Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අප ශ්‍රී ලංකාව ඇත්තේ සමකයට ඉතා ආසන්නවය. උපාය මාර්ගික සාගරික පිහිටීම නිසා ශ්‍රී ලංකාව අතීතයේ සිටම නැගෙනහිර සහ බටහිර අතර ජාත්‍යන්තර මුහුදු වෙළඳ මාර්ගවල වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙස පැවතුණි. කාලගුණ විද්‍යාඥයන්ට අනුව, සමකය ආශ්‍රිතව සුළි කුණාටු හට ගැනීම බහුලව සිදුවන්නක් නොවෙයි. බෙංගාල බොක්කේ වෙනස් වීම් හේතුවෙන් අප ශ්‍රී ලංකාව මහ වැසි සහ තද සුළං වලින් බැට කෑම සාමාන්‍ය දෙයක් වුවත්, බිහිසුණු සුළි කුණාටුවලින් බැට කෑම අසාමාන්‍යය.

මනඃකල්පිත රේඛාව

සමකය (Equator) යනු පෘථිවිය වටා ඇති මනඃකල්පිත රේඛාවකි. සමකය පෘථිවියේ උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය අතර හරියටම මැදින් පිහිටා ඇත. එය පෘථිවියෙහි පළල්ම හරස් කොටස ලෙස සැලකෙයි. සමකය නමැති මෙම මනඃකල්පිත රේඛාව පෘථිවි ගෝලය උතුරැ අර්ධගෝලය (Northern Hemisphere) සහ දකුණු අර්ධගෝලය (Southern Hemisphere) ලෙස හරියටම සමාන කොටස් දෙකකට බෙදයි. සමකය ආශ්‍රිත ප්‍රදේශවලට සූර්යයාගෙන් ලැබෙන ආලෝකය වසර පුරාම වඩාත් සෘජුව ලැබෙන බැවින්, මෙම සමකය ආශ්‍රිත කලාපයේ රටවල කාලගුණය උණුසුම්ය.

ස්වභාවික විපත්

ස්වභාවික විපත් ලොව නන් දෙසින් අපට අසන්න දකින්න ලැබෙයි. පසුගිය දා අප්‍රිකා මහද්වීපයට අයත් ඉතියෝපියාවේ, ගිනි කන්දක් පුපුරා ගියේය. මෙම ගිනි කන්ද සොම්බි ගිනිකන්දක් යැයි විද්‍යාඥයන්ගේ අදහසය. ඊට හේතුව, මෙම ගිනි කන්ද සක්‍රීය වී පුපුරා දුම් වලා පිට කළේ වසර 12,000 කට පසු අවදි වෙමිනි.

 ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය තවත් උත්සන්න කිරීමට මෙම ගිනි කඳු දුමාරයට හැකිවිය. ගිනි කඳු පිපිරීම් පමණක් නොවෙයි, භූමිකම්පා, සුනාමි, ටෝනේඩෝ කුණාටු සහ සුළි කුණාටු යනු මිනිසාට වින කරන ස්වභාවික විපත්ය.

සුනාමියක් හට ගැනීමට නම් සාගරය කැලැඹිය යුතු වෙයි. 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා අප ශ්‍රී ලංකාවට ද බලපෑම් කළ සුනාමිය හටගත්තේ, ඉන්දුනීසියාවේ සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු පතුලේ ඇති වූ භූමිකම්පාව නිසාය. රිච්ටර් මාපකයේ 9.1 - 9.3 අතර, එම අති බිහිසුණු භූමිකම්පාව 1900 න් පසු ලොව වාර්තා වූ තෙවන විශාලතම භූමිකම්පාව ලෙස සැලකෙයි. මෙය නූතන ඉතිහාසයේ වාර්තා වූ වඩාත්ම මාරාන්තික ස්වභාවික විපත්වලින් එකකි. මෙම භූමිකම්පාවෙන් සහ සුනාමියෙන් මියගිය සහ අතුරැදන් වූ ගණන 227,898 කි.

