අලුත් පොත්

පොලොන්නරුවේ ඓතිහාසික තොරතුරු

2018 දෙසැම්බර් 13 වැනි බ්‍රහස්පතින්දා - 90  

සිංහලයන් ලෙස අප ආ ගමන් මඟේ සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට පොලොන්නරැ රාජධානි සමය සමත් වෙයි. එදා එම රාජධානි සමයේ තිබූ ප්‍රෞඪත්වය අදටත් කියා පෑමට පොලොන්නරැ ඇතුළු නගරයේ මෙන්ම පිටත නගරයේ ඉතිරිව පවතින නටබුන් උත්සාහ දරයි. මේ පොලොන්නරැවේ තිබෙන එවන් පෞරාණික ස්ථාන කිහිපයක් ගැනයි. 

පරාක්‍රමබාහු රජ මාලිගය


පොලොන්නරැව අගනගරය කර ගනිමින් රාජ්‍යත්වයට පත් 1 වන පරාක්‍රමබාහු රජුගේ මාලිගය මෙයයි. විජයොත්පාය, වෛජයන්ත ප්‍රාසාදය ආදි නම්වලින් හඳුන්වනු ලැබූ මෙම මාලිගය අතීතයේ සශ්‍රීකව පැවති බව මූලාශ්‍ර මඟින් පැහැදිලි වෙයි. එසේම මෙය මහල් සතකින් යුක්ත වී ­­­­­­යැයිද වංශකථා අනාවරණය කරයි. මහාවංශයේ සඳහන් ආකාරයට එය හත් අවුරැදු සත් මසකින් තනා නිම කළ බව ද එහි කාමර දහසක් වූ බවද දැක්වෙයි. මාඝගේ ග්‍රහණයට පත් වීමත් සමග එහි තිබූ වස්තුව කොල්ලකා එය විනාශ කොට ගිනිබත් කළ බව ද දැක්වෙයි. දැනට ශේෂව පවතින දැවී ගිය බිත්ති කොටස් මේ බව තහවුරැ කරයි. මාලිගය තැනීමට අමුද්‍රව්‍ය වශයෙන් භාවිත කොට ඇත්තේ ගඩොල්, දැව හා කළු ගල්ය. ඉහළ මහල් තැනීමේදී දැව භාවිත කොට ඇත. පහත මාලයේ දොර උළුවහු තබා ඇත්තේ ඉදිරි දොරෙන් ඇතුළු වූ පසු එක එල්ලේම පසුපස දොරෙන් පිටවිය හැකි පරිදිය. සතුරැ ආක්‍රමණයකදී පහසුවෙන් පිටවිය හැකි වන සේ  ආරක්ෂක උපක්‍රමයක් ලෙස මෙය යොදා ඇත.

රාජ සභා මණ්ඩපය

මහා පරාක්‍රමබාහු රජ මාලිගයට නැගෙනහිර දෙසින් පිහිටා ඇත. මෙම ගොඩනැගිල්ල පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය මන්ත්‍රණ සභාව ලෙස සලකයි. මාලක වශයෙන් කොටස් තුනකින් යුක්තය. මෙහි ඇතුළත ඉඩකඩද ඉතාමත් සීමිතය. ගල් කුලුනු පෙළ විසිතුරැ කැටයමින් සරසා ඇත. එක පෙළට කණු දොළසකි. ප්‍රධාන දොරටුව දෙපස සිංහ රෑ තනා ඇති හෙයින් එය රජු පිවිසෙන ද්වාරය විය හැකියයි මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මත පළ කරයි. ඒ. එම් හෝර්කාට් හා පරණවිතාන යන මහත්වරැන් විසින් සිදු කරන ලද පර්යේෂණ වලදී මෙහි පාදමේ තිබී චීන කාසි කිහිපයක් හා 10-12 සියවස්වලට අයත් ශිලා‍ලේඛන කිහිපයක්ද සොයා ගෙන ඇත.
 

දින පොත