ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය දැඩි අවදානමක

2020 ඔක්තෝබර් මස 21 පෙ.ව. 04:24 - {{hitsCtrl.values.hits}}  

ඉන්දියාවේ වෙස්ටන් ගාට්ස් ප්‍රදේශය සමග ලෝකයේ ජෛව විවිධත්වය අතින් උණුසුම් කලාප (Biodiversity Hot Spot) 34 අතුරින් එක් කලාපයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් ඉහළින්ම සිටිනා රටකි. එමෙන්ම තවත් විශේෂ කරුණක් වන්නේ ශ්‍රී ලංකාව තුළදී දැනට හඳුනාගෙන තිබෙන්නා වූ ශාක සහ සත්ත්ව විශේෂ අතර ශ්‍රී ලංකාවට ආවේණික (ශ්‍රී ලංකාව තුළදී පමණක් හමුවන) විශේෂයන් ප්‍රමාණයද ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ අගයක් වාර්තා කිරීමයි.

ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් (Biodiversity Hot Spot) ලෙස සැලකීම සඳහා ප්‍රධාන වශයෙන් නිර්ණායක දෙකක් සපුරාලීම වැදගත්ය. එනම් සනාල ශාක 1500ක් හෝ 0.5% ක් ආවේණික විශේෂයන් වීම මෙන්ම විශේෂ වැඩි ගණනක් වඳවී යාමේ තර්ජනයට ලක්කරමින් වන ආවරණය 70% පමණ අඩුවීමට ලක් වීමයි. ඉහළ ආවේණිකතාවක් සහ ඉහළ ජෛව විවිධත්වයක් සහිත මෙන්ම වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ත්ව විශේෂ ප්‍රමාණයෙන් ඉහළ අගයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් වීමට හේතු සාධක වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉහළම ආවේණිකතාවක් වාර්තා වන්නේ මිරිදිය කකුළුවන් අතරිනි. එනම් ශ්‍රී ලංකාවේ හමුවන මිරිදිය කකුළුවන් 98.04%ක් ආවේණික වේ. එසේම උභය ජීවීන් 87.39%ක්, භෞමික ගොළුබෙල්ලන් 79.92%ක්, උරගයන් 59.45%ක්, මිරිදිය මසුන් 46.22%ක්, බත්කූරන් 38.40%ක්, ක්ෂීරපායින් 19.44%ක්, සමනලුන් 10.57%ක් හා පක්ෂීන් 6.83%ක් ශ්‍රී ලංකාවට පමණක් ආවේණිකය. මෙරට දේශීය ශාක ප්‍රජාව පිළිබඳ සැලකීමේදී ආවෘත බීජ ශාක 21.21%ක් හා මීවන 14.58%ක් ශ්‍රී ලංකාවට අවේණික ශාක ලෙස හඳුනාගෙන තිබේ.

මේ ආකාරයෙන් ශාක හා සත්ත්ව ප්‍රජාව සම්බන්ධයෙන් ඉහළ අගයක ආවේණිකතාවක් ඇති වීමට ශ්‍රී ලංකාවේ භූ විෂමතාවය, දේශගුණය, ජලයේ සුලභතාවය, මහද්වීප ව්‍යූහ විකාශන ක්‍රියාවලියේදී විවිධ භූ කලාප (Land Masses) සමග සම්බන්ධ වී තිබීම හා දූපතක් වීම හේතු සාධක වී ඇති බව විද්වතුන් පෙන්වා දේ.

2012 වසරේ ජාතික රතු දත්ත ලේඛනය අනුව ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය යම් අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය. ශ්‍රී ලංකාවේ ඇති සපුෂ්පක ශාක අතුරින් 1385ක ප්‍රමාණයක් එනම්, 43.9%ක් වඳවී යාමේ තර්ජනයට ගොදුරුවී තිබේ. එම වාර්තා පෙන්වා දෙන එක් අවාසනාවන්ත කරුණක් වන්නේ දැනට හඳුනාගෙන ඇති විශේෂ අතුරින් විශේෂ පහක් පමණ (Strobilanthes caudate, Blumea angustifolia, Crudia zeylanica, Rinorea bengalensi, Rinorea decora) මේ වනවිටත් ශ්‍රී ලංකාවෙන් වඳ වී ගොස් හමාර බවයි.එමෙන්ම Alphonsea hortensis සහ Doona ovalifolia යන විශේෂ මේ වනවිටත් ශ්‍රී ලංකාවේ වනාන්තර වලින් වඳවී ගොස් තිබුණද උද්භිද උද්‍යානයන්වල රෝපණය කරමින් සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන මීවන ශාක විශේෂ අතුරින් විශේෂ 200ක් එනම් 59.5%ක් වඳවී යෑමේ දැඩි තර්ජනයකට ලක්ව තිබෙන බව පෙනේ.

