුකාරයා යටතේ 1876 දී ඌව පළාතද 1888 දී සබරගමුව පළාතද වශයෙන් බෙදා වෙන් කරන ලදී. අදටත් අපගේ පළාත් නවය ලෙස සැලකෙන්නේ එම බ්‍රිතාන්‍ය පාලකයන් විසින් දක්වන ලද සීමාවන්ය.

ඩොනමෝර්

  • 1927 දී පැමිණි ඩොනමෝර් කොමිසම විසින් 1931 දී ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය හඳුන්වා දෙන ලදී.  ඒ අනුව ඡන්ද බලය ලැබීමේ වයස් සීමාව අවුරැදු 21ක් වූ අතර, ස්ත්‍රී පුරැෂ දෙපාර්ශ්වයටම ඡන්ද බලය ලැබිණි.

සෝල්බරි

  • ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලැබෙන්නේ සෝල්බරි සාමි විසින් සංශෝධනය කරන ලද ආණ්ඩු ක්‍රමය යටතේය. මේ සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් ලංකා ස්වාධීනතා  පනත සම්මත කරන ලදී. 

නාමමාත්‍ර විධායකයා

  • ලංකාවට ඩොමීනියන් නිදහස ලබා දීමෙන් පසුවද ලංකාවේ නාමමාත්‍ර විධායකයා හෙවත් අග්‍රාණ්ඩුකාරයා පත් කරන ලද්දේ  බ්‍රිතාන්‍යයේ හයවැනි ජෝර්ජ් රජතුමා විසිනි. 1947 සිට අග්‍රාණ්ඩුකාර ධුරය දැරෑ ශ්‍රීමත් හෙන්රි මේසන් මුවර් මහතා 1949 දක්වාම එම තනතුර දැරීය.   

 1948 පෙබරවාරි 4 වන දින ඩොමීනියන් නිදහස ලැබීමෙන් පසු ලංකාව පාලනය කළ අග්‍රා‍ණ්ඩුකාරවරු

 

 

 

 

 

හෙන්රි මේසන් මුවර්  Iසෝල්බරි සාමි       Iඔලිවර් ගුණතිලක    Iවිලියම් ගොපල්ලව

(1954 සිට ලාංකිකයන් අග්‍රාණ්ඩුකාර ධුරයේ සිටි නමුත් ඔවුන් පත් කරන ලද්දේ  බ්‍රිතාන්‍ය මහ රජුගේ නියෝජිතයා වශයෙනි)  

  • නිදහස් දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ රජු විසින් එවන ලද පණිවුඩය 

(1948 පෙබරවාරි 4 වන දින රජ ගෙදරදී මෙය කියවන ලද්දේ ග්ලෝස්ටර්හි ආදිපාදතුමා විසිනි. )

මහරජතුමා විසින් ලංකාවේ එතුමාගේ රටවාසීන් සඳහා පහත සඳහන් පණිවුඩය කියවන ලෙස රජතුමාගෙන් මට නියෝගයක් ලැබී තිබේ. 

        ‘‘ නිදහස් ලංකා පනත නීත්‍යානුකූල වීමෙන් පසු ඇති වන ලංකා පාර්ලිමේන්තුවේ පළමු වැනි රුස්වීම් වාරය මා වෙනුවෙන් විවෘත කිරීමේ කාර්යය මගේ සොහොයුරැ ග්ලෝස්ටර්හි ඈපාණන්ට පැවරැවෙමි.  බි‍්‍රතාන්‍ය පොදු ජාතීන්ගේ මණ්ඩලයට අංග සම්පූර්ණව වර්ධනය වූ ජාතියක් අලුතෙන් පිළි ගැනීම මා කරන්නේ හෘදයාංගම ප‍්‍රීතියකින් හෙයින් මේ මොහොතේ මගේ සිතුවිලිද යුෂ්මතුන් සමගමය.  ලංකාවේ සිටින මගේ රටවාසීන් මේ නිදහස් ජාතීන්ගේ සංගමයට සම්පූර්ණ වූද සාරවත් වූද සේවයක් කරනවා ඇතැයි මම දනිමි.  මේ පරමාර්ථය කරා යුෂ්මතුන්ගේ අලුත් වගකීම දක්ෂ ලෙස ඉදිරියට ගෙන යනවා ඇතැයි මම විශ්වාස කරමි.  මේ ශ්‍රේෂ්ඨ දිනයේ යුෂ්මතුන්හට මම සුබ පතමි.  සාමය හා සමෘද්ධිය අඩුවක් නැතිව භුක්ති විඳීවායි මම යාඥා කරමි.  ඉදිරි කාලයේදී දෙවියන්ගේ දේවාශීර්වාදය ලැබ  යුෂ්මතුන් සෑම දෙනෙකුත් යුෂ්මතුන්ගේ රටත් නිසි මාර්ගයේ ගමන් කරත්වා. 

