දුරස්ථව හිඳ තෙමඟුල සමරමු

2020 ඔක්තෝබර් මස 20 පෙ.ව. 05:40 - {{hitsCtrl.values.hits}}  

සිද්ධාර්ථ බෝසත් උපතත්, සියලු කෙලෙස් ප්‍රහීන කොට සම්බුද්ධත්වය ලබා ගැනීමත්, බුදු රජාණන් වහන්සේ පිරිනිවීමට පත් වීමත් යන උතුම් කාරණා සිදුවුණේ වෙසක් පුර පොහෝ දිනකයි.

මේ සිදුවීම් මංගල්‍යයක් ලෙස සලකමින් “තෙමඟුල* සැමරීම සෑම වර්ෂයකම සිදු කරමු. සියලු බෞද්ධයෝ වෙසක් පෝයට ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් පින්කම් සිදු කරති.

ලෝකයේ බොහෝ රටවල් මුහුණ දුන් කොරෝනා වසංගත තත්ත්වය අපේ රටටත් බලපා ඇති මොහොතක මෙවර වෙසක් සමය උදාවේ. දීර්ඝ කාලයක් ඇඳිරි නීතිය පැවැතිණි. සෞඛ්‍ය ආරක්ෂිත බව නිසා පුද්ගල දුරස්ථභාවය රුකගෙන මෙවර වෙසක් සැමරීමට පුංචි ඔබටත් සිදුවේ.

ආමිස හා ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් සෞඛ්‍යාරක්ෂිත බවත් රුක ගනිමින් තෙමඟුල කෙසේ සමරමු ද ? පුංචි ඔබට ඒ වෙනුවෙන් කළ හැක්කේ මොනවාද ?

ආමිස හා ප්‍රතිපත්ති පූජා

නානා විධ විසිතුරැ දේ සකස් කරමින් හා සංවිධානය කරමින් බුදු  තෙමඟුල සමරා පින් රුස්වන කටයුතු කිරීමට ඔබට හැකියාව තිබේ. පෙරහර පැවැත්වීම, වෙසක් තොරණ, වෙසක් කූඩු, දන්සල් දීම, වෙසක් නාට්‍ය, බැති ගී වැඩසටහන් යනාදිය ආමිස පූජා ගණයට ගැනේ.

ප්‍රතිපත්ති පූජා ගණයට ගැනෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම්මානුධම්ම මාර්ගයේ ගමන් කිරීමයි. මෙහිදී සිල් සමාදන් වීම, භාවනා කිරීම, ධර්ම සාකච්ඡා කිරීම යනාදිය කළ හැකිය.

වෙසක් සමය තුළදී මෙවැනි ආමිස හා ප්‍රතිපත්ති පූජා සිදුකළත් මෙවර ඒ ඇතැම් ආමිස හා ප්‍රතිපත්ති පූජා සිදු කිරීමට අවස්ථාව නොලැබී ඇත. එහෙත් පුංචි ඔබත් සෞඛ්‍ය ආරක්ෂිත බව රුකගෙන උතුම් තෙමඟුල සැමරිය යුතුයි. එය සිදු කරන්නේ කෙසේද ?

ස්වාභාවික දෙයින්
වෙසක් කූඩු හදමු

පුංචි ඔබත් වෙසක් කූඩු, බකට් ආදිය වෙළඳපොළෙන්ම ගන්නට හුරැ වී ඇත. වෙසක් කූඩු ලෙස ප්ලාස්ටික් වලින් තැනූ වෙසක් කූඩු කඩ වලින් ගෙන ඇලවීම නියම බුද්ධ පූජාවක් නොවෙයි.

