දිදුලන නීල පැහැති දිවිමකුළුවකු ශ්‍රී ලංකාවේ වැසි වනාන්තරයකින් සොයාගනී

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 07:57 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාව, නව ප්‍රභේදවල දිවිමකුළු විශේෂවලට තෝතැන්නකි. සිනිදු මවිල් වලින් ගැවසුණු, දිදුලන නීල පැහැ වර්ණ දරන, මිනිස් ඇස නොගැටුණු, පහසුවෙන් කුඩා පීරිසියක් වැළඳ ගත හැකි තරම් වන විශාල ගැහැනු දිවිමකුළුවෝ ද ලංකාවේ වැසි වනාන්තරවල ජීවත් වෙති.

මෙම අනර්ඝ නිල් පැහැගත් දිවි මකුළු විශේෂය පළමුවරට සොයාගෙන ඇත්තේ තේ සහ රබර් වතුවලින් මැදිව පවතින ප්‍රදේශයක පිහිටි නිරිතදිග වැසිවනාන්තරයකිනි. මෙකී දිවි මකුළුවා සම්බන්ධයෙන් පළමුව අවධානය යොමුවූයේ ජීව විද්‍යාඥයකු වූ රනිල් නානායක්කාර මහතාටය. විද්‍යාවට නවතම සොයාගැනීමක් වූ මෙම දිවි මකුළුවා Chilobrachys jonitriantisvansicklei ලෙසින් නම් කර ඇත.

“අපි මේ දිවි මකුළුවාව පළමුව දැකපු වේලේ විමතියට පත්වුණා” යැයි නානායක්කාර මහතා තමා දුටු ගැහැනු දිවි මකුළුවා ගැන පැවසුවේය. “මේ සිටින්නේ ගැහැනු මකුළුවායි. මේ විශේෂයේ පිරිමි දිවි මකුළුවා කුඩායි, දුඹුරු පාටයි” යැයිද කීය.

නළාකාර කුහරයක දිවිගෙවන මෙම දිවි මකුළු විශේෂය, සිය වාසස්ථානය අසළට පැමිණ ඕනෑම කෘමියකු කරා ඉතා වේගයෙන් ළඟා වන අතර ඉතා ආක්‍රමණශීලී වෙති. අඟල් පහක් පමණ දිගැති අඬු සහිත මකුළුවා, ඉතා කුඩාද නොවේ. නිල් පැහැ දිවි මකුළුවා දුර්ලභ වර්ගයක්ද, නැතහොත් වඳ වී ගිය විශේෂයක්ද, කියා තවම සොයාගෙන නැත.

නානායක්කාර මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ, මකුළුවන් පිළිබඳ දීර්ඝ කාලයක් අධ්‍යයනය කරමින් සිටින විශේෂඥයෙකි. ඔහු 2015දී දීප්තිමත් දිවි මකුළුවන් සම්බන්ධයෙන් පර්යේෂණ කර ඇති අතර, ඉන් පසු වසර දෙකක් පමණ ඔවුන්ගේ ශරීර ව්‍යුහ පිළිබඳවද දත්ත රැස්කර තිබිණි. මෙම Chilobrachys නම් දිවි මකුළුවන් සම්බන්ධයෙන් ද පර්යේෂණ කර ඇති නානායක්කාර මහතා ඔවුන් ඉතා විශේෂ මකුළු විශේෂයක් බව හඳුනාගෙන ඇත. නානායක්කාර මහතා මීට ඉතදී ද Poecilotheria rajaei නම් ගස්වල වෙසෙන දිවි මකුලු විශේෂයක් සොයාගෙන තිබිණි.

ශ්‍රී ලංකාවේ වනාන්තරවල පවතින ජෛව විවිධත්වය හේතුවෙන්, අදටද සොයාගෙන නොමැති මකුළු විශේෂ ගණනාවක් සිටින බවද, ලංකාවේ මකුළු විශේෂවලින් 593ක් හඳුනාගෙන ඇති අතර, පසුගිය දශක දෙකේදී විශේෂ 108ක් සම්බන්ධයෙන් විස්තර සොයාගෙන ඇති බවද පැවසේ.

 (නැෂනල් ජියෝග්‍රැෆික්)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

PHOTOGRAPH BY RANIL P. NANAYAKKARA 

දින පොත