-------------------------------------------------------------------------------------------------------------

ආණ්ඩුකාරතුමාට රාජකීය බලපත‍්‍රයෙන් පැවරෙන කාර්ය භාරය

ලංකාවේ අග්‍රා‍ණ්ඩුකාර තුමාට හා ප‍්‍රධාන අණදෙන නිලධාරිතැනට මහරජාණන් විසින් පවරන ලද බලපත‍්‍රය අනුව මේ දිවයිනේ රජයේ සේවයේ යෙදී සිටින වුවමනා පුද්ගලයකු ලවා මහරජාණන් වහන්සේට පක්ෂපාතව සිටීමේ දිවුරුම් ගැනීමක් කරවීමට බලය ඇති බවත්, එවැනි දිවුරැම් ගැනීමක් අග්‍රා‍ණ්ඩුකාර ඉදිරියේ හෝ එතුමා විසින් පත් කරන ලද කෙනෙකු ඉදිරියේ කළ යුතු බවත්, බලපත‍්‍ර කෙටුම් පත ප‍්‍රකාශ කරන්නේය. 

යම් කිසි අපරාධකාරයකුට සමාව දීමක් හෝ නිදහස් කිරීමක් අග්‍රා‍ණ්ඩුකාර තුමාට කළ හැකි වන්නේ පළමුව එතුමාගේ ඇමතිවරයකුගේ අනුශාසනා ඇතිව බවත් රාජකීය බලපත‍්‍රය කියා සිටී.

අධිකරණය විසින් මරණීය දණ්ඩණයට තීන්දු කරනු ලැබූ පුද්ගලයකුට සමාව දීමේදී විනිශ්චයකාර තැන විසින් අග‍්‍රාණ්ඩුකාර තුමා වෙත ඉදිරිපත් කළ වාර්තාව ඇටෝර්නි ජෙනරාල් තැන වෙත යවා ඔහුගේ අදහස් සහිතව, ඒ කාර්යය භාර ඇමතිවරයා වෙත ඒ වාර්තාව යවා ඒ ඇමතිවරයාගේ අනුශාසනා අනුව සමාව දීම කළ යුතු වේ.

එමෙන්ම ලංකාවට යටත් රාජ්‍යයකට යෑමේදී හැර අන් කිසි කරැණක් නිසා රටින් පිටතට යන්නේ නම් අග‍්‍රාණ්ඩුකාර තුමා විසින් මහරජාණන් වහන්සේගේ අවසරය කල් ඇතිව ලබා ගත යුතුය.

  (1948 පෙබරවාරි පුවත්පත් වාර්තාවකි)

 

 

 

1948 පෙබරවාරි 4 වන දින පුවත්පත් වාර්තාවකි.

අගමැතිතුමාගේ කතාව

        ‘‘ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සිද්ධියක් උදෙසා අද අපි උත්සව පවත්වන්නෙමු.  දේශපාලන නිදහස ලැබීම වූ කලී අප දිවයිනේ දීර්ඝ ඉතිහාසය දෙස බලන කල බුදුරජාණන් වහන්සේ විසින් අවුරැදු 2500කට උඩදී දේශනා කර වදාළ අධ්‍යාත්මික නිදහසට පමණක් දෙවැනි වන වැදගත් කාරණයක් බව ඇතැම් විට කිය හැකියැයි අද උදේ ගුවන් විදුලිය මගින් කතා කළ අග්‍රාමාත්‍ය ඩී.ඇස්.සේනානායක මහතා ප‍්‍රකාශ කළේය.  අගමැතිවරයා වැඩි දුරටත් කතා කරමින් මෙසේ කීය. ඉතා දීර්ඝ කාලයක පටන් අප කුඩා දිවයින භූක්ති වින්දාවූ ජාතික උරැමය වූ ස්වාධීනත්වය ශතවර්ෂ ගණනක විදේශීය පාලනයෙන් පසු නැවතත් අපට ලැබී තිබේ. නිදහස රුක ගත හැක්කේත් එයින් මනුෂ්‍යයාගේ ජීවන තත්ත්වය නගා සිටුවා  ප‍්‍රීතිමත් වාතාවරණයක් ඇති කළ හැක්කේත් ඒ නිදහස භාර ගැණීමට සතුටු මනුෂ්‍ය වර්ගයාට හා නිදහස් සමාදානකාමී ලෝකයකට පමණකි. 