වෙසක් කූඩුවක් තනන්නට මෙවර ඔබේ පවුලේ තාත්තා, අයියා, අක්කා, නංගි, මල්ලිලා එක්ක එකතු වන්න. ඒ අය සමග උණ කෝටු ටිකක් ගමෙන් සොයා සපයා ගන්න. ඒ අය සමග  එකමුතුකමින් කෝටු කපා සුද්ධ කරගෙන කූඩු අමුණන්න. අටපට්ටම, නෙළුම් මල, තාරකා මේ ආදී ලොකු කුඩා වෙසක් කූඩු නිර්මාණ ඔබට සකස් කළ හැකියි.

ඉන් පසුව මේ වෙසක් කූඩු සව් කඩදාසි වෙනුවට පරණ පත්තර හා කඩදාසි වලින් ඇලවීම කළ හැකියි. ඊටත් වඩා වෙසක් කූඩු ඇලවීමට පරිසරයෙන් සොයා ගත් පරිසර හිතකර දෑ භාවිත කළ හැකියි. පෙර වෙසක් අවස්ථාවල ඔබ වෙසක් කූඩු පොලීතින් වලින් සකස් කර ඇති පොලීතින් වලින් වෙසක් සැරසිලි කර ඇති ඒවා පරිසරයට හිතකර ඒවා නොවේ. දිරාපත් නොවෙයි.

එබැවින් මෙවර ඔබේ වෙසක් කූඩුව ඇලවීමට, වියළී ගිය ගස්වල පත්‍ර, බූමටොලු, ගොක් හා පොල් කොළ, ඉරටු, තල් කොළ, වියළි කෙසෙල් කොළ යොදා ගන්න. ඉතා ලස්සන නිර්මාණයක් ඔබට කරගත හැකි වේවි. පරිසරයෙන් සොයා ගත් දේ නිසා ඉවත් කිරීමේ දී පරිසර හානියක් නැත. මේ නිසා එය ද බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයකි.

එසේම ඔබේ සහෝදර සහෝදරියන් සමග ගෙදර ඇති කඩදාසි වල බුද්ධ චරිතය, ජාතක කතා සිතුවම් කොට පුංචි තොරණයක්, පුංචි බකට් ටිකක්, ලුම්බිණි සල් වනයක් වැනි කලා නිර්මාණයක් ඔබට කළ හැකියි. ඒ හැම විටම ඔබ එකමුතුව සමගියෙන් එය කරන්න. එවිට පින් බොහෝ රුස් කරගත හැකියි.

පිනැති දන්සලක් දෙමු

දරැවනි, දන්සලක් දීමේ අර්ථය වන්නේ අපේ හිත්වල තිබෙන රාග, ද්වේශ, මෝහ, අන්ධකාරය දුරැකර ගැනීමයි. එහිදී උපකාර වුවමනා කෙනෙකුට, නැති බැරි කෙනෙකුට, කුසගිනි ඇති කෙනෙකුට ආහාර දානයක් දීම ඉහළ ආමිස පූජා පින්කමක් වෙයි.

මෙවර වෙසක් වලට ඔබේ ගෙවත්ත සහ අවට කුසගින්නේ සිටින සතුන්ගේ කුසගිනි පුරවන්නට කළ හැක්කේ මොනවාද ? පුංචි දරැවනි බණ පොතේ හැටියට එක තිරිසන් සත්වයකුගේ කුසගිනි නිවෙන්නට දානයක් දුන හොත් කල්ප 100 ක් සුගතියේ උපදින බව ප්‍රකාශ වෙයි.

ඔබ කුරැල්ලන්ට ආහාර ලෑල්ලක් තැබුවොත් එයින් කුරැල්ලන් කී දෙනෙක් කුසගිනි නිවා ගන්නවාද ? ඒ නිසා ගෙවත්තේ තැනක කුරැලු ලෑල්ලක් නඩත්තු කිරීමට මේ වෙසක් පෝය උපයෝගී කරගන්න.

