මුහුදු වෙරළක තනිවීමි

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 10:55 - {{hitsCtrl.values.hits}}  

    සූර්යයාගේ දැඩි හිරැ රුස් නිවි යන විට මම මුහුදු වෙරළ දෙසට ගමන් කරමින් සිටියෙමි. මුහුදු වෙරළට කෙමෙන් ළං වත් ම වැඩි වෙමින් ඇසුණ හෝ හෝ  හඬ මුහුදු වෙරළට මා සෙනෙහසින් පිළිගන්නා බව ඇඟවීය. එදින මුහුදු වෙරළේ වැඩිදෙනෙක් නොවී ය. මුහුදු වෙරළට ගිය මම මුහුද අසල පිහිටි ගලක් මත වාඩි වුණෙමි. අවට තිබූ පොල් ගස් මුහුද දෙසට නැමී තිබුණේ බාගෙට සාදන ලද ආරැක්කු මෙනි. සූර්යයා ඈත අහසේ ගිනි බෝලයක් මෙන් බබළන්නට විය. සූර්යයා අසල තිබූ වලාකුළු කෙමෙන් තැඹිලි පැහැයට හැරෙන්නට පටන්ගෙන තිබුණි. මේ දසුන සිත්තරකුගේ නෙතට හසුවුවහොත් සොඳුරැ  සිතුවමක් මැවෙනු ඇත. කවියකුගේ නෙතට හසුවුවහොත් මනරම් පැදි පෙළක් ලියැවෙනු ඇත. මේ කි සිත් නොහැකි මා හට කළ හැක්කේ මේ දසුන බලා සිට එහි සුන්දරත්වය විඳීම පමණි. නගරයේ කාර්යබහුල බවට හාත්සින් ම වෙනස් වු මේ මුහුදු වෙරළ මාගේ සිත තදින් ඇදබැඳ ගත් බැවින් මුහුදු වෙරළින් පිටව යාමට මට නොසිතුණි. 
    සූර්යයා සිය රාජකාරිය නිම කොට ක්ෂිතිජය දෙසින් බැස යන්නට පටන්ගෙන තිබුණි. සූර්යයාගේ ආලෝකය වැටුණු මුහුද අමුතු ම ලෙසකින් දිස්වුණි. කුරැල්ලෝ තම කැදලි කරා පියාසර කරන්නට වූහ. හමාගිය සිහිල් මදනල උදයේ සිට ම දැනුණු තෙහෙට්ටුව මවෙතින් ඉවත්ට රුගෙන යන්නාක් මෙන් දැනුණි. මාගේ සිත ද ගත ද අමුතුම ප්‍රබෝධයකින් පිරී ගියේ ය. මුළු පරිසරය ම හුදකලාව විසින් ගිල ගන්නා ලදි. එක්වරම මාගේ සිතිවිලි දැහැනින් මිදුණේ මුහුදු රළක් මා හැඳ සිටි දිගු ගවුම තෙමාලමින් යළිත් මුහුද දෙසට ඇදී යන්නට වූ නිසා ය. මදකට මම අත් ඔරලෝසුව දෙසට නෙත් යොමු කළෙමි. සවස හයත් පසු වී ගොසින් ය. දිගු හුස්මක් ගත් මම හිඳගෙන සිටි ගලෙන් නැගිට මුහුදු වෙරළින් ඉවතට යන්නට වූයේ නැවතත් මේ සොඳුරැ  මුහුදු වෙරළට පැමිණීමේ බලාපොරොත්තුව සිතෙහි දරාගෙන ය.  

හියුමි දිල්වානි සූරියප්පෙරැම
11 ශ්‍රේණිය,
ධර්මපාල විද්‍යාලය,
පන්නිපිටිය.

දින පොත