නොසන්සුන් කමේ බීජ ‘‘ අද ලෝකය යුද්ධය කරණ කොට ගෙන දුර්වල වී තිබුණත් නොසන්සුන් කමේ බීජයන් එය විනාශයට තර්ජනය කරති. මේ කාරණය ලොකු කුඩා සියලුම ජාතීන්ට සාමයේ පණිවුඩය පතුරැවා ඒ ඒ රටවල පමණක් නොව ඔවුනොවුන් අතරේත් අසමගිය ඇති කිරීම සඳහා දැඩි ධෛර්යයයෙන් කටයුතු කිරීමට පොලඹවයි. ලංකාවට නිදහස ලැබීම වූ කලී එක් අරගලයක අවසානය නොව තව විශාල අරගලයක් ආරම්භ කිරීමකි. (1948 පෙබරවාරි 4 වන දින ලංකාදීප පුවත්පත් වාර්තාවකි)

 

 

ආණ්ඩුකාරතුමාගේ කතාව

මෙරට වාසීන්ට මෙතෙක් තිබුණාට වඩා උසස් නිදහසක් ලබා දෙන්නට මේ උදා වූ නිදහසට නොපිළිවන් වුවහොත්, එබඳු නිදහසකින් පලක් නැත්තේ  යැයි ලංකාවේ අභිනව ආණ්ඩුකාර තැන්පත් සර් මොන්ක් මුවර් මහතා ලක්වැසි ජනතාව අමතා අද උදේ ගුවන් විදුලිය මගින් කළ කතාවේදී  ප‍්‍රකාශ කළේය.  වැඩි දුරටත් කථා කළ ආණ්ඩුකාරතුමා මෙසේද කීය.  ‘‘ අද උදෑසන 7.30ට මම රජගෙදර දී මගේ කැබිනට් ඇමතිවරැන් ඉදිරිපිට අග‍්‍රාණ්ඩුකාර ධුරයෙහි වැඩ භාර ගත්තෙමි.  මෙරට උත්සව අවස්ථාව වූ කලී නායකයන් තද  ඕනෑකමකින් බලාපොරොත්තු වූ ලංකාවේ සම්පූර්‍ණ දේශපාලන නිදහස අත්පත් වීම නිමිත්තෙන් මහජනතාවට දිවයින පුරා ප‍්‍රීතිවීමට සංඥාවකි.  තමුන්නාන්සේලාගේ පළමුවන අග‍්‍රආණ්ඩුකාරයා හැටියට මා තෝරා ගැනීම ලොකු ගෞරවයකුත් විශාල වගකීමකුත් ගෙන දෙන්නක් වශයෙන් සලකන්නෙමි.  ඊට කාරණය බි‍්‍රතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය තුළ සහෝදර ජාතීන් අතර සම තත්ත්වයක් ගත් පළමුවන යටත් විජිතය ලංකාව වනවාත් හැර ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ මාර්ගයෙන් හොඳ හිතින් හා අධික සහයෝගයෙන් යුක්තව ඒ තත්ත්වය දිනා ගත් රට ද ලංකාව වන්නේය.

----------------------------------------------------------------------------------------------------------------

  • ග්ලෝස්ටර් ආදිපාදයන් රාජාසන කථාව කරන ලද්දේ බුලර්ස් පාරේ පිහිටි ගොල්ප් පිට්ටනියේදීය.

නිදහස් උත්සව ශාලාව සම්බන්ධයෙන් පුවත්පත් වාර්තාවක මෙසේ පළ වී තිබිණ.