බඩගින්නේ සිටින කුරැල්ලන් විශාල ප්‍රමාණයක් ඔබ තැබූ කුරැලු ලෑල්ලේ ආහාරය ගෙන සතුටට පත් වේවි. එයින් ඔබටද සතුටක් ලැබිය හැකියි. දරැවනි බුදු දහමේ හැටියට

       “චිත්තං පුනාතීති පුඤ්ඤං

        හදයං පුනාතීති පුඤ්ඤං*

සිත හා හදවත පිනා යාම “පින* ලෙස දැක්වෙයි. කුරැලු ලෑල්ලක් තුළින් වගේම, කුරැල්ලන්ට නාන්නට වතුර භාජනයක් ගෙවත්තේ තැබීමෙන්, ආහාර නැතිව තැන තැන ඇවිද යන සතකුට එළියේ ආහාර තබා එය භූක්ති විඳිනු දැකීමෙන් ඔබට සතුටු විය හැකියි. බුදුරජාණන් වහන්සේ සිහිකර වෙසක් පෝයට ඔබට ඒ වගේ උතුම් පින් සත්කාර කළ හැකියි.

වැඩිහිටියන්ට , ගිලනුන්ට සලකමු

ඔබේ ගෙදර හා අසල්වැසි ගෙවල්හි සිටින ආච්චි අම්මා, සීයා දෙස මොහොතක් බලන්න. ඒ අය ඔබ මෙන්ම ළමා කාලය ගෙවූ අයයි. ශක්ති සම්පන්නව තරැණ විය, වැඩිහිටි විය ගත කළ අයයි.

 දැන් ඔවුන් බොහෝ සෙයින් වයස්ගද වී නේද ? ලෙඩ රෝගවලට මුහුණ දී ඇතැම් විට එක්තැන් වී ඇති. මේ තත්ත්වයට තවත් කලෙකින් ඔබටත් මුහුණ දෙන්නට සිදුවේ. එනිසා ඒ අය අවඥාවට හෝ අපහාසයට ලක් නොකරන්න. ඒ අයට ගරැ සැලකිලි කරන්න.

ඔවුන් ජීවිතයේ කියා දෙන “කිසිවක් නිත්‍ය නැත* යන බුදු වදන ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය වයස තුළින් දැක වෙසක් සතියේ ඒ අයට පිහිට වෙන්න. ඒ අයට කෑම, වතුර, බෙහෙත් ළඟට දී ස්නානය අවැසි නම් ස්නානය ද කරවන්න. එය උතුම් පින්කමක් වෙයි.

ගසකින් දානයක් දෙමු

දරැවනි, වෙසක් සතියේ ඔබේ වත්තේ අඹ, කොස් ආදි පැළයක් සිටුවන්න. බලන්න ලෝකයේ ඇතැම් රටවල දැන් ඔක්සිජන් හිඟයක් පවතී. ගස්කොළන් සිටුවීම යනු පරිසරයට ඔක්සිජන් වායුව තෑගි කිරීමකි. එය සැබැවින්ම ගත් විට ඔක්සිජන් වායුව දන්සලක් දීමකි.

 ඒ වගේම ඒ ඔබ වෙසක් එකට සිටුවන ගස ලොකු වී ගෙඩි හැදුණු විට මිනිසුන්ට වගේම සතුන්ටත් ආහාර පිණිම පවතී. එය කොයිතරම් වටිනා දානයක් ද ? ඒ වගේම කුරැල්ලන් ඒ ගස් මත කූඩු සාදා ගනීවි. වාසස්ථාන ලබා දීමත් උතුම් පින්කමක්. එක ගසක් සිටුවීම නිසා ඔබ දුන් දන්සැලේ වටිනාකම සුළුපටු නෑ නේද ?

සිල් සමාදන් වීම

පවතින සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වය නිසා ඔබට වෙසක් පෝයට සිල් සමාදන් වීමේදී දුරස්ථව එය කරන්නේ කෙසේද ? වැඩි පිරිස ඒකරාශි වන තැන් තවමත් අනාරක්ෂිත බව නැතිවා නොවේ. බුදුරජාණන් වහන්සේ ඉපදුණේ සල් ගසක් මුලයි. බුද්ධත්වය ලැබුවේත් සල් ගසක් යටයි. පිරිනිවන් පෑවේත් සල් ගසක් යටයි.