මෝසම්

ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ආසන්නයේ හෝ ඊට ඉහළින් හෝ නෙවෙයි. එබැවින් භූමිකම්පාවලට ගොදුරැ නොවෙයි. ශ්‍රී ලංකාවේ ගිනි කඳු නැත. ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව නිවර්තන මෝසම් දේශගුණික කලාපය මගින් තීරණය වන අතර, එය ඉතා සංකීර්ණ හා කලාපීය වශයෙන් විවිධත්වයකින් යුක්ත වේ. ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන ප්‍රධානම ක්‍රමය වන්නේ මෝසම් සුළං මගිනි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000ක් පමණ වන නමුත්, එය වියළි කලාපයේ මිලිමීටර් 900 දක්වා අඩුවන අතර, තෙත් කලාපයේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලදී මිලිමීටර් 5000 ඉක්මවිය හැකිය.

පළමු අන්තර් මෝසම, නිරිතදිග මෝසම, දෙවන අන්තර් මෝසම සහ ඊසානදිග මෝසම ආදී වශයෙන් කාලගුණ විද්‍යාඥයන් හඳුන්වන මෙම මෝසම් අඩු වැඩි වෙයි. මෙය සාමාන්‍ය දෙයකි. ඒත්, කාලගුණ විද්‍යාඥයන්ට අනුව, සමකයට ආසන්නව, සුළි කුණාටු හට ගැනීම ඉතාමත් දුර්ලභය. එසේ වුවත්, 2004 සුනාමි ව්‍යවසනය ද සිහිපත් කරමින්, පසුගිය දා අප බිහිසුණු ස්වභාවික ආපදාවකට මුහුණ දුන්නේය. ඒ, දිට්වා (Ditwah) නමැති සුළි කුණාටුව අප රටට කඩා වැදී, රට හරහා උතුරැ දෙසට හමා යෑමත් සමඟය. සිදුවුණු ජීවිත හානි, දේපොළ හානි අතිමහත්ය.

මොකද වුණේ?

සමකය ආශ්‍රිත සුළි කුණාටු හට ගැනීම ඉතා අඩු මට්ටමක පවතින්නේ නම්, දිට්වා වැනි ප්‍රබල විනාශකාරී සුළි කුණාටුවක් නිර්මාණය වූයේ කෙසේද? මෙය බොහෝ දෙනාට ඇති ප්‍රශ්නයකි. කාලගුණ විද්‍යාඥයන්ට අනුව, දිට්වා සුළි කුණාටුව ද ප්‍රබල විපරිත කාලගුණ පෙරුළියකි.

මෑත කාලීනව, ලොව පුරා විපරිත කාලගුණික පෙරුළි වැඩි වැඩියෙන් අපට දකින්න ලැබුණි. කාලගුණ විද්‍යාඥයන්ට අනුව, මෙයට හේතුව මිනිස් ක්‍රියාකාරකම්ය. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යෑම ඊට හේතුවය.

කොරියෝලිස්

සුළි කුණාටු හට ගැනීම සඳහා අවශ්‍ය වන මූලිකම සාධකය වන්නේ කොරියෝලිස් බලය (Coriolis force) යි. කොරියෝලිස් බලය ඇති වන්නේ පෘථිවියේ භ්‍රමණය හේතුවෙනි. මෙම බලය චලනය වන වාතය වැනි දේ කරකැවීමට අවශ්‍ය ග්‍රහලෝකීය වර්ට්‍රිසිටිය (planetary vorticity) සපයයි.සමකය අසලදී කොරියෝලිස් බලය ශුන්‍යයට ආසන්න වෙයි.

සමකය ආශ්‍රිතව සුළි කුණාටු හටගන්නේ ඉතා අඩුවෙන් හෝ කලාතුරකින් වන්නේ මේ නිසාය. සුළි කුණාටුවක් ඇතිවීමට සහ එය වර්ධනය වීමට අවශ්‍ය භ්‍රමණය (කැරකැවීම) ඇති කිරීමට තරම් ප්‍රමාණවත් කොරියෝලිස් බලයක් සමකයේ නොමැත. හරියට කැරකැවීමට නොහැකි මුදුනක් කැරකැවීමට උත්සාහ කරන්නාක් මෙනි.

බාධාවක්

සමකයට ආසන්නව සාමාන්‍යයෙන් අවශ්‍ය වන උණුසුම් මුහුදු මතුපිට උෂ්ණත්වය සහ අඩු සුළං විචලනය (wind shear) වැනි අනෙකුත් කොන්දේසි පැවතියද, කොරියෝලිස් බලය නොමැතිකම නිසා සුළි කුණාටු හට ගැනීමට බාධා එල්ල වෙයි.