නිදහස් උත්සව ශාලාව

අවස්ථාව සඳහා නියම ජාතික අංග ලක්ෂණයන්ගෙන් යුතුව විශේෂයෙන් තනවන ලද ශාලාවක වේදිකාවේ සිටගන මහරජාණන් වහන්සේ වෙනුවෙන් ග්ලෝස්ටර් ආදිපාද තුමා නිදහස් දිනයේදී ලංකාවට සම්පූර්ණ ඩොමීනියන් තත්ත්වය ප‍්‍රදානය කරනු 18000ක් පමණ වූ ජනකායකට ඇසිය හා බැලිය හැකි වනු ඇත.  ආණ්ඩුවේ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ගෘහ නිර්මාණ ශිල්පී එච්.ඇප්.බිලිමෝරියා මහතාගේ සැලැස්මක් අනුව සාදන ලද මේ ශාලාවේ 6000කට පමණ ආසන පහසුකම් තිබේ. අන්‍යයන්ට හිඳ ගැනීමට ගොඩනැගිල්ල දෙපැත්තේ පිළියෙළ කර ඇත.  ශාලාව පිහිටා තිබෙන්නේ බුලර්ස් පාර සන්ධියේය. (වර්තමාන තුන්මුල්ල හන්දිය)

දෙපැත්තම විවෘත කර ඇති මේ ශාලාවට ඇතුළු වන ප‍්‍රධාන දොරටු තුනක් තිබේ. ඇතුළත හා පිටත පනවන අසුන් 18000න් 2000ක් පාසල් සිසුන් සඳහා වෙන් කර ඇත්තේය.  ශාලාවෙහි ඈත කෙළවරෙහි පිහිටා ඇති වේදිකාව එකකට එකක් උස් මණ්ඩප තුනකින් යුක්ත වෙයි.  එයින් ඉහළම මණ්ඩපය පැරණි රාජාභරණ සඳහාද මධ්‍යම මණ්ඩපය විශිෂ්ට අමුත්තන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරැන් හා සැනෙට් සභිකයන් සඳහාද පිළිවෙළින් වෙන් වනු ඇත. 

පැරණි සිංහල ගෘහ නිර්මාණ ශිල්පය අනුව තනන මේ ශාලාවෙහි ප‍්‍රධාන දොරටුවෙහි මකර තොරණක් වන්නේය. ශාලාවෙහි අභ්‍යන්තර රැලිපාළම්වලින් හා වෙනත් සැරසිලිවලින් අලංකාර කර ඇත.  ඉදිරිපස අංගනයෙහි කොඩි කණු හිටවනු ලැබේ.

----------------------------------------------------------------------------------------------------------------

ගිවිසුම

ලංකාවට නිදහස ලබා දීම සම්බන්ධයෙන් ලංකාව හා බ්‍රිතාන්‍ය අතර 1947 සැප්තැම්බර් මාසයේදී අත්සන් කරන ලද ගිවිසුමට අනුව ත්‍රිකුණාමලයේ නාවුක කඳවුරේ සහ කටුනායක ගුවන් තොටුපොළ තව දුරටත් බ්‍රිතාන්‍යයේ පාලනය යටතේ තබා ගන්නා ලදී.  ඒ අනුව ඒවා බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ බලය යටතේ මෙන්ම බ්‍රිතාන‍්‍ය කොඩිය ලෙළ දුන් ස්ථාන දෙකක් විය. එපමණක් නොව බ්‍රිතාන්‍ය ජාතිකයන්ට නිල වශයෙන් ලංකාවේ රාජ්‍ය සේවයේ යෙදීමටත් ඒ අනුව නියමිත ගෙවීම් ලබා ගැනීමටත් එකඟ වී ඇත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යෙයන් නිදහස ලැබූ වෙනත් රටවල් සමග ගනුදෙනු කිරීමේදී බ්‍රිතාන්‍ය මතයට එකඟ වීමටද මෙම ගිවිසුම ලංකාව පිළි ගෙන ඇත. 

