පුවත්

සිරිසඟබෝ රජු හිස දන්දුන් ස්ථානය රාජාංගණය හත්ථිකුච්චි විහාරයයි

2019 මාර්තු 15 වැනි සිකුරාදා - 47  

වසර සිය ගණනක් මෙරට පැවැති ඓතිහාසික පුවතක් සාවද්‍ය බවට පත් කරමින් සිරිසඟබෝ රජු හිස දන්දුන් ස්ථානය රාජාංගණය හත්ථිකුච්චි විහාරය බවට අංගසම්පූර්ණ පර්යේෂණයකින් සාධක සහිතව සනාථ කළ බව අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය ඊයේ (14දා) අනාවරණය කළේය.

මේ දක්වා ජනප්‍රවාදයේත්  ඓතිහාසික ලේඛනවලත් සඳහන් පරිදි විශ්වාස කර තිබුණේ ක්‍රිස්තු වර්ෂ තුන්වැනි සියවසේ  අනුරාධපුර රජ කළ සිරිසඟබෝ රජු මගියාට හිස දන්දුන් සුප්‍රකට කතාවේ සඳහන් ස්ථානය ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ලයි. 

වසර 2013දී නව පර්යේෂණ සඳහා අවධානය යොමු කළ භික්ෂු විශ්වවිද්‍යාලය මේ වනවිට එහි සේවය කරන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරිය ලගමුව මහතාගේ මූලිකත්වයෙන්  හත්ථිකුච්චි විහාරය ආශ්‍රිතව එතෙක් අනාවරණය කරගෙන නොතිබූ සෙල්ලිපි 68ක් අධ්‍යයනය කිරීමට පර්යේෂණයක් ඇරඹූ බවත් එම පර්යේෂණය අවසානයේ මෙලෙස ඉතිහාසයේ ප්‍රබල පුවතක් වෙනස් කිරීමට හැකි වූ බවත් බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයේ උපකුලපති (මහෝපාධ්‍ය) මහාචාර්ය වරදිවෙල විජයසුමන නාහිමියෝ ප්‍රකාශ කළහ. 

එම පර්යේෂණයට අදාළව රචිත ‘‘රාජාංගණ හත්ථිකුච්චි පබ්බත විහාරය සහ සිරි සංඝබෝධි බෝධිසත්ව‘‘ ග්‍රන්ථය එළිදැක්වීම නිමිත්තෙන් එම විශ්වවිද්‍යාලයේ ඊයේ (14දා) පැවැති විශේෂ උත්සවයේදී උන්වහන්සේ මේ බව අනාවරණය කළහ.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය ආරිය ලගමුව මහතා,
‘‘මෙතෙක් අධ්‍යයනය නොකළ සෙල්ලිපි 68ක් සම්බන්ධයෙන් අපි පර්යේෂණ සිදු කළා. තපස් රකින සිරිසඟබෝ රජු හත්ත වනගල්ලේදී හිස දන්දුන් බවත් පසු කාලයේ එම ස්ථානයේ ගෝඨාභය රජු විහාරස්ථානයක් කරවූ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා.

මේ හත්ත වනගල්ල නිට්ටඹුව ප්‍රදේශයේ අත්තනගල්ල කියා තිබූ අපහැදිලි මතය මතය මෙම පර්යේෂණයෙන් බැහැර වෙනවා. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්වැවේ විමලඛන්ථි හිමියන් හා තවත් ආචාර්ය දෙනමක් ද ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් ද සමග වසර දෙකකට අධික කාලයක් මෙම සෙල්ලිපි පර්යේෂණය සිදු කළා.

පසුව සෙල්ලිපි පරීක්ෂාවෙන් එහා ගිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළා. ඒත් වැඩි කාලයක් ගියේ ග්‍රන්ථය මුද්‍රණය සඳහා. මෙම සෙල්ලිපි වලින් ද, කුරුටු රූප, කුඩා සෙල් පුවරු පාරිසරික සාධක හා බොහෝ වෙනත් සාධක ඔස්සේ අපි මෙම නිගමනයට පැමිණියා.මහාචාර්යවරයා සමග මෙම ග්‍රන්ථය රචනා කිරීමට එක්වූ විමලඛන්ථී හිමියෝ මෙසේ පැවසූහ.

 "මෙම පර්යේෂණයෙන් සැබෑ හත්ථිකුච්චි විහාරය හඳුනා ගැනීමට අමතරව මෙතෙක් පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ ආන්දෝලනාත්මක වූ භාෂා ව්‍යවහාරයන් කිහිපයක් ද ගොඩනැගිලි ඉදිකිරීම් ගැන තිබූ වැරදි අදහසක් ද නිවැරදි කරගැනීමට හැකිවූවා. වහරල‘ නම් වචනයක් විවිධ තේරුම් සහිතව මෙතෙක් භාවිත වී ඇති අතර සෙනරත් පරණවිතාන සූරීන් පවා නිසි ලෙස නිර්වචනය කර නොතිබූ එම වචනයේ තේරුම විහාරස්ථානවල සලාක ප්‍රදානය ලෙස හඳුනා ගත්තා.

එමෙන්ම හත්ථිකුච්චි විහාරයේ ද ඇති ඕවලාකාර ගොඩනැගිල්ල අයත් වර්ගය මෙතෙක් හඳුනාගෙන තිබුණේ ‘හේවිසි මණ්ඩපය‘ ලෙස වුවත් එය  ‘ධම්ම සංඝනී ගෘහ‘ ලෙස නිවැරදි නිර්වචනයකට නගන්නට හැකි වූවා." මෙම අවස්ථාවට බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයේ හිටපු උපලකුලපති තුඹුල්ලේ ශීලක්ඛන්ධ නාහිමි ප්‍රමුඛ ශික්ෂු විශ්වවිද්‍යාලයේ පීඨාධිපති හා අංශාධිපති හිමිවරුන් ද, සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන ගාමිණි අධිකාරි, එච්.එම්.ඩී.ආර්.හේරත් හා මහාචාර්ය තුසිත මැන්දිස් මහත්වරු ද ශිෂ්‍ය හිමිවරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ. 

රඹෑව මනුල වික්‍රම

දින පොත