ලොව වටා

ශ්‍රී ලංකාවේ යටත් විජිත සමයේ ඉදිකළ බලකොටු

2016 ජුනි 14 වැනි අඟහරුවාදා - 1209  

fort1ඈත අතීතයේ පටන්ම රාජ්‍ය පාලනයේ දී රාජ්‍ය බලය තහවුරු කර ගැනීම මෙන්ම ආරක්ෂා කර ගැනීම ද ඉතා වැදගත් විණි. කලින් කලට ඇති වන විදේශ ආක්‍රමණවලින් මෙන්ම අභ්‍යන්තර කැරලිකරුවන්ගෙන් රාජ්‍ය බලය ආරක්ෂා කර ගැනීමට ද පාලකයින්ට සිදුවීම ඊට හේතුවයි. මේ නිසා රටක ආරක්ෂාවට හමුදාවක් අවශ්‍ය විණි. එමෙන්ම බලය ආරක්ෂා කරගෙන පවත්වා ගෙන යාමටත් දුර තියාම දැක සතුරන්ට පහර දීමටත් බලකොටු ඉදිවිණ. පරිපාලන කටයුතු මෙහෙය වීම, අවි ආයුධ ගබඩා කර තබා ගැනීම සිදු වූයේ ද බලකොටුව තුළය. පෙර රජවරු තම බලය තහවුරු කර ගැනීම සඳහා බලකොටු තැනූහ. එමෙන්ම 16 වැනි සියවසේ පටන් අපරටට පැමිණි පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසින් ද  මෙරට බලකොටු රැසක් ඉදි කළහ. අදටත් එම බලකොටු සහ ඇතැම් බල කොටුවල  නටබුන් දක්නට ලැබේ. මේ ලිපිය යටත් විජිත සමයේ අපරට තුළ ඉදිකළ බලකොටු ගැනයි.

මැණික්කඩවර පෘතුගීසි බලකොටුව

ඉංග්‍රීසීන්ට සීතාවක බලකොටුව තරමටම පෘතුගීසීන්ට වැදගත් වූ බලකොටුවක් වූයේ නම් එය මැණික්කඩවර බලකොටුවයි. දැදිගමට සැතපුම් දෙකක් පමණ ඔබ්බෙන් මෙම බලකොටුව පිහිටුවා තිබේ. කන්ද උඩරට රාජධානියේ රජ බවට පැමිණ සිටි පළමු වැනි විමලධර්මසූරිය රජුට එරෙහිව සටන් කිරීමේ දී කන්ද උඩරට රාජධානියට සමීපයේ මැණික්කඩවර බලකොටුවක් පිහිටුවා ගැනීම පෘතුගීසීනට වාසි සහගත විය. මෙය වර්ෂ 1598 දී පෘතුගීසි හමුදා ජනරාල්වරයකු ජෙරනිමෝදු අසවේදුගේ ප්‍රධානත්වයෙන්  ගොඩනගන ලදී. මැණික්කඩවර බලකොටුව අලව්ව, පිටගල්දෙනිය, බිසෝවෙල, කන්නත්තොට සහ කොළඹ රට අභ්‍යන්තරයට විහිදෙන මාර්ගය හා ගංගා සන්නිවේදනයට වැදගත් වූ බලන කොටුව ද මෙම මැණික් කඩවර බලකොටුව යටතේ ක්‍රියාත්මක විය. මණ්ඩල මාලයක් සේ විහිද ගිය කඳු පේළියකින් වට වූ මෙම බලකොටුවේ ප්‍රාකාර බැම්ම ගඩොලින් ඉදිකර තිබේ. සැම කපොල්ලකම මුර අට්ටාල ඉදිකර තිබී ඇත. අද අපට දක්නට ලැබෙන්නේ මෙම බලකොටුවේ ශේෂ වී ගිය කොටස් පමණි. මෙම බලකොටුවෙන් හමුවූ පෘතුගීසි ලාංඡනය සහිත ගල් පුවරුව කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

රුවන්වැල්ල බ්‍රිතාන්‍ය බලකොටුව

ruwanwellaකෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයට යාබදව වර්තමාන රුවන්වැල්ල නගරයේ මෙම පැරණි  බලකොටුව දක්නට ලැබේ. උස් බිමක පිහිටි බලකොටුවේ වටා බැම්ම සක්කා ගලින් තනා ඇත. මෙම බලකොටුවේ මුර අට්ටාල දෙකකි. මෙහි පිවිසුම් දොරටුව වර්තමානයේ දී ද දක්නට ලැබේ. ගුරුගොඩ ඔයට මුහුණ පා ඇත.

