ලොව වටා

පුරාවිද්‍යාවට තාරකාවක් වූ මාතර තාරකා කොටුව

2019 අප්‍රේල් 18 වැනි බ්‍රහස්පතින්දා - 76  

දකුණු පළාතේ ප්‍රධාන නගරයක් වූ මාතරට යන කෙනෙකුට නිල්වලා ගඟ අසබඩ පිහිටි පැරණි ලන්දේසි තාරකා කොටුව දකින්නට හැකි වෙයි. එය සැබවින්ම මාතරට අලංකාරයකි. ලංකාවේ කොතැනක හෝ නොමැති ආකාරයෙන් මාතර තාරකා කොටුව ලන්දේසින් විසින් ඉදි කරන ලද්දේ ක්‍රි.ව 1763 දීය. ඒ මෙයට ශතවර්ෂ දෙකහමාරකට පෙරය. මෙම කොටුව මුලින්ම හඳුන්වා ඇත්තේ රඩුට් වන් එක් බලකොටුව යන නමිනි. මෙය තාරකා කොටුව යනුවෙන් හඳුන්වනුයේ එහි ගොඩනැගිලි සැලැස්ම තාරකාවක් ලෙසින් ඉදි කර ඇති නිසාය. එසේම මෙය සාමාන්‍ය බලකොටුවකට වඩා කුඩාය. නිල්වලා ගඟට ඔබ්බෙන් ඇති ප්‍රධාන ලන්දේසි බලකොටුවේ ආරක්ෂාව සඳහා මෙම තාරකා කොටුව ඉදි කර ඇති බව සැලකේ.  
තාරකා කොටුව ඉදි කිරීම
පෘතුගීසීන්ගෙන් පසුව ලංකාවේ මුහුදුබඩ පෙදෙස් අල්ලා ගන්නා ලද්දේ ලන්දේසින් විසිනි.  කොළඹ කොටුව 1508 දී පෘතුගීසීන් විසින් ඉදි කරන ලද අතර, මාතර බලකොටුව ඉදිකරන ලද්දේ ක්‍රි.ව 1550 දීය. 1658 දී පෘතුගීසි බලය යටත් කොට ලන්දේසීහු මුහුදුබඩ පාලනය අල්ලා ගත්හ. මාතර මුහුදට මායිම්ව ඇති ප්‍රධාන බලකොටුවට රට තුළින් ප්‍රහාර එල්ල වීම වැළැක්වීම සඳහා නිල්වලා ගඟ ඉවුරේ තවත් කුඩා බලකොටුවක් ඉදිකිරීම අවශ්‍ය බව ලන්දේසි පාලකයෝ කල්පනා කළහ. එහි ඉදි කිරීම් භාරව කටයුතු කළේ ප්‍රාදේශික පාලකයකු වූ ඔරැකෙම මුහන්දිරම්ය.  
තාරකා කොටුවේ සැලැස්ම
කොන් හයේ තාරැකාවක හැඩය සහිතව කොටුව නිර්මාණය කර ඇත. එක් එක් කොනක විශාල කාල තුවක්කු දෙක බැගින්  කාලතුවක්කු 12ක් සවි කර තිබී ඇත.  මුළු කොටුවම මීටර තුනකට වැඩි ගැඹුරකින් යුතු දිය අගලකින් වට වී ඇත.  එහි පළල මීටර හයකි. ආරක්ෂාව සඳහා එහි යකඩ උල් සවි කර තිබූ බවත්, කිඹුලන් සිටි බවත් කියැවේ.  දිය අගල පිටත ප්‍රාකාරයකින් ආරක්ෂා කර ඇත. එසේම කොටුවේ බැම්ම ඉහළට ඉදි කර තිබිණි.  කොටුවට පිවිසිය හැක්කේ එක් දොරටුවකින් පමණි. 
කාල තුවක්කු කවුළු 
