ස්ථාන

අවුකන ප්‍රතිමාව

2018 දෙසැම්බර් 11 වැනි අඟහරුවාදා - 58  

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැව අසල අවුකන ග්‍රාමයේ සුවිසල් ගල් කුලක ප්‍රතිමාව නෙළා ඇත. අවුකන ප්‍රතිමාව නිර්මාණය කරන ලද කාලය පිළිබඳ නිශ්චිත එකඟත්වයක් නොමැත. එහෙත් වඩාත් පිළිගැනීමට ලක්ව ඇත්තේ පස්වැනි සියවසෙහි ධාතුසේන රජතුමන් විසින් කරවන්නට ඇති බවයි. 
ධාතුසේන රජුගේ කාලසේල ප්‍රතිමාව
කලා වැව අසල ධාතුසේන රජු  විසින් කරවූ කාලසේල නම් ප්‍රතිමාවක් පිළිබඳ මහාවංශයේ සඳහන් වෙයි. මෙම අවුකන ප්‍රතිමාව එය විය හැකි බවට ඉතිහාසඥයන් මත පළ කරති. මහායාන බලපෑම නිසා මේ අවධියේ ප්‍රතිමා වන්දනය ඉතා ජනප්‍රියව පැවති බවට තොරතුරැ ලැබේ. රළු කළු ගල් පර්වතයක මූණතක සිරස් අතට නෙළා ඇති පිළිමය එහි පිටුපස ඉතිරි කරන ලද පටු තීරයකින් ගල හා සම්බන්ධ වෙයි. මෙතරම් විශාල ප්‍රතිමාවක් ඇද නොවැටෙන සේ පටු ගල් තීරැවකින් රඳවා තබා ගැනීම විශේෂත්වයක් ගනී. පිළිමයේ ඉදිරිපස මෙන්ම පසුපසද සම්පූර්ණ වන සේ නිර්මාණය කර ඇත. පූර්ණ උන්නතව නෙළා ඇත. ප්‍රතිමාව නැගෙනහිර දෙසට මුහුණලා සිටී. 
අමරාවතී කලා ලක්ෂණ 
ප්‍රතිමාවේ උස අඩි 38 අඟල් 10කි. ඉතා සියුම්ව පොරවා ඇති වීවරය තුළින් ශරීරාංග මනා සේ ඉස්මතු කොට දක්වා ඇත. සිවුර ඒකාංශ කොට පොරවා ඇත. වම් අතින් සිවුරැ රුල්ල අල්ලා සිටී. දකුණතින් අභය මුද්‍රාව දක්වයි. දෙනෙත් අඩවන්ය. මුහුණ අණ්ඩාකාරය. මෙම ප්‍රතිමාවෙන් අමරාවතී කලා ලක්ෂණ පිළිබිඹු වන බවට කලා විචාරකයෝ මත පල කරති. නළල මත දකුණතට කැරකී ගිය ඌර්ණරෝම ධාතුව විශේෂත්වයක් ගනී. පද්මාසනයක් මත වැඩ හිඳී. ප්‍රතිමාවේ හිසට වැටෙන වතුර නාසය දිගේ ගලා විත් දෙපතුල් අතරට වැටෙන්නට සැලැස්වීමෙන් ශිල්පියාට මාධ්‍ය හැසිරවීමට තිබූ දක්ෂතාව මැනවින් විදහා දක්වයි. සිරසේ ඇති සිරස්පත මහනුවර යුගයේදී එක් වූවක් ලෙස සැලකේ.
ප්‍රතිමා ගෘහයක්
ප්‍රතිමාවේ ආරක්ෂාව සඳහා අතීතයේ දැවයෙන් තැනූ ප්‍රතිමා ගෘහයක් ඉදි කර තිබූ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයයි. ඒ අනුව එය 8, 9 සියවස් වලදී ඉදිකර තිබූ බවට ශිලාලේඛනයක් ඇසුරින් පෙන්වා දෙයි. 
දේව ප්‍රතිමා
අවුකන ප්‍රතිමාවේ පාදය යට ස්වාභාවිකව සෑදුණු ගුහාවක් තුළ තිබී දේව ප්‍රතිමා පහක් හමු වී ඇත. එම ප්‍රතිමා ඉන්ද්‍ර, බ්‍රහ්ම, වරැණ, යම හා කුවේර යන දෙවිවරැන්ගේ බව සෙනරත් පරණවිතාන මහතාගේ මතයයි. ප්‍රතිමා තැන්පත් කිරීම මඟින් බුදුන්වහන්සේගේ දේවාතිදේව, බ්‍රහ්මාතිබ්‍රහ්ම, ආදී ගුණාංග ඉස්මතු කිරීමට උත්සාහ දරා ඇත. මෙම දේව ප්‍රතිමා ලෝහයෙන් කර ඇත. එම ප්‍රතිමා අවුකන ප්‍රතිමාවේ පාදය යට තැබීමෙන් මෙම සුවිසල් ප්‍රතිමාව දීපංකර බුදුන්වහන්සේගේ ප්‍රතිමාවක් බවට කියාපාන බව ඇතැමුන්ගේ මතයයි. 
දස බලධාරී, දෙතිස් මහා පුරැෂ ලක්ෂණ, අශීත්‍යනුව්‍යඤ්ඡනවලින් යුක්තව ලෝකෝත්තර ස්වභාවය පෙන්නුම් කරයි. ප්‍රතිමාවේ දක්නට ලැබෙන සියුම් කලාත්මක ලක්ෂණ මෙන්ම ශිල්පීය නිපුණත්වය නිසාම ලෝකයේ අන් කවර හෝ ප්‍රතිමාවකට නොදෙවෙනි තත්ත්වයක් උසුලයි. 

දින පොත