 

 

අරන්දර බලකොටුව

උස් කඳු සතරක් මැදිකොට පිහිටි තැන්නක මෙම බලකොටුව පිහිටා තිබේ. අඩි 162 x 150 භූමි  ප්‍රදේශයක් අයත් වන සේ පැති 6කින් යුත් බලකොටුවකි. මෙහි මුර අට්ටාල නැත. ගල් හෝ ගඩොල් යොදා ඉදි කරන ලද බලකොටුවක් නොවේ. අරන්දර බලකොටුව වර්ෂ 1666 දී ඉදිකරන ලද්දකි. වර්ෂ 1815 දී රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා මෙම බලකොටුව ආරක්ෂක භටයන් සඳහා නේවාසිකාගාරයක් බවට පත් කළේය. වර්ෂ 1821 දී කිංෆෝර්ට් බලකොටුවේ පාලනයට නතු කෙරිණි. අදවන විට මෙහි නටබුන් කිසිවක් දක්නට නොමැත.

අට්ටාපිටිය බලකොටුව

අට්ටාපිටිය බලකොටුව වර්ෂ 1816 – 1834 කාලයේ යුද්ධාරක්ෂක මුරපොළක් ලෙස පවත්වා ගන්නා ලද්දකි. එකල ආණ්ඩුවේ බලයලත් හමුදා ඒජන්තවරයා නැවතී සිටිය කඳවුර වූවේ ද මෙයයි. වර්ෂ 1817 දී කපිතාන් කිංගේ සැලසුමකට අනුව මෙම අට්ටාපිටිය බලකොටුව ඉදිකෙරිණ. අරන්දරත්, බලනත් අතර මාර්ගයේ පිහිටුවා තිබූ මෙම අට්ටාපිටිය බලකොටුව ප්‍රකට වූයේ කිංෆෝර්ට් යන නමිනි. බලකොටුවේ බාහිර මායිම තවමත් දක්නට හැකි වුවද වෙනත් නටබුන් දක්නට නොමැත.  

සීතාවක බලකොටුව

කන්ද උඩරට රාජධානියේ  රජුට බලපෑම් කරනට පෘතුගීසීන් විසින් තැනූ බලකොටුවකි. කුකුළු කෝරලය, බුලත්ගම්කෝරල සහ බෙලිගල් කෝරලය යන කෝරලතුනම අයත් වූයේ සීතාවක බලකොටුවටයි. වර්ෂ 1675 සැලසුම් කර ඉදිකරන ලද සීතාවක බලකොටුවේ ප්‍රාකාර බැම්ම කබොක් ගලින් නිර්මිතය. මෙහි බාහිර බිත්තිය අඩි 8ක් 10ක් පමණ උසකින් යුක්ත වේ. එමෙන්ම එහි පළල අඩි 6 ක් 8ක් පමණ වේ. බලකොටුවේ කොන්වල දී බැම්ම ක්‍රමයෙන් පුළුල් වන ආකාරයෙන් ඉදිකර ඇත.

බලන බලකොටුව

balanaමහනුවර සෙංකඩගල රජකම් කළ දෙවැනි රාජසිංහ රජු සමයේ ඉදිකරන ලද මෙම බල කොටුව දීර්ඝ කාලයක් විදේශීය ආක්‍රමණවලින් රට ආරක්ෂා කර ගැනීමට වැදගත් වූ ස්ථානයක් විය. බලන කොටුව පිහිටා ඇත්තේ යටිනුවර කඳු පන්තියට අයත් මධ්‍යම පළාතෙන් සතර කෝරලය වෙන් කෙරෙන කඳු වැටියේ වයඹ බෑවුමේය. ඉහළ හා පහළ බලකොටු දෙකක් පමණ තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. බලකොටුවේ උතුරැ දෙසින් අඩි 80ක් දිගින් හා අඩි 11ක් පළලින් යුතු කළුගල් බිත්තියක් මෙහි දැකිය හැකිය. බලකොටුවේ බටහිර දෙසින් මුර අට්ටාල දෙකක් පමණ තිබෙන්නට ඇත. එකල මාමුඩාවෙල, රත්මීමල  සහ කඳන්ගම ජනයා මෙහි රාජකාරියේ යෙදුණු බව පැවසේ.