උන්වහන්සේට වේලුවනාරාමය, ඡේතවනාරාමය ආදි විශාල ආරාම පූජා කර තිබුණත් උන්වහන්සේ වඩාත් ප්‍රිය කළේ පරිසරයටයි. ගස්වැල් වලටයි. ඒ නිසා මෙවර ඔබට  ඔබේ ගෙදර සුදුසු ගසක් යට වුවත් සිල් සමාදන් විය හැකියි. වෙනදා වගේම සුදු පිරැවටෙන් සැරසී උතුරැ සළුව දමා රේඩියෝව හරහා හෝ තනිව හෝ සිල් සමාදන් වී දවස ගත කළ හැකියි.

ගුවන්විදුලියේ විකාශනය වන ධර්ම දේශනා, භාවනා වලට සවන් දිය හැකියි. සිල් සමාදන් වීම පිණිස ඒකරාශි වී පන්සල් බිමේම කළ යුතු යැයි නියමයක් නොවේ. අටසිල් සමාදන් වීම ඔබේ නිවසින් මඳක් බැහැරව සුවදායී ගසක් මුල කිරීම කිසිම ගැටලුවක් නොවෙයි.

පරිසරයේ, සොබාදහමේ සංවේදී බව ඔබට තවත් දැනේවි. මේ වසංගතය එක අතකින් මනුෂ්‍ය සමාජයට කියා දී ඇත්තේ සොබාදහමට වඩ වඩාත් ළං වීම පිළිබඳ පාඩමක් බවත් අප අමතක නොකළ යුතුයි.

පහනින් අනිත්‍යය දකිමු

සවස් කාලයේ සම්බුදු තෙමඟුල සමරා ඔබට පහන් දැල්වීම කළ හැකියි. සෑම වර්ෂයකම වගේ නිවසට එන පාර පහන් වැටකින් සැරසීම කළ හැකියි. පහන් දල්වා ඔබ ධාර්මික සතුටක් ලබන අතරේම ටික වේලාවක් මේ පහන් වැට දෙස බලා සිටින්න.

සමහර පහන් සුළඟට නිවී යයි. තෙල් සහ තිරය තිබුණත් සුළඟට හසුව නිවී යයි. තවත් පහන් තෙල් අවසන් වී නිවී යයි. ජීවිතය ද එසේමයි. ඇතැම් අය හදිසියේ මරණයට පත් වෙයි. ඇතැම් අය ආයුෂය ගෙවා නිම කර මරණයට පත් වෙයි. පහන් දැල්වීම කර ඒ අප ඒ දෙස බලා සිටීමෙන් කියා දෙන්නේ අනිත්‍යය පිළිබඳ භාවනාවකි. මේ භාවනාව සිත එකඟ කිරීම ප්‍රතිපත්ති පූජාවකි.

දරැවනි දැන් ඔබට නිවසේ සිට වුවත්, පන්සලේ සිට වුවත් මේ වෙසක් පෝය ඵලදායීව ප්‍රයෝජනයට ගත හැකියි නේද ? බොහෝ ආමිස හා ප්‍රතිපත්ති පූජා සිදු කරගෙන පින් රුස්කර ගත හැකියි. එබැවින් හැකිතරම් බාහිර පුද්ගලයන් සමග මේ වසංගත අවස්ථාවේ දුරස්ථභාවය ආරක්ෂා කරගෙන තෙමඟුල සැමරීමට වගබලා ගන්න.

 

මග පෙන්වීම - මහනුවර ලංකාතිලක රාජමහා විහාර වාසී,

රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති නීතියගොඩ චන්දිම හිමි.

අසංක ආටිගල

දින පොත