පරිසර සුරැකුමට මහා සංඝරත්නයේ දායකත්වය

2024 අප්‍රේල් මස 27 පෙ.ව. 12:44 - {{hitsCtrl.values.hits}}  

පරිසරය සුරැකීම යන අවශ්‍යතාව වෙන කවරදාකටත් වඩා අද වන වි‍ට පෙරමුණ‍ට පැමිණ ඇත. පරිසර දූෂණය බරපතල ආකාරයෙන්, විවිධ මානයන්ගෙන් ක්‍රියාත්මකවීම ඊට හේතුවයි. මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශය විසින් මේ වන විට විවිධ වූ ඉලක්ක කණ්ඩායම් ඔස්සේ පරිසර සංරක්ෂණ පණිවිඩය සමාජගත කිරීම වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතී. ඒ යටතේ මෙරට පිරිවෙන් හා පන්සල් ආශ්‍රිත වැඩවාසය කරන ගරුතර මහා සංඝරත්නය සම්බන්ධ කර ගැනීමට පියවර ගැනීම එහි ප්‍රධාන වැඩසටහනකි. පසුගියදා කොළඹ දිස්ත්‍රික්කයේ පිරිවෙන් හි පරිවේනාධිපති ස්වාමීන් වන්සේලා සම්බන්ධ කර ගනිමින් මූලික ව‍ටයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර මෙම  අවස්ථාවට ප්‍රධාන ආරාධිත ස්වාමින් වහන්සේ ලෙසින්  සහභාගි වූයේ රාජකීය පණ්ඩිත, පුජ්‍ය මහාචාර්ය නාඹිරිත්තන්කඩවර ඥානරත්න ස්වාමීන් වහන්සේ වන අධ්‍යාපන අමාත්‍යංශයේ, පිරිවෙන් ශාඛාවේ අධ්‍යක්ෂ ස්වාමීද්‍රයන් වහන්සේය.

කොළඹ දිස්ත්‍රික්කයේ පිරිවෙන්වල පරිවේනාධිපති ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ කොටගත් ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් ඊට සහභාගි වූහ. පරිසරය පිළිබඳවත්, පරිසර සංරක්ෂණයේ අගය පිළිබඳවත් විද්වත් දේශන කිහිපයක් පැවැත්වූ අතර පරිසරය පිළිබඳව රූපවාහිනී වාර්තා වැඩසටහන් කිහිපයක් ද නැරඹීමේ අවස්ථාව ද සලසා තිබිණි. මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසා සිටියේ පරිසරය පිළිබඳව ලෝක මට්ටමින් කතා කරන කාලවකවානුව ශ්‍රී ලාංකාවාසී අපි ද ඒ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවයි. ගරු පරිසර අමාත්‍යතුමන් වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් රටට ඉදිරිපත් කර ඇති  “ නීල - හරිත” වැඩසටහන යටතේ රට පරිසර සංරක්ෂණ මාවතට අවතීර්ණ කිරීම වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී. ඇතැම් පොලීතින්, ප්ලාස්ටික් වර්ග අක්‍රමවත් භාවිතය හේතුවෙන් බැරෑරුම් පරිසර ප්‍රශ්න ගණනාවක් උද්ගතව ඇති බැවින් පසුගියදා එම නිෂ්පාදනයන් තහනම් කිරීම සිදු කරන ලද බවත් සභාපතිතුමන් පැවසීය.

මෙම දැනුවත් කිරී‍මේ වැඩසටහනේදි අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අංශයේ අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත, පූජ්‍ය මහාචාර්ය, නාඹිරිත්තන්කඩවර ඥානරත්න ස්වාමින් වහන්සේද අදහස් දැක්වූහ. පරිසරයේ අගය පිළිබඳව ඉතා ගැඹුරු හා සරලාකාරයෙන් බුදුදහම තුළ විග්‍රහ කරන බවත් පරිසර සංරක්ෂණ පණිවිඩය වඩාත් හරවත් ආකාරයෙන් සමාජගත කිරීම සඳහා බෞද්ධ භික්ෂුව සාර්ථක සන්නිවේදකයෙක් වන බවත් උන්වහන්සේ වදාළ සේක. ලංකාවේ පාසල් 10,200ක් පවතින බවත් පිරිවෙන් 760ක් පවතින බවත් පැවසූ උන්වහන්සේ දේශනා කර සිටියේ පන්සල් හා පිරිවෙන් ආශ්‍රිතව අති විශාල ජනතාවක් දෛනිකව පැමිණෙන බැවින් අපද්‍රව්‍ය කළමනාකරණයේදී ගැටළු පවතින බවත්ය. මෙවැනි ප්‍රශ්න නිරාකරණය කර ගැනීමේදී මධ්‍යම පරිසර අධිකාරියත්, බෞද්ධ භික්ෂුවත් සාමූහිකත්වයෙන් කටයුතු කිරිම කාලීන බවත් උන්වහන්සේ පැවසූහ.

මෙහිදී පරිසර විෂය ක්ෂෙත්‍රය පිළිබඳව විවිධ වූ මානයන්ගෙන් තොරතුරු ඉදිරිපත් කළ අතර ඒ සඳහා කැලණි විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ  ආචාර්ය නිශාන්  සකලසූරීය, පරිසර අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ගාමිණී ගමගේ සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජයන්ත වත්තේවිදාන මහතා මෙන්ම පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී ජයසිංහ මහතා ද අදහස් දැක්වීය. මෙරට පාසල් පද්ධතිය තුළ මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින පරිසර නියමු වැඩසටහන, පිරිවෙන් වෙතට ද හඳුන්වා දී පුළුල් පරිසර සංරක්ෂණ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බැව් ගාමිණී ජයසිංහ මහතා අවධාරණ කළේය.   

Media Unit (EE&A) - Central Environmental Authority

දින පොත