media_education

තොරතුරු දැනගැනීම පුරවැසියන්ගේ අයිතියකි

2016 දෙසැම්බර් 13 වැනි අඟහරුවාදා - 134  

 

infochaos-wordle

හැඳින්වීම නූතන ලෝකයේ රාජ්‍ය යන්නෙන් අදහස් වන්නේ ප්‍රජාතන්ත්‍රීය ලෙස මහජනතාවගේ ඡන්දයෙන් පත් කර ගන්නා මහජන නියෝජිතයන්ගෙන් සැදුම් ලද්දකි. රාජ්‍යය පවත්වා ගෙන යන්නේ මහජන මුදලිනි. රජයේ ආයතන, දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ සඳහා ද,  සේවක වැටුප් සඳහා ද, මහජන නියෝජිතයන්  වැටුප්, දීමනා හා පහසුකම් ද,  පොදු සේවා සඳහා ද වැය කරන්නේ මහජන මුදල්ය. මහජන මුදලින් ක්‍රියාත්මක වන රාජ්‍යයක කෙරෙන කටයුතු පිළිබඳ තොරතුරු දැන ගැනීමට මහජනයාට අයිතියක් තිබෙන බව බැලු බැල්මටම පෙනේ. එහෙත් සාමාන්‍යයෙන් කිසිදු රාජ්‍ය ආයතනයකට ගොස් තමන්ට අවශ්‍ය තොරතුරක් ඉල්ලා ගැනීමට පහසුකමක් හෝ හැකියාවක් හෝ අයිතියක් හෝ මහජනයාට ලබා දී නැති බව ප්‍රායෝගිකව කවුරුත් දන්නා කරුණකි.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජය දියු‍ණු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලෝකයේ බොහෝ රටවල් සිය පුරවැසියන්ට රාජ්‍යයේ  විවිධ තොරතුරු ලබා ගැනීමට ඇති අයිතිය නීතිගත කර ඇත. ඒ සඳහා පිලිවෙත් සම්පාදනය කර ඇත. ඒ අනුව යමින් ශ්‍රී ලංකාවද  මහජන ආයතනවලින් මහජනයාට තොරතුරු ලබා ගැනීමට ඇති අයිතිය නීතිගත කර ඇත.  ඒ සඳහා වූ නීතිමය ප්‍රතිපාදන සලසා ඇත්තේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පි‍ළිබඳ පනතිනි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම පනත සම්මත කරන ලද්දේ 2016 අගෝස්තු මස 4 වන දිනදීය.

නීතිමය පසුබිම තොරතුරු දැන ගැනීම පුරවැසියා සතු අයිතිවාසිකමක් ලෙස අන්තර්ජාතික වශයෙන් පිළි ගනී.  ඒ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේ 19වන වගන්තිය මගින් තොරතුරු ඉල්ලා සිටීමට, බෙදා දීමට හා ලැබීමට ඇති අයිතිය, ප්‍රකාශනයේ සහ අදහස් පළ කිරීමේ මූලික අයිතියේ කොටසක් ලෙස පිළි ගැනේ.  එසේම ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේද සිතීමේ නිදහස පිළි ගෙන ඇත.  තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය එයින් පිළිබිඹු වේ. එයට හේතුව වන්නේ තොරතුරු නොමැතිව සිතීමේ නිදහස සම්පූර්ණයෙන් භුක්ති විඳිය නොහැකි වීමයි.