කල්පිටිය ඕලන්ද බලකොටුව

පෘතුගීසීන්ගේ පාලනයට නතුව තිබූ කල්පිටිය ප්‍රදේශය වර්ෂ 1644 දී ලන්දේසීන් යටතට පත්විණි. අනතුරුව  වැදගත් වෙළෙඳ නගරයක් වු කල්පිටිය ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ලන්දේසින් විසින් නැවත ගොඩනගන ලදී. මෙම වෙළඳ නගරයේ ආරක්ෂාව සඳහා වර්ෂ 1606 දී කල්පිටිය බලකොටුව ඉදි කර ඇත. ගලින් නිමවා ඇති මෙම බලකොටුවේ ප්‍රවේශ දොරටුව ආරැක්කු හැඩයෙන් යුක්ත වේ. එම දොරටුවෙන් ඇතුළු වූ විට මැද මිදුලකට පිවිසේ. එහි එක් පසක සේවා නිවාස ඉදිකර තිබේ. 18 වැනි සියවසේ අවසාන කාල සීමාව වන විට ඉන්දියන් සාගරයේ බලය ලන්දේසීන්ගෙන් ගිලිහී ඉංග්‍රීසින් අතට පත්විණි. වර්ෂ 1795 දී නාගපට්ටම් සිට පැමිණි ඉංග්‍රීසි හමුදා කල්පිටිය වෙරළ ආසන්නයේ රැකවල්ලා සිටියහ. එයින් අනතුරැව ලන්දේසි ආණ්ඩුකාරයාගේ උපදෙස් පරිදි මෙම බලකොටුව ඉංග්‍රීසි හමුදා වෙත භාර දෙන ලදී.

මඩකලපුව ලන්දේසි බලකොටුව

බැස්ට්‍රියන් 4ක් (මුර කුටි ), සිර කුටි, වෙඩි බෙහෙත් ගබඩාව, කුරුබිලි හා උමං සහිතව මෙම බලකොටුව ඉදිකර තිබේ. මෙම ලන්දේසි බලකොටුව වටා කාලතුවක්කු ස්ථානගත කර ඇත. ලන්දේසි ආණ්ඩුකාර හෙන්ද්‍රික් බැක්කර් විසින් වර්ෂ 1707 දී මෙම බලකොටුව ඉදිකරන ලදී.  මඩකලපුව නගරයේ වර්තමාන පරිපාලන කටයුතු පවත්වා ගෙන යන්නේ මෙම බලකොටුව තුළ සිට  හා ඒ ආශ්‍රිතවය.

මාතර ලන්දේසි බලකොටුව

MATARA FORT 1නිල්වලා ගඟේ ගං මෝයත් කලපුව හා මුහුදත් අතර ත්‍රිකොණාකාර භූමි ප්‍රදේශයේ මෙම බලකොටුව ඉදිකර තිබේ. මෙහි බැම්ම කළුගලින් හා හුණුගලින් නිර්මිතය. කොටුව තුළට පිවිසීමට ඉදිකර ඇති  දොරටුව අදටත් ආරක්ෂා වී පවතී. එකල මාතර කොටුව තුළ දිසාපති නිවස, පල්ලිය, කුරැඳු, පුවක් හා වෙඩි බෙහෙත් ගබඩාව මෙන්ම ඇත් ගාලක් ද  පැවතිණි. මාතර කොටුව තුළ දක්නට ලැබෙන ගොඩනැගිලි අතර වර්ෂ 1767 ට පෙර ඉදිකරන ලද කැණිමඩලකින් යුත් වහල සහිත ලන්දේසි පල්ලිය සුවිශේෂි වෙයි. වර්ෂ 1595 දී දොන් ජුවන් ධර්මපාල රජුගේ සහය යටතේ මාතර කොටුවක් ඉදිකළ බව සඳහන් වුව ද එය මෙම බල කොටුව නොවේ. මෙම බලකොටුව වර්ෂ 1645 දී ලන්දේසීන් විසින් ඉදිකරන ලද බල කොටුවකි.  වර්ෂ 1796 දී ලන්දේසීන් විසින් මෙම කොටුව බ්‍රිතාන්‍යයන්ට පවරා දෙන ලදහ .