කොටුවේ ප්‍රාකාර බැම්මේ කොන් හයේම කවුළු 12ක්  තිබේ. එම කවුළුවලින් කොටුව වටේ සෑම පැත්තක්ම බැලිය හැකිය.  එක් කවුළුවක ඇතුළු පැත්ත මීටරයක් පමණද, පිට පැත්ත මීටර තුනක් පමණද වේ. ඒවායේ ගැඹුර මීටර තුන හමාරක් පමණ වේ. මේ සෑම කවුළුවකටම විශාල කාල තුවක්කුවක් සවි කර තිබී ඇත. ඒ මගින් තාරකා කොටුව ඉතා දැඩිව ආරක්ෂාකර තිබී ඇත. ප්‍රධාන පිවිසුමෙන් ඇතුළු වූ පසු කොටු බැම්ම දිගේ ඇවිද යා හැකිය. 
ඇතුළත සැලැස්ම
ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූ පසු දෙපස ඇත්තේ සොල්දාදුවන්ගේ කාමර හා ගබඩා කාමරයි.  මේ ආකාරයෙන් මැද මිදුලක් ඉතිරි වන සේ කොටු බැම්ම වටේට යන සේ කාමර ඉදි කර ඇත. මැද මිදුලේ ළිඳක් ඇති අතර එහි විෂ්කම්භය මීටර තුනක් පමණ වේ. එසේම මැද මිදුලට හා ඒ අවට වේදිකාවලින් ගලා එන වැසි ජලය පිටතට ගලා ගෙන යෑම සඳහා භූගත ජලාපවහන ක්‍රමයක්ද සකසා තිබී ඇත.  කොටුව තුළ සිර මැදිරි දෙකක්ද තිබී ඇත.  
දැව පාලම
කොටුවට පිවිසිය හැක්කේ දකුණු දිශාවට යොමුව සාදා ඇති දැව පාලමකිනි. එය කොටස් දෙකකින් යුක්තය.  එහි එක් කොටසක් ස්ථාවරව ඇති අතර, එක් කොටසක් හැකිළිය හැකිය. පිවිසුම් දොරටුවේ ඉහළ ඇති ලීවරයක් මගින් මෙම පාලම හකුළන අතර, එවිට කොටුවේ දොරටුව වැසී යයි. ඒ නිසා දිය අගලෙන් කිසිවකුට ඇතුළු විය නොහැකිය. මෙය එකල යොදා ගත් ඉතා ආරක්ෂිත යාන්ත්‍රික පිවිසුමකි. 
ලන්දේසි ලකුණු
කොටුවේ පිවිසුම් දොරටුවේ ආරැක්කුවේ ලන්දේසි පෙරදිග ඉන්දියානු සමාගමේ ලාංජනය වූ VOC යන්න දැක්වේ. ඊට  පහළින් දැක්වෙන්නේ Redoute Van Eck (රඩුට් ෆන් එක් බලකොටුව) යන්නයි.  එය එකල සිටි ලන්දේසි ආණ්ඩුකාරයාගේ නමයි.  එයට පසුව දැක්වෙන්නේ එකල ලන්දේසි ලාංජනයයි. එම ලාංජනය දෙපස සිංහ රෑප දෙකක් ඇත. ඊටත් පහළින් දැක්වෙන්නේ තාරකා කොටුව ඉදි කළ ක්‍රි.ව 1763 යන වර්ෂයත්, ආණ්ඩුකාරයාගේ නමේ මුල් අකුරැ වන L.J.V.E යන්නයි. 
මාතර කෞතුකාගාරය
අද මාතර තාරකා කොටුව කෞතුකාගාරයක් ලෙස පවත්වා ගෙන යනු ලැබේ.  එහි නැරඹිය හැකි හා නැරඹිය යුතු බොහෝ දේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම මිනි ඇතිලියෙන් හමු වූ  ඇට සැකිල්ල විශේෂ වේ. එය අවුරැදු 4000ක් පමණ පැරණි හෝමෝ සේපියන්ස් වර්ගයේ මානවයකුගේ ඇට සැකිල්ලකි.

දින පොත