ලංකාවේ පරාධීන සමය

  • ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවති ලංකාවට පැමිණි පළමු යුරෝපීය විදේශීය ආක්‍රමණිකයන් වන්නේ පෘතුගීසීන්ය. ඔවුහු අවුරැදු 150කට අධික කාලයක් ලංකාවේ පහත රට ප්‍රදේශ යටත් කර ගෙන සිටියහ.  1505 දී ලොරෙන්සෝ ද අල්මේදා ගාලු වරායට පැමිණීමෙන් පසු මුහුදු බඩ  පෙදෙස ඔවුන්ගේ පාලනයට යටත් විය. දෙවනුව 1602 දී ලංකාවට පැමිණි ලන්දේසින් පසුව පෘතුගීසීන් පලවා හැර ලංකාවේ මුහුදු බඩ අල්ලා ගත්හ.ඉංග්‍රීසීන් ලංකාව අල්ලා ගන්නේ ලන්දේසීන් පලවා හරිමිනි.  පෘතුගීසීන්ට හා ලන්දේසීන්ට නොහැකි වූ කන්ද උඩ රට අල්ලා ගන්නට ඉංග්‍රීසීන් සමත් වූයේ උඩරට සිංහලයන්ගේ සහය ඇතිවය. 1815 න් පසු ලංකාවම ඉංග්‍රීසි යටත් විජතයක් බවට පත් විය. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යන යටත් විජිත පරාධීන සමයන්හි එම අධිරාජ්‍යවාදීන්ට සිය පාලන කටයුතු මැනවින් කර ගෙන යා හැකි වූයේ විවිධ තාන්න මාන්න හා ප්‍රතිලාභ වෙනුවෙන් උදවු උපකාර කළ ස්වදේශිකයන් නිසාය. එය ඕනෑම යටත් විජිතයක ඇති වූ තත්ත්වයකි.

නිදහසට අර්ථයක්

නිදහස යන වචනයට අර්ථයක් ලැබෙන්නේ වහල් වීම නිසාය. පෘතුගීසී, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතික පාලකයන් විසින් ලංකාව ඒ ඒ අධිරාජ්‍යවල යහපත සඳහා යොදා ගැනීම නිසා ලාංකික දේශීය සංස්කෘතියද, ආර්ථියකද විනාශ විය. මෙම යුරෝපීය ජාතිකයන් සියල්ලම කතෝලික ධර්මය ඇදහූ බැවින් ඔවුන්ගේ එක් ව්‍යායාමයක් වූයේ ලංකාව තුළ කතෝලික ‍ධර්මය පතුරැවා හැරීමයි.  ඔවුහු ඒ සඳහා අධ්‍යාපනය උපක්‍රමයක් ලෙස යොදා ගත්හ.ස්වදේශීය අධ්‍යාපන ක්‍රමය විනාශයට යන්නට හැරි යුරෝපා පාලකයෝ කතෝලික අධ්‍යාපනය මුල් කර ගත් පාසල් පද්ධතියක් රට පුරා ඇති කරන ලදී. එසේම ඔවුන්ගේ ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් දේශීය කෘෂිකර්මාන්තය වෙනස් කළ ඔවුහු කුරුඳු, කෝපි, තේ, රබර් වැනි බෝග වගා කළහ. එම වතුවල සේවය කිරීම සඳහා ඉන්දියානු කම්කරැවන් ගෙන්වා පදිංචි කිරීමෙන් දේශීය ජන ව්‍යුහය ද ඔවුන් විසින් වෙනස් කරන ලද්දේය.

මංමාවත්. දුම්රිය මාර්ග ආදිය බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඉදි කරන ලද්දේ ඔවුන්ගේ වැවිලි කර්මාන්තයේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහාය. මේවායේ කම්කරැවන් ලෙස සේවය කරන ලද ස්වදේශිකයන්ගෙන් වහල් සේවය ලබා ගැනීමට ඔවුහු සමත් වූහ.මෙය ඉතා දීර්ඝ කතාන්දරයකි. මිෂනාරී වරැ යුරෝපීය යටත් විජිත කෙරෙහි මහත් ලැදියාවක් දැක්වූ පිරිසකි. ඔවුහු සියලු යටත් විජිතවල ස්වදේශිකයන් නූගතුන් හා මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙස සැලකූහ. සියලු යටත් විජිතවල ක්‍රිස්තියානු ආගම ප්‍රචලිත කරන ලද්දේ ඒ නිසාය. ක්‍රිස්තියානි ආගම වැලඳගත්තවුන්ට විවිධ සමාජ වරප්‍රසාද මෙන්ම රජයේ රුකියාද ලැබිණි.