මාතර තාරකා කොටුව

STAR FORT (5)වර්ෂ 1761 දී මාතර කොටුවට පහර දුන් සිංහලයෝ එය අල්ලා ගත්හ. එහෙත් වර්ෂ 1762 දී නැවතත් ලන්දේසින් විසින්  මාතර කොටුව අල්ලා ගන්නා ලදී. ඉදිරියේ දි  මෙවැනි ප්‍රහාරවලින් මාතර කොටුව ආරක්ෂා කර ගැනීම සඳහා ඊට පිටතින් වර්ෂ 1763 දී  මාතර තාරකා කොටුව ඉදිකිරීම් ආරම්භ කෙරිණි. තාරකා කොටුවේ වැඩ අවසන් වූයේ වර්ෂ 1765 දීය. කෝණ හයකින් යුත් තාරකාවක හැඩයට ඉදිකර ඇති නිසා මීට තාරකා කොටුව යන නම ද ලැබුණි. බලකොටුව වටා දිය අගලකි.  එම දිය අගලින් එතෙර වීම සඳහා අවශ්‍ය විට ගැලවිය හැකි පාලමකි. දිය අගලෙන් එතෙර වූ පසු බලකොටුව තුළට පිවිසීමට ආරැක්කු සහිත දොරටු දෙකකි. එම දොරටු වලින් ඇතුළු වූ විට අනෙකුත් කාමරවලට පිවිසීමට පුළුවන. කොටුව මැද ළිඳකි. වැන් එක් ආණ්ඩුකාරයා යටතේ ඔරැතොට මුහන්දිරම් නමැති අයකු විසින් තාරකා කොටුවේ ඉදිකිරීම් සිදුකළ බව සඳහන් වේ. මාතර තාරකා කොටුව වර්ෂ 1796 දී බ්‍රිතාන්‍යයින්ට නතු විණි.

හංවැල්ල ඕලන්ද බලකොටුව

කැලණි ගං මිටියාවතේ ඉදිකරන ලද පැරණි පෘතුගීසි බල කොටුවක ලන්දේසින් විසින් අල්ලා ගැනීමෙන් පසුව වැඩි දියුණු කෙරිණ.  මෙහි ඕලන්දයින් යනුවෙන් සඳහන් වී ඇත්තේ ද ලන්දේසීන්මය. ඕලන්දයේ වාසය කරන්නන් යන අරුතින් ඕලන්දයින් නම් වේ. ඕලන්ද වාසි ජාතිකයින්  ලන්දේසීහුය.  කැලණි ගඟේ දකුණු ඉවුරේ ඇළක්  කපා නිර්මිත ජල දුර්ගයකින් හංවැල්ල කොටුව වට වී ඇත. ශක්තිමත් කළුගල් බැම්මකින් කොටු පවුර ඉදිකර ඇති අතර එහි මුර කුටි පහක් පමණ තිබිණි. මෙහි බිම් සැලැස්ම පංචාස්‍රයක හැඩයෙන් යුක්ත වේ. ඒ තුළ බැරැක්ක හා ගබඩා ද පිහිටුවා තිබිණි.  වර්තමානයේ හංවැල්ල තානායම පිහිටා ඇත්තේ හංවැල්ල කොටුව අසලය. අද මෙහි නටබුන් පමණක් දක්නට ලැබේ.  වර්ෂ 1761 දී ලන්දේසීන්ට නතු වීමෙන් පසු හා වර්ෂ 1803 දී බ්‍රිතාන්‍ය ප්‍රහාරවලටත් වරින්වර සිංහල ප්‍රහාරවලටත් ගොදුරු වීම නිසා  මෙම බලකොටුව විනාශ වී ඇත.