එපමණක් නොවෙයි, සුළි කුණාටුවක් සමකය දෙසට ගමන් කළහොත්, කොරියෝලිස් බලය අඩු වීම නිසා එහි භ්‍රමණය දුර්වල වී කුණාටුව විසුරැවා හැරීමට පවා තුඩු දෙයි. එසේ නම්, දිට්වා මෙසේ දරැණු වූයේ ඇයි? ඒ මිනිස් අපේ ක්‍රියාකාරකම් නිසා ගෝලීය උණුසුම ඉහළ ගොස්, නිර්මාණය වූ කාලගුණ විපර්යාස නිසාද? විද්‍යාඥයන්ට අනුව නම්, පිළිතුර ‘ඔව්’ යන්නය.

දිට්වා

මෙම සුළි කුණාටුවට %‘දිට්වා’ යන නම, යෙදීම සිදුවූයේ යේමනයේ සෝකෝත්‍රා (Socotra) වෙරළේ ඇති සුන්දර දෙට්වා කලපුව (Detwah Lagoon) අනුව යැයි කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) විසින් අනුමත කරන ලද විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ සුළි කුණාටුවලට නම් තැබීම සිදු කෙරේ.

සුළි කුණාටු නම් තැබීමේ වගකීම එම කුණාටු ඇතිවන සාගර කලාපයට වගකිව යුතු කලාපීය විශේෂිත කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන (RSMCs) වෙත පවරා ඇත. ශ්‍රී ලංකාව ඇතුළු උතුරැ ඉන්දීය සාගර කලාපයේ (බෙංගාල බොක්ක සහ අරාබි මුහුද) මෙම වගකීම ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) විසින් දරනු ලබයි.

නම් තැබීම

අප අයත් මෙම කලාපයේ නම් තැබීම සඳහා, කලාපයට අයත් සාමාජික රටවල් 13ක්  (අප ශ්‍රී ලංකාව ද ඇතුළුව, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්ථානය, තායිලන්තය සහ යේමනය) එක්ව කටයුතු කරයි.

 සෑම සාමාජික රටක්ම යෝජනා කරන ලද නම් ඇතුළත් ලැයිස්තුවක් සකස් කරනු ලබන අතර, එම නම් සියල්ල එකතු කර අනුපිළිවෙළින් සකස් කරන ලද නාම ලේඛනයක් (Name Almanac) නිර්මාණ වෙයි. මෙම ලේඛනය භාවිත කරනු ලබන්නේ වත්මන් වගුවේ නම් අවසන් වූ විට ඊළඟ වගුව වෙත යෑමෙනි. දැනට භාවිත වන්නේ 2020 දී සම්පාදනය කරන ලද නවතම ලැයිස්තුවයි.

දැඩි නීති රීති

අවපීඩන කලාපයක් (Depression) නිවර්තන සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වී, එහි සුළං වේගය පැයට කිලෝමීටර් 61 ඉක්මවා ගිය විට, එම මොහොතේ නාම ලේඛනයේ ඊළඟට ඇති නම අදාළ කුණාටුවට යොදනු ලැබේ. මෙම නම් තෝරා ගැනීමේදී දැඩි නීති රීති අනුගමනය කළ යුතුය.

 නම, කෙටි සහ පහසුවෙන් උච්චාරණය කළ හැකි විය යුතු අතර, කිසිදු දේශපාලන, ආගමික, සංස්කෘතික හෝ ස්ත්‍රී-පුරැෂ භාවය මත පදනම් කාටවත් නින්දාවක්, අපහාසයක් සිදු නොවන ආකාරයේ නම් යෙදීම සිදු වෙයි.

විනාශකාරී ඉවතට

යම් සුළි කුණාටුවක් මහා විනාශයක් හෝ දැවැන්ත ජීවිත හානි සිදු කළහොත්, එම නම නැවත කිසිදා භාවිත නොකිරීමට තීරණය කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය නම ඉවත් කිරීම (Retirement) ලෙස හැඳින්වේ. මෙලෙස ඉවත් කරන ලද නමක් වෙනුවට නව නමක් යෝජනා කිරීමට අදාළ සාමාජික රටට අවස්ථාව ලැබේ.

ලුසිත ජයමාන්න

ස්තුතිය - ලෝක කාලගුණ

විද්‍යා සංවිධානය

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.