නිදහස ලබා ගැනීම සඳහා ස්වදේශීය ජනතාව අරගල කරන්නට පටන් ගත්තේ මේ නිසාය. බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මේ අරගල ඉතා නිර්දය ලෙස පාලනය කළ බව ඓතිහාසික සත්‍යයකි. අවසානයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්  පමණක් නොව ප්‍රංශ, ස්පාඤ්ඤ, පෘතුගීසි, ලන්දේසි වැනි අනෙක් යුරෝපීය ජාතිකයන් විසින්ද සිය යටත් විජිත නිදහස් කරන ලද්දේ ඒවායේ ලාභ ප්‍රයෝජන තව දුරටත් තම රටවලට ලබා ගැනීමට හැකි පසුබිමක් ස්ථාපිත කර ගනිමිනි.  යටත් විජිත රටවල නිදහස පිළිබඳ අර්ථය අප තේරුම් ගත යුත්තේ ඒ අනුවය.

1948 පෙබරවාරි ඩොමීනියන් තත්ත්වය ඉවත් වීම හා ජනරජයක් බිහි වීම

  • 1948 ඩොමීනියන් නිදහසක් ලද ලංකාවේ සැබෑ ස්වාධීනත්වය පිළිබඳ උදාහරණ කිහිපයක් අප විසින් දැන ගත යුතුය. 1971 දී ඇති වූ දේශීය තරුණ කැරැල්ල සම්බන්ධයෙන් නඩු පැවරීමේදී එහි පැමිණිල්ල සකස් වූයේ බ්‍රිතාන්‍ය මහා රාජිනියට එරෙහිව කරන ලද කැරුල්ලක් වශයෙනි.
  • 1948 සිට 1972 දක්වාම ලංකාවේ ඇති වූ අපරාධ නඩු සම්බන්ධයෙන් අභියාචනය කළ හැකි වූයේ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සිලයටය. එය බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයයි.
  • 1948 සිට 1972 දක්වා ම මෙරට අග්‍රාණ්ඩුකාරයා පත් කරන ලද්දේ බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහා රාජිනිය විසිනි.
  • එසේම 1948 සිට 1972 දක්වා ම ලංකා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවන්හි දැක්වෙන්නේ මෙය නෛකශ්‍රීන් විරාජමාන දෙවන එලිසබෙත් රාජනියගේ පාර්ලිමේන්තුවක් බවයි.
  • 1957 දී එවකට පැවති රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ හා ත්‍රිකුණාමලයේ නාවුක කඳවුර රජයට අත්පත් කර ගැනීම මගින් සියලු බ්‍රිතාන්‍ය හමුදා රටින් පිට කරනු ලැබිණි.
  • 1972 ජනරජ ව්‍යවස්ථාව මගින් ලංකාව ශ්‍රී ලංකාව බවට පත් විය. ඒ සමගම බ්‍රිතාන්‍යය සමග තිබූ බැඳීම් සියල්ල ඉවත් වී පූර්ණ නිදහස ලබා ගන්නා ලදී.

බ්‍රිතාන්‍ය ජාතිකයන් සතුව තිබූ තේ වතු, රබර් වතු ආදිය හඳුන්වන ලද්දේ රන් පවුම් වතු ලෙසිනි. ඒවායේ අයිතිය තිබුණේ බ්‍රිතාන්‍ය හෝ වෙනත් යුරෝපා ජාතීන්ටය. ඒවා  රජයට පවරා ගන්නා ලද්දේ 1970 න් පසුවය. දැනට පවතින රාජ්‍යවැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය ආදිය යටතේ එම වතු අද වන විට දේශීය හිමිකරැවන් යටතේ පවත්වා ගෙන යනු ලැබේ. 

         ( පාසලේ ඉතිහාසය පෙළ පොත් මගින් ඉදිරිපත් කර ඇත්තේ විභාග සඳහා පිළිතුරු ලිවීමට අවශ්‍ය කරුණුය.  ඉතිහාසයේ සැබෑ අර්ථ කථනය එයට වඩා  වෙනස්ය. ඔබ ඉගෙන ගත යුත්තේ ඉතිහාසය පාඩම් කිරීමට නොව ඉතිහාසයට අර්ථ කථනයක් ලබා දීමටය.)

ආචාර්ය බන්දුල පී. දයාරත්න