පනතේ කාර්යයන්

  • තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිය සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම
  • තොරතුරු වෙත ප්‍රවේශවීම ප්‍රතික්ෂේප කළ හැකි හේතු නිශ්චිතව දැක්වීම
  • තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම
  • තොරතුරු නිලධරයන් පත් කිරීම
  • තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාපටිපාටිය නිශ්චිතව දැක්වීම

තොරතුරු ලබා දීම හා ප්‍රතික්ෂේප කිරීම  ඕනෑම මහජන ආයතනයක් සතුව පවත්නා තොරතුරු දැන ගැනීමට මහජනයාට අයිතිවාසිකම ඇති බව පනතේ 3 වැනි වගන්තියෙන් කියවේ. එහෙත් මේ නිසා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාදවලට බාධාවක් ඇති නොවේ. පනතට අනුව හෙළිදරව් නොකළ යුතු යැයි ගැනෙන පහත සඳහන් තොරතුරු ද මහජන යහපත සඳහා අවශ්‍ය වන්නේ නම් පනතට අනුව  හෙළිදරව් කළ යුතුය.

  • යම් කෙනකුගේ පෞද්ගලික තොරතුරු
  • ජාතික ආරක්ෂාව හෝ භෞමික අඛණ්ඩතාවයට අදාළ තොරතුරු
  • ජාතික ආර්ථිකයට අදාළ තොරතුරු
  • වාණිජ රහස් හෝ බුද්ධිමය දේපළ තොරතුරු
  • තීරණය වී නැති විනිමය අනුපාතික, බැංකු අනුපාතික, බදු හෝ විදෙස් වෙළෙඳ ගිවිසුම් තොරතුරු
  • වෘත්තිකයෙක් හා මහජන අධිකාරියක් අතර සිදුවන, නීතියෙන් හෙළි කරන්නට තහනම් තොරතුරු
  • පුද්ගලික වෛද්‍ය වාර්තා තොරතුරු
  • යම් තැනැත්තෙක් විශ්වාසය හා ප්‍රවීනත්වය  සම්බන්ධතාවක් පවත්වන කාලය අතරතුර තොරතුරු
  • පාර්ලිමේන්තු වරප්‍රසාදවලට හානි කරන තොරතුරු
  • අධිකරණ අපහාස හෝ අධිකරණයේ අපක්ෂපාති බවට හානිකර තොරතුරු
  • ප්‍රසිද්ධ විභාගයක් පිළිබඳ තොරතුරු
  • මැතිවරණ කොමසාරිස් විසින් පැවැත්වූ මැතිවරණයක් පිළිබඳ තොරතුරු

             එසේම එවැනි සමහර තොරතුරු අවුරුදු දහයක් පැරණි ඒවා නම් ලබා දීම ප්‍රතික්ෂේප කළ නොහැකිය.  

තොරතුරු නිලධාරීන්  මෙම පනත යටතේ කර ඇති නියමයක් නම් සෑම මහජන අධිකාරියකම තොරතුරු නිලධාරියකු සිටිය යුතු බවයි.  මහජනයාට අවශ්‍ය තොරතුරු ඉල්ලා තොරතුරු නිලධාරි වෙත අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ හැකිය. අදාළ පරිදි තොරතුරු ලබා දීම එම නිලධාරියාගේ රාජකාරියයි.  තමන් වෙත විධිමත්ව ඉල්ලීම ලැබී වැඩකරන දින දහහතරක් ඇතුලත එම තොරතුරු ලබා දිය යුතුය. ඒ එසේ කල හැකි බව නොපමාව අයදුම්කරුට දැන්විය යුතුය. ඉල්ලා සිටින තොරතුරු පුද්ගලයකුගේ ජීවිතය හෝ පෞද්ගලික නිදහස සම්බන්ධයෙන් වන විට එම දැනුම් දීම පැය හතළිස් අටක් ඇතුළත කළ යුතුය. 

කොමිෂන් සභාව  පනතේ නියමය අනුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවීමට නියමිතය. එය ස්වාධීන කොමිෂන් සභාවකි. පනතේ දක්වා ඇති නියමයන්ට අනුකූලව තොරතුරු සම්පාදනය නියාමනය කිරීම කොමිෂන් සභාව විසින් කරනු ලැබේ. ඒ අනුව තොරතුරු නිලධාරීන් විසින් සිය කාර්යය ඉටු කිරීමට අදාළ පිලිවෙත්  කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබේ. එපමණක් නොව තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් මහජනයා විසින් ඉදිරිපත් කරනු ලබන අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කිරීමද කොමිෂන් සභාවේ කාර්යයකි. 

