ස්ථාන

දැදිගම කොටවෙහෙර

2019 අප්‍රේල් 18 වැනි බ්‍රහස්පතින්දා - 45  

නෙළුම්දෙණිය ගලපිටමඩ මාර්ගයේ ගිය විට මෙම ඓතිහාසික වටිනාකමින් යුත් ස්ථානයට ළඟා විය හැකිය. දැදිගම ග්‍රාමයේ මෙම කොට වෙහෙර පිහිටා ඇත. අතීතයේදී දැදිගම් පුරය පුංඛගාම ලෙස වංසකථාවල හඳුන්වා ඇත.
සූතිඝර දාගැබ


දැදිගම කොට වෙහෙර අනුස්මරණ දැගැබක් ලෙස සැලකේ. මෙම ප්‍රදේශය පළමුවන පරාක්‍රමබාහු රජුගේ ජන්ම භූමිය ලෙස හඳුනාගෙන ඇත. එතුමා උපන් තිඹිරිගෙය තිබූ ස්ථානයේ ඉදිකළ සූතිඝර දාගැබ වර්තමානයේ දැදිගම කොටවෙහෙර ලෙස ප්‍රසිද්ධව ඇත. මෙම දාගැබ ඉදිකළ ස්ථානයේ ඊට වඩා පැරණි කුඩා දැගැබක් තිබී හමු වී ඇත. සූතිඝර දාගැබ ඉදිකිරීමේදී එය ඉවත් කොට නැත. පසින් වැසී ගිය මෙම ස්මාරකය කුඩා ස්තූපයක් කේන්ද්‍ර කර ගනිමින් අර්ධ ගර්භයෙන් යුක්තව වෙහෙරක ස්වරෑපයෙන් ගොඩනගා ඇත. 
පුරාවස්තු රුසක් 


වර්ෂ 1951 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් ආචාර්ය චාල්ස් කොඩකුඹුර මහතාගේ ප්‍රධාන ත්වයෙන් සිදු කරන ලද පර්යේෂණ කැණීම් මඟින් මෙම වෙහෙරෙහි කරැණු රුසක් අනාවරණය කර ගෙන ඇත. සිදු කරන ලද කැණීම්වලදී ධාතු ගර්භ දෙකක් හමු වී ඇත. එම ගර්භ තුළ තිබී වටිනා පුරාවස්තූන් රුසක් හමු වී ඇත. ධාතු කරඬුවක්, රත්තරන් තහඩුවලින් කරන ලද කුඩා බුද්ධ ප්‍රතිමා රාශියක් සහ චිර ප්‍රසිද්ධියට පත් දැදිගම ඇත් පහන ද හමු වී ඇත්තේ මෙම පුරාවස්තු අතර තිබීයදීය. 
දැදිගම ඇත් පහන 


මෙම ස්ථානයෙන් හමු වූ පුරාවස්තු අතර ඉතා වැදගත් වන්නේ දැදිගම ඇත් පහන නමින් හඳුන්වන පහනයි. මෙවැනි පහන් දෙකක් මෙහි තිබී හමු වී ඇත. මෙය වායු පීඩන තාක්ෂණයෙන් ක්‍රියා කරන ලෝකඩ පහනකි.පහන කොටස් කිහිපයකින් යුක්තය. එහි ඉහළ සිට පහළට පිළිවෙළින් එල්ලීමට භාවිතයට ගන්නා ලද නයි පෙණයක හැඩැති කොක්ක, බෙරවයන්නන්ගේ හා නැට්ටුවන්ගේ රැව සහිත පහන එල්ලා තැබිය හැකි දම්වැලකි. පිරිපුන් ඇත් රැව මත අලංකාර කැටයම් සහිත මකර තොරණකි. තෙල් ගබඩා කර ඇත්තේ ඇතාගේ කුස තුළය. ඇතාගේ කුසට තෙල් පුරවා ඇත්තේ ඉදිරි පාදයේ වූ නළයකිනි.වර්තමානය වන විට මෙම පහන් දෙකින් එකක් කොළඹ කෞතුකාගාරයේද, අනෙක දැදිගම කොටවෙහෙර අසල පුරාවිද්‍යා කෞතුකාගාරයේද තැන්පත් කොට ඇත. 

උපේක්ෂා මුණවීර
ඡායාරෑප - රැෂිරැ තරංග

දින පොත