ස්ථාන

රිදී විහාරයේ සිතුවම්

2018 දෙසැම්බර් 12 වැනි බදදා - 81  

කුරැණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රිදීගම ග්‍රාමයේ මෙම රිදී විහාරය පිහිටා ඇත. 
රාජ්‍ය අනුග්‍රහය
රිදී විහාරය පිළිබඳ ඓතිහාසික කථාවට අනුව දිනක් ගැල් වෙළඳාමේ ගිය වෙළෙන්දෙකුට විහාරයේ ලෙනක් තුළ ඇති රිදී වැලි දැකගත හැකි විය. ඔහු ඒ ගැන දුටුගැමුණු රජුට පැවසූ විට රජු ඒ පුවත අසා සතුටු වී එම වැලිවලින් රැවන්වැලිසෑය නිර්මාණය කොට මෙම ස්ථානයේද විහාරයක්  කරවීය. එතැන් පටන් මෙම ස්ථානය &රජත ලෙන* ලෙස ප්‍රසිද්ධ වී ඇත. රිදී විහාරය රජමහා විහාරයක් ලෙස ප්‍රසිද්ධියට පත් වන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේදීය. 
ප්‍රධාන කොටස් තුනකි
රිදී විහාරයේ නටබුන් ප්‍රධාන කොටස් තුනකි. එනම්, මහා විහාරය, උඩ විහාරය හා වරකා වැළඳූ විහාරය යනුවෙනි. මෙකී ස්ථාන තුනෙහිම ගල් ගුහා ඇත. මෙහි විහාරාංග අතරින් පැරණිම අංගය වන්නේ මහා විහාරයයි.
සිතුවම්
රිදී විහාරයේ ප්‍රධාන තැන ගන්නේ මහා විහාරයයි. විශාල උස් ගල් ලෙනක් යට පිහිටා ඇත. ගලේ යටි පැත්තේ සිතුවම් ඇඳ ඇත. විහාරයට ඇතුළුවන දොරටුවට ඉහළින් මකර තොරණකි. එහි පහළ යටි පැත්තේ මාර යුද්ධය දක්වා ඇත. රිදී විහාරයේ සිතුවම් වැඩිපුරම දක්නට ඇත්තේ මහා විහාරයට උඩින් ඇති උඩ විහාරයේය.  විහාරය ඇතුළේ ඇති සිතුවම් මහනුවර යුගයේදී නිම කර ඇත. මහනුවර සම්ප්‍රදායේ බිතු සිතුවම් දක්නට ඇති විහාරස්ථාන අතුරින් රිදී විහාරය විශේෂත්වයක් ගනී. මෙහි සුවිශේෂී සිතුවම  වන්නේ ජේසු චරිතය විදහාපාන සිතුවමයි.
දෙවන සතිය
උඩරට ශිල්පියා සිතුවම් සඳහා තේමා කර ගත්තේ ජාතක කථා, බුද්ධ චරිතයේ සිද්ධි හා ඓතිහාසික සිද්ධීන්ය. එනමුත් රිදී විහාරයේ ජාතක කථා එකක්වත් ඇඳ නොතිබීම විශේෂත්වයක් ගනී. සත්සතිය, සොළොස්මස්ථාන, සූවිසි විවරණය, සත්ව රෑප ඒ අතර වෙයි. සත්සතියේ දෙවන සතිය දැක්වෙන සිතුවම අගනා සිතුවමකි. මෙහි බුදුන්වහන්සේගේ හස්තයෙන් දැක්වෙන මුද්‍රාව දුර්ලභ ගණයේ එකකි. 
පරම්පරා දෙකක්
සිත්තම් කර ඇති සත්ව රෑ අතර සිංහ රෑ දෙකකි. එකක් පසකට හැරී සිටී. මෙම සිංහයා ඉදිරි පය ඔසවා ගෙන සිටී. මුඛයේ මල් ඉත්තකි. අනෙක් සිංහ රැව ත්‍රි සිංහ රැව ලෙස හඳුන්වයි. ත්‍රි සිංහ රැවේ තිදෙනාටම ඇත්තේ එක් මුහුණකි. වෘෂභ කූඤජරය හා නවනාරී කුඤජරයද දර්ශනීය සිතුවම්ය. රිදී විහාරයේ උළුවස්සේ ඉතා දර්ශනීය ඇත් දත් කැටයම් දක්නට ලැබෙයි. ශිල්පීය පරම්පරා දෙකක් මෙම විහාරයේ චිත්‍ර ඇඳ ඇත. මුල්ම සිතුවම් ඇඳ ඇත්තේ දෙවරගම්පොළ සිල්වත් තැන නම් භික්ෂූන් වහන්සේ විසිනි. පසු කලක නීලගම පරම්පරාවේ ශිල්පීන් විසින් එම කාර්යය අවසන් කර ඇත.

දින පොත