කොළඹ ඕලන්ද බලකොටුව

colombo-fortපළමු වරට කොළඹ යටත් විජිත බලකොටුවක් ඉදිකරන ලද්දේ පෘතුගීසීන් විසිනි. ඒ වර්ෂ 1518 දි පමණය. එම කොටුව ශාන්ත බාබරා නමින් හැඳින්වුණි. එහෙත් වර්ෂ 1524 වන විට එය ගරා වැටිණි. වර්ෂ 1554 දී  නවතම බල කොටුවක් ඉදි වූ අතර ඒ හා සමග කොළඹ නගරය ද වැඩි දියුණු විණි. කොළඹ කොටුව ද ලන්දේසීන්ගේ බලයට නතු වීමෙන් පසු වර්ෂ 1555- 1556 කාලයේ දී බැස්ට්‍රියන් මුර කුටි ද සහිතව බල කොටුව නැවතත් ගොඩනගන ලද්දේ ලන්දේසීන් විසිනි. ඒ ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුවය. වර්ෂ 1870 දී කොළඹ කොටුවේ බලය ඉංග්‍රීසීන් සතුවිණි.   වර්තමානයේ කොළඹ කොටුව විනාශ වී ගොසිනි. එහි කොටස් තැනින් තැන දක්නට ලැබේ.

ගාලු කොටුව

IMG_1256පෘතුගීසීන් වර්ෂ 1505 දී මෙරටට පැමිණයහ. ඔවූහු පළමු වරට ගොඩ බැස්සේ ගාල්ලටය. පෘතුගීසීන් විසින් ආරක්ෂිත කොටු වැටකින් වෙන් කරන ලද භූමි ප්‍රදේශයේ පසුව ගාලු කොටුව ඉදිවිණි. ගාලු කොටු නගරය ලෙසින් හැඳින්වුවත් මෙය බල කොටුවකි. වර්ෂ 1619 දී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද ගාලු කොටුව වර්ෂ 1640 දී ලන්දේසීන් යටතට පත්විණි. ඉන්පසු මෙම බලකොටුව වැඩි දියුණු කරන ලද්දේ ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුවය. මෙහි ඇති ගොඩනැගිලිවල උසින් හා පළලින් යුතු කබොක් ගලින් තැනූ බිත්ති, ආරැක්කු, සොල්දර, අසින් යුතු දොර ජනෙල් දන්කට පුළුවන. මුල දි අඩි 18ක් වූ දිය අගල් ලන්දේසීන් විසින් අඩි 30 දක්වා පුළුල් කර ඇති  අතර දිය අගලට පිටතින් හා කොටු බැම්මට  ඇතුළතින් ගරාදි වැටක් තිබූ බව පැවසේ. පහළ කොටු බැම්ම තුළින් මුර අට්ටාල තුනටම පිවිසීමට හැකි වන සේ තැනූ උමගකි. කාලතුවක්කු මධ්‍යස්ථානය, කොඩි ගස සහිත අට්ටාලය හා විශාල බඩු ගබඩාවක් ද මෙහි වේ.  කොටුව තුළට ප්‍රවේශ වීමට ඇත්තේ ද මේ ඔස්සේය. ගාලු කොටුවේ ප්‍රධාන දොරටුව අර්ධ කවාකාරව කළු ගලින් නිමවා ඇත. අක්කර 92ක වපසරියකින් යුතු ගාලු කොටුව යුනෙස්කෝ ලෝක උරැමයක් ලෙස නම් කර තිබේ.

