ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලදක්ෂ වෙබි රේඩියෝව අන්තර්ජාලයට

2024 අප්‍රේල් මස 26 ප.ව. 06:31 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලාංකික බාලදක්ෂයින් විසින් නිර්මාණය කෙරැණු ප්‍රථම බාලදක්ෂ වෙබ් රේඩියෝ නාලිකාව මෙවර අන්තර්ජාල ජම්බෝරියේ දී ගුවනට එකතු විය. බාලදක්ෂ ඔබට scouting.lk වෙබ් අඩවියට පිවිසීමෙන් Scouting Sri Lanka වෙබ් රේඩියෝව ශ්‍රවණය කළ හැකිය.
එමගින් බාලදක්ෂ ගීත, රසකතා සහ බාලදක්ෂ පුවත් ආදියට සවන්දිය හැකිය. දවසේ ඕනෑම මොහොතක “ස්කවුටින්ග් ශ්‍රී ලංකා* වෙබ් රේඩියෝව ශ්‍රවණය කළ හැකි අතර ඔබගේ බාලදක්ෂ කණ්ඩායමේ ප්‍රවෘත්ති සඳහා අවැසි පූර්ව ප්‍රචාරණ නොමිලයේම ලබාගැනීමට පුළුවන.
 ඒ සඳහා ඔබ කළ යුත්තේ බාලදක්ෂ කාලීන තොරතුරැ අංක 26, කැන්දහේනවත්ත පාර, දෙපානම, පන්නිපිටිය යන ලිපිනයට ලියා එවීම පමණි.

ලෝක ගුවන් හා අන්තර්ජාල ජම්බෝරිය
හැටදෙවැනි වරට ගුවන් බාලදක්ෂ ජම්බෝරිය පසුගිය දා පැවැත්විණ. අන්තර්ජාල ජම්බෝරිය ආරම්භ කර වසර 23 ක් ගතවී ඇත. වසර පහළොවක් නොකඩවා ගුවන් හා අන්තර්ජාල ජම්බෝරිය සඳහා බාලදක්ෂයින් සූදානම් කිරීම විජය බාලදක්ෂ කඳවුරින් සිදුවිය.
ජාත්‍යන්තර අත්දැකීමක් ලබාගත හැකි ලොව විශාලතම බාලදක්ෂ ක්‍රියාකාරකම සඳහා ලෝකයේ බාලදක්ෂයෝ උනන්දුවෙන් සහභාගි වෙති. 
මෙවර පැවැත්වූ ජාත්‍යන්තර ගුවන් හා අන්තර්ජාල ජම්බෝරිය සඳහා බාලදක්ෂයින් මිලියන දෙකක් පමණ සහභාගි වූ බව ලෝක බාලදක්ෂ මූලස්ථානය නිවේදනය කර ඇත.

අන්තර්ජාල ජම්බෝරි කඳවුරැ බිම් සිතියම
ජොටා ජොටී බාලදක්ෂ නිල වෙබ් අඩවිය තුළ අන්තර්ජාල ජම්බෝරි කඳවුරැ බිම් සිතියම නිර්මාණය කොට තිබුණි. එහි දැක්වෙන ක්ෂේත්‍ර ඔස්සේ කඳවුරැ ක්‍රියාකාරකම්වලට සහභාගි විය හැකිව තිබුණි. 
ගිනිමැල කවය, බාලදක්ෂ ආචාර්යවරැන්ගේ කඳවුරැ, ජොටා ජොටී කථිකා කඳවුර, යහපත් ලොවක් වෙනුවෙන් ඉදිකළ කූඩාරම, රේඩියෝ උපකරණ සම්ප්‍රේෂණ කූඩාරම සහිත කලාපය, අභියෝග සහිත ක්‍රියාකාරකම් ගම්මානය ඇතුළු ජොටා සහ ජොටා මූලස්ථානය පිහිටා ඇති ජොටා - ජොටී බාලදක්ෂ කඳවුරැ බිම් සිතියම මෙහි දැක්වෙයි.

දිවයින පුරා ජොටී මධ්‍යස්ථාන 21 ක් ගුවනට
ජාත්‍යන්තර ගුවන් බාලදක්ෂ ජම්බෝරිය සමග සබඳතා පැවැත්වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි මධ්‍යස්ථාන දෙකකට පමණක් සීමා විය. එහෙත් ජාත්‍යන්තර අන්තර්ජාල ජම්බෝරිය සඳහා ශ්‍රී ලංකාවේ පාසල් 21 ක දරැවෝ සහභාගි වූහ. 
අසල්වැසි බාලදක්ෂ කණ්ඩායම් ද එම පරිගණක මධ්‍යස්ථාන වෙත ගියේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ දී අන්තර්ජාල ජම්බෝරි උප සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන පැවැත්වූ රත්මලානේ ගුවන් බාලදක්ෂ සමූහය, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල, කොළඹ ඩී.එස්.සේනානායක විදුහල, කඹුරාවෙල බාලදක්ෂයින්, කොළඹ ගුවන් හමුදා බාලදක්ෂ සමුහය ඇතුළු ක්‍රියාකාරී වූ සියලුම බාලදක්ෂයින් වෙත විජය බාලදක්ෂ කඳවුරේ සුබ පැතුම් එකතු කරමු.

 

දින පොත