ස්ථාන

අටදාගෙය, හැටදාගෙය

2018 දෙසැම්බර් 24 වැනි සඳුදා - 90  

පොලොන්නරැවේ පවතින පෞරාණික ස්ථාන කිහිපයක් පිළිබඳව පසුගිය කලාපයේදී අප සාකච්ඡා කළෙමු. මෙවර කලාපයෙනුත් අප අවධානය යොමු කරන්නේ එවන් පෞරාණික ස්ථාන දෙකක් පිළිබඳවයි.
අටදාගෙය


පොලොන්නරැව අගනගරය කොටගත් පළමුවන විජයබාහු රජු විසින් සිය මාලිගයට නුදුරින් පිටත නගරයෙහි කරවන ලද දළදා මාලිගය මෙනමින් හඳුන්වයි. පොලොන්නරැවේ දක්නට ලැබෙන ඉපැරණිම බෞද්ධ ගොඩනැගිල්ල මෙයයි. එකල  දළදා මාලිගය මහල් දෙකකින් යුක්ත විය. වර්තමානය වන විට දක්නට හැක්කේ ගල් කණු කිහිපයක් පමණක් ඉතිරිව පවතින නටබුන් වූ ගොඩනැගිල්ලකි. දළදා මාලිගය දිගින් අඩි 75ක් හා පළලින් අඩි 45 ක් පමණ වෙයි. බිම් මහල ප්‍රතිමා මන්දිරයක් වශයෙන් පැවතී ඇත. ධාතූන් වහන්සේලා තැන්පත් කොට තිබෙන්නේ උඩුමහලෙහිය. ඒ  බව ඉහළ මාලයට නැගීමට ආධාර කොට ගත් පියගැට පෙළෙන් පෙනී යයි. ධාතූන් වහන්සේලාගේ ආරක්ෂාවට වේලයක්කාර නම් ද්‍රවිඩ කුලී හමුදාවක්ද යොදා දළදා වහන්සේ උදෙසා කළ යුතු වත්පිළිවෙත් ආදිය ඔවුන් ලවාම නිතිපතා සිදු කොට ඇත. ධාතූන් වහන්සේලා පිළිබඳව තොරතුරැ ඇතුළත් සෙල් ලිපියක් ද්‍රවිඩ අක්ෂරයෙන් ලියා ඒ ආසන්නයේම පිහිටුවා ඇත.    
අටදාගෙයි ගල් කුලුනු මනහර කැටයමින් යුක්තය. මින් කණ්ටක චෛත්‍යයේ වාහල්කඩ ටැම් කැටයම් සිහිපත් කරයි. මෙහි විසිතුරැ කැටයමින් යුතු එක් ගල් ටැඹක් දක්නට ඇති අතර එහි පුන්කළසකින් විහිදෙන කල්ප ලතාවක් බඳු කැටයමක් දක්නට ඇත. 
 ගොඩනැගිල්ල ඉදිරිපස සඳකඩපහණකි. පොලොන්නරැ යුගයේදී සඳකඩපහණෙන් ගවයා ඉවත් වුවද මෙම සඳකඩපහණෙහි ගව රැව කැටයම් කොට තිබීම විශේෂත්වයක් ගනී. මෙයින් පෙනී යන්නේ පොලොන්නරැවේ හින්දු බලපෑම් ඇති වීමට පෙර මෙය නිර්මාණය කොට ඇති බවයි. ගර්භ ගෘහය තුළ අඩි 9 ක්පමණ උසින් යුතු වූ හිටි බුද්ධ ප්‍රතිමාවකි. මෙම ප්‍රථිමාව අනුරාධපුර යුගයේ නිර්මිත බුද්ධ ප්‍රතිමාවලට සමානත්වයක් දක්වයි. 

හැටදාගෙය


විජයබාහු රජුගේ අටදාගෙයටත්, පරාක්‍රමබාහු රජුගේ වටදාගෙයටත් නැගෙනහිරින් හා උතුරින් හැටදාගෙය පිහිටා ඇත. නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද දළදා මාලිගය හැටදාගෙය ලෙස හඳුන්වයි. නිශ්ශංකමල්ල රජු පොලොන්නරැවේ අභිෂේක ලැබූ පසු පුලස්ති පුරවරයේ රමණීය සෙල්මුවා ධාතුඝරයක් ඉදිකළ බව මහාවංශයේ සඳහන් වෙයි. නිශ්ශංකමල්ල රජු සැට පැයකින් පොලොන්නරැ නගරයේ ශෛලමය දළදා ගෙයක් කර වූ බව රාජාවලියේ, පූජාවලියේ, දළදා සිරිතෙහි හා ඔහු විසින් කරවන ලද ගල්පොත සෙල්ලිපියෙහිද දැක්වෙයි.  අටදාගෙය මෙන්ම දෙමහල්ව ඉදිකරන ලද්දකි. මෙහිද උඩුමහලෙහි ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සිදු කළ අතර පහත මාලය ප්‍රතිමා මන්දිරයක් වශයෙන් භාවිත වී ඇත. 
ගොඩනැගිල්ලෙහි ඉදිරිපස දෙපස ගලින් නිම කළ පුන්කළස් දෙකක් පැවති බව දැනට ඉතිරිව පවතින පුන්කළසක් සාක්ෂි දරයි. උඩුමහලට යෑම සඳහා ඉදිකරන ලද පියගැට ‍ෙපළෙහි අවශේෂයන් තවමත් මෙහි ඉතිරිව පවතී. ගොඩනැගිල්ලේ පිටත බිත්ති හංස පංති මඟින් සරසා ඇත.   

 

දින පොත