යාපනය කොටුව

JAFFNA FORT (2)13 වැනි සියවසේ පොලොන්නරු රාජධානි සමයේ පටන් යාපනය අර්ධද්වීපය ඉතා වැදගත් පාලන මධ්‍යස්ථානයක් විය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළෙඳ කටයුතු පාලනයේ දී මෙන්ම රාජධානියේ ස්ථාවරත්වයට ද යාපනය පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස වැදගත් වුණි. යාපනය බලකොටුව පළමු වරට ඉදිකරනු ලබන්නේ පෘතුගීසීන් විසිනි. ඒ වර්ෂ 1618 දීය. අනතුරැව වර්ෂ 1658 දී ලන්දේසීන් විසින් මෙම බලකොටුව නැවත ගොඩ නගන ලදී. ලන්දේසීන් විසින් ලංකාවේ ගොඩනගන ලද දෙවැනි විශාලතම බලකොටුව මෙය වේ. යාපනය බලකොටුව ද ආරක්ෂාව තහවුරු කළ කුඩා නගරයක් බඳුය. එමෙන්ම ඒ වන විට ආසියාවේ තිබූ ශක්තිමත්ම බලකොටු අතරින් යාපනය බලකොටුව ද එකකි.  වර්ෂ 1795 දී යාපනය කොටුවේ බලය ඉංග්‍රීසින්ට නතු වූ අතර ඉංග්‍රීසින් විසින් ද මෙම බලකොටුව ගොඩනගන ලදී. මෙම බලකොටුවේ ඉංග්‍රීසි මෙන්ම ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ ලක්ෂණ දක්නට ලැබේ. කොටුව තුළ ලන්දේසි පල්ලියක්, ළිං කිහිපයක් සහ තවත් ගොඩනැගිලි රැසක් දක්නට ලැබිණ. එහෙත් මේ ගොඩනැගිලි අතරින් අද දක්නට ලැබෙන්නේ  කුවින්ස් පැලස් නම් මැදුරේ කොටසක් පමණි. එම ගොඩනැගිල්ලේ ද ඉහළ කොටස මුළුමනින්ම විනාශ වී ඇත. මෙහි උමං මාර්ග හා මුර අට්ටාල ද විය. එහෙත් මේ මුර අට්ටාලවල වහල සහිත කොටස අද දක්නට නොලැබේ. ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයෙන් මෙම බලකොටුව තුළ වූ ගොඩනැගිලිවලට හා පවුරේ කොටසකට ද හානි සිදුවිණි. මේ වන විට යාපන කොටුවේ සංරක්ෂණ කටයුතු සිදුවෙමින් පවතී.

ත්‍රිකුණාමල ෆෙඩ්රික් කොටුව

Fort_Fredrickවර්ෂ 1624 දි පෘතුගීසීන් විසින් ත්‍රිකුණාමලයේ පළමු වරට බලකොටුවක් ඉදි කරන ලදි. පසුව වර්ෂ 1689 දී වෙස්ටර්වෝලඩ් අද්මිරල්වරයාගේ මෙහෙයවීම යටතේ ලන්දේසි හමුදා විසින් මෙම බලකොටුව අල්ලා ගත්හ. ඉන්පසු වර්ෂ 1665 දී  ලන්දෙසීන් විසින් නැවතත් මෙම ආරක්ෂාව තර කරමින් වඩාත් ශක්තිමත් අයුරින් මෙම බලකොටුව ගොඩනගන ලදී. එකල ද අද මෙන්ම ත්‍රිකුණාමලය ආරක්ෂිත වරායක් ලෙස ඉතා වැදගත් විණ.  ලන්දේසි නැගෙනහිර ඉන්දීය වෙළෙඳ සමාගම යටතේ පාලනය වුණු මෙම බලකොටුව 1695 වසරේ දී ඉංග්‍රීසින්ට පවරා දුනි.

හැමන්හිල් බලකොටුව

Fort-Hammenhielයාපනය අර්ධද්වීපයේ කයිට්ස් හා කරයිතිව් යන දූපත් අතර වූ කුඩා දූපතක මෙම බලකොටුව ඉදිකර තිබේ.  මෙය 17 වැනි සියවසේ මැද භාගයේ දී පමණ පෘතුගීසීන් විසින් හුණුගලින් ගොඩනගන ලද්දකි. එකල ෆෝටෙලෙසා රීල් නමින් හැඳින්විණි.  එහි අරුත වූයේ  රාජකීය බලකොටුව යන්නයි. බලකොටුව තමන් සතු කරගත් ලන්දේසීන් වර්ෂ 1680 දි පමණ බලකොටුව නැවතත් ගොඩනගන ලදී. අනතුරැව බලකොටුව හැමන්හිල් බලකොටුව නමින් ප්‍රකට විණි. අෂ්ටාස්‍රයක හැඩය ගත් මෙම කොටුව තුළට පිවිසිය හැක්කේ යාපනය කලපුව දෙසිනි. අදටත් මෙම බලකොටුව ආරක්ෂා වී පවති.