නීතිමය වශයෙන් කෙබඳු තොරතුරු ලබා ගත හැකිද?  රාජ්‍යය විසින් සියලු කාර්යයන් කරනුයේ මහජන මුදල් යොදවමිනි. එබැවින් මහජන මුදලින් ක්‍රියාත්මක වන කුමන හෝ ආයතනයක කෙරෙන කාර්යයන් පිළිබඳ තොරතුරු මහජනයාට ලබා ගත හැකිය. එහි දී පනත විසින් සීමා කර ඇති තොරතුරු ලබා ගත නොහැකිය. එහෙත් යම් තොරතුරක් මහජන සුභ සිද්ධිය සඳහා වඩාත් යෝග්‍ය වන්නේ යැයි නිශ්චය කරනු ලබන්නේ නම් එම තොරතුරු ලබා ගැනීමට අයදුම්කරුට අවකාශය සැලසේ.

  • දරුවකු පාසලට ඇතුළත් කර නොගත්තේ ඇයි?
  • පාළම සෑදීමට ගිය වියදම කොතෙක්ද?
  • පාර කාපට් කිරීමේ ටෙන්ඩරය පැවරුවේ කෙසේද?
  • අනියම් ලිපිකරුවන් විසි පස්දෙනෙකු බඳවා ගත් පදනම කුමක්ද?
  • ඇමතිවරයාගේ අලුත් වාහනයේ මිල කොපමණද?

අභියාචනා කිරීම  යම් තොරතුරක් තමන් වෙත ලබා නොදීම සම්බන්ධයෙන් අයදුම්කරුවකු විසින් අභියාචනයක් ඉදිරිපත් කල හැකිය. එහි පියවර මෙසේ දැක්විය හැකිය.

  1. තොරතුරු නිලධාරියා විසින් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීම
  2. දින 14ක් තුළ නම් කළ නිලධාරියා වෙත අභියාචනය ඉදිරිපත් කිරීම
  3. අභියාචනය භාර ගැනීම හා විමර්ශනය
  4. අභියාචනයට අදාළ තීන්දුව ලබා දීම හෝ නොදීම
  5. නම් ක‍ල නිලධාරියාගේ ක්‍රියාකලාපයට එකඟ නොවන්නේ නම් කොමිසමට පැමිණිලි කිරීම
  6. දින 30ක් තුළ කොමිසමේ තීන්දුව ලැබීම
  7. කොමිසමේ තීන්දුවට එකඟ නොවන්නේ නම් අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කිරීම

ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ ආචාර්ය බන්දුල පී. දයාරත්න 

වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත බලන්න- විජය සෑම අඟහරුවාදම නිකුත්වේ

දින පොත
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...
  • තාරකා විද්‍යාඥයෙක් වෙන්න මග කියන දුරේක්ෂයක් දිනා ගන්න Read more...
  • CITES අන්තර් ජාතික සම්මුතිය වෙනුවෙන් පවත්වන සොබාදම් මව උදෙසා චිත්‍ර තරගය 2019 මැයි සහ ජුනි මාසයෙන්හි පැවැත්වීමට නියමිත තර්ජනයට ලක්වී ඇති වන සතුන් හා ශාක විශේෂවල අන්තර් ජාතික වෙළ හෙළදාම (CITES) පිළිබඳ (සයිටීස් සම්මුතිය)සම්මුතියේ අදාල පාර්ශවකරුවන්ගේ 18 වන සමුළුවට (CoP 18) සුදානමක් වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා හා පාරිසරික අධ්‍යන අංශය විසින් මෙහෙවනු ලබන පාසල් සිසු සිසුවියන්ට විවෘත සිතුවම් තරගය Read more...