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ තවත් කොටස්කරුවෙකු වන මෙරට සත්ත්ව විශේෂ පිළිබඳව අප මීළඟට අවදානය යොමු කරමු. 2012 ජාතික රතු දත්ත ලේඛනයෙන් පෙන්වා දෙන පරිදි පෘෂ්ඨවංශික සත්ත්ව කාණ්ඩයන් අතුරින් ක්ෂීරපායී සත්ත්ව විශේෂ 53ක් එනම් 19.44%ක්, පක්ෂීන් විශේෂයන් 54ක් එනම් 6.83%ක්, උරග විශේෂ 107ක් එනම් 59.45%ක්, උභය ජීවී විශේෂ 72ක් එනම් 87.39%ක්, හා මිරිදිය මත්ස්‍ය විශේෂයන් 43ක් එනම් 46.22%ක් මේ වන විට වඳවී යෑමේ දැඩි අවදානම් තත්ත්වයකට ලක්ව තිබේ.

එමෙන්ම එමෙන්ම අපෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩයන් වෙත අවධානය යොමු කරන විට ඊට අයත් වන භෞමික ගොළුබෙල්ලන් විශේෂ 165ක් එනම් 79.92%ක්, සමනලුන් විශේෂ 96ක් එනම් 10.57%ක්, බිඟුන් විශේෂ 106ක්, කුහුඹුවන් විශේෂ 59ක් එනම් 28.78%ක්, බත් කූරන් විශේෂ 61ක් එනම් 38.4%ක් මිරිදිය කකුළුවන් විශේෂ 46ක් එනම් 98.04%ක් සහ මකුළුවන් විශේෂ 62ක් එනම් 12.37%ක් මේ වනවිට වඳවී යෑමේ තර්ජනයට මුහුණපා තිබේ.

ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාව කුඩා දූපත් රාජ්‍යයක් වුවද සාමාන්‍යයෙන් මෙවැනි භූමි ප්‍රමාණයක් සහිත වෙනත් රටවල දක්නට නොලැබෙන විශාල ප්‍රමාණයේ සතුන් හෙවත් ආසියානු අලියා, වලසා, කොටියා වැනි සතුන් රාශියකට වාස භූමියක් බවට පත්ව තිබීම සුවිශේෂී කරුණකි. දැනට ලෝකයේ විශාලතම ක්ෂීරපායි සත්ත්වයා ලෙස සැලකෙන යෝධ නිල් තල්මසා (Balaenoptera musculus) ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ සුලභව දක්නට ලැබේ. යෝධ නිල් තල්මසාගේ වාසය සඳහා හිතකර පරිසර සාධක රැසක් මෙම මුහුදු සීමාව තුළ දක්නට ලැබේ. ශ්‍රී ලංකා මුහුදු කලාපයේ ගැඹුරු ආගාධ පිහිටීම සහ ගංගා ඔස්සේ පැමිණෙන පෝෂකාංග නිසා තල්මසුන්ට අවශ්‍ය ආහාර ප්‍රභවයන් සුලභ වීම මෙහිදී ප්‍රධාන සාධක ලෙස සැලකිය හැකිය. එමෙන්ම හඳුනාගෙන තිබෙන පිග්මි මීයා (Suncus etruscus) ශ්‍රී ලංකාව සිය නිවහන බවට පත්කරගෙන තිබීම විශේෂය.

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ඒකාකාරී ව්‍යාප්තියක් පෙන්නුම් නොකරයි. ශ්‍රී ලංකාව සතු ආවෘත බීජක ශාක විවිධත්වය සැලකිල්ලට ගැනීමේදී ඉහළම විවිධත්වයක් පෙන්නුම් කරන්නේ මහනුවර සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්ය. ශ්‍රී ලංකාව සතු පෘෂ්ඨවංශික සත්ත්ව විවිධත්වය සැලකීමේදී ගාල්ල, රත්නපුර, හා මහනුවර යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව වැඩි විශේෂ සංඛ්‍යාවක් වාර්තා වේ. සමස්තය පිළිබඳ සැලකීමේදී ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට අයත්වන දිස්ත්‍රික්කයන්වල ශාක හා සත්ත්ව විශේෂයන්ගේ ඉහළ විවිධත්වයක් දක්නට ලැබේ. ඉහතින් සඳහන් කළ වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයන්ගෙන් 75%ක ප්‍රතිශතයක් තෙත් කලාපයට සීමා වී තිබේ.

නමුත් මෙම තෙත් කලාපයේ වනාන්තර පසුගිය වසර 150ක කාලයක සිටම වගාබිම් හා වාසස්ථාන සඳහා එළිපෙහෙළි වීම නිසා උග්‍ර හායන තත්ත්වයකට පත්ව තිබේ. 2010 වසරේ සිදුකෙරුණු සමීක්ෂණ වාර්තාවක පෙන්වා දෙන ආකාරයට තෙත් කලාපයේ වනවැස්ම මුළු වනගහණයෙන් 3%කටත් වඩා අඩුය. පවතින වනගහණයද කුඩා කැබලි වශයෙන් පවතින අතර, තවදුරටත් මෙම ප්‍රමාණය හායනය වෙමින් පැවතීම ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය කෙරෙහි දැඩි හානියක් සිදුකිරීමට හේතු වී තිබේ. 
මූලාශ්‍ර (අද පුවත්පත)

 

 

දින පොත