මාතලේ මැක්ඩොවෙල් බලකොටුව

වර්ෂ 1803 දී පමණ මෙම බලකොටුව කන්ද උඩරට රාජධානියට එ‍රෙහිව සටන් කිරීම සඳහා ඉංග්‍රීසින් විසින් මාතලේ නගර මධ්‍යයේ ගොඩනගන ලද බලකොටුවකි. පසුව එය මැක්ඩොවෙල් ජනරාල්වරයාගේ නමින් නම් කෙරිණි. මෙය නගරයක් තුළ ඉදිකරන ලද කුඩා බලකොටුවකි. වර්ෂ 1848 දී සිංහල කැරලිකරුවන් මෙම බලකොටුව වටලා පහර දුන්හ. වර්තමානයේ මෙම බලකොටුවේ පිවිසුම් දොරටුව හා කොටු පවුරේ කොටසක් පමණක් දක්නට ලැබේ.

පූනරින් බලකොටුව

පූනරින්යාපනය අර්ධද්වීපයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා පූනරින් ප්‍රදේශයේ ද පළමු වරට බලකොටුවක් ඉදිකරන ලද්දේ පෘතුගීසීන් විසිනි. පසුව මෙම බලකොටුව ලන්දේසීන් අතට පත්විණ. නැවත වර්ෂ 1770 දී ලන්දේසීන් විසින් ත්‍රිකෝණාකාර හැඩයකට මෙම බලකොටුව ඉදිකරන ලදී. මෙහි බැස්ට්‍රියන් කුටි දෙකකි. එක් පැත්තක් මීටර 30ක් පමණ දිගට වනසේ කොටු පවුර ඉදිකර තිබේ. වර්ෂ 1805 දී පමණ ඉංග්‍රීසින් විසින් කොටුව තුළ තානායමක් ඉදිකර ඇත. කොටු පවුරේ නටබුන් අදටත් දක්නට ලැබෙන නමුත් ඒවායේ තත්ත්වය ඉතා කණගාටුදායකය.

බැසිට්‍රියන් මුර කුටි - බලකොටුවල ඉදිකෙරෙන බැස්ට්‍රියන් නමැති මුර කුටි සුවිශේෂි වේ. බලකොටුවෙන් පිටතට නෙරා යන සේ ඉදිකෙරෙන මෙම මුර කුටිය තුළ රැකවල් ලා සිටින සෙබළුන්ට බලකොටුව දෙපස හොඳින් පෙනේ. මේ නිසා දුර තියාම සතුරු ප්‍රහාර වළක්වා ගැනීමට පුළුවන. එමෙන්ම ප්‍රහාරක අවි ද මෙහි ස්ථාපිත කර ඇත.

තොරතුරු - පුරාවිද්‍යා ගවේෂණ නිලධාරි ටී.එම්. සි බණ්ඩාර මහතා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

සටහන - තක්ෂලි හපුආරච්චි.

 

 

දින පොත
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...
  • තාරකා විද්‍යාඥයෙක් වෙන්න මග කියන දුරේක්ෂයක් දිනා ගන්න Read more...
  • CITES අන්තර් ජාතික සම්මුතිය වෙනුවෙන් පවත්වන සොබාදම් මව උදෙසා චිත්‍ර තරගය 2019 මැයි සහ ජුනි මාසයෙන්හි පැවැත්වීමට නියමිත තර්ජනයට ලක්වී ඇති වන සතුන් හා ශාක විශේෂවල අන්තර් ජාතික වෙළ හෙළදාම (CITES) පිළිබඳ (සයිටීස් සම්මුතිය)සම්මුතියේ අදාල පාර්ශවකරුවන්ගේ 18 වන සමුළුවට (CoP 18) සුදානමක් වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා හා පාරිසරික අධ්‍යන අංශය විසින් මෙහෙවනු ලබන පාසල් සිසු සිසුවියන්ට විවෘත සිතුවම් තරගය Read more...