වැසිවනාන්තර සුරකින්නෝ ඉළුක්පොතකන්ද වන වගා ව්‍යාපෘතියක් අරඹයි

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 06:17 - {{hitsCtrl.values.hits}}  

ලෝක උරුම සිංහරාජ වැසිවනාත්තර සංකීර්ණයට හා ප්‍රේරක කලාපයට අයත් කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැසිවනාන්තර පද්ධතියේ  කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය එකතුව තර්ජනයට ලක්වී ඇති සහ විනාශ වී ඇති වනාන්තර බිම් කොටස් හඳුනාගෙන එම රක්ෂිත තුළ ප්‍රදේශයේ පවතින ජෛව විවිධත්වය සලකා එයට ගැලපෙන හොර, බෙරලිය, වල්දෙල්,දොඹ, නා, ගොඩපර,කුඹුක්, මාදම් සහ ශ්‍රී ලංකාවට ආවේණික, වඳවීයාමේ තර්ජනයට භාජනයවී ඇති  පැළ 500 කට අධික ප්‍රමාණයක් රෝපණය කර ආදර්ශ වන වගා කිරීමේ ව්‍යාපෘතියක් කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉළුක්පොතකන්ද ප්‍රදේශයේ දී ආරම්භ කෙරිණ.

2003 වර්ෂයේදී ඇති වූ ආපදා තත්වයන් නිසා මිනිස් ජීවිත හානි සමගින් විශාල නායයෑමකට ලක්වී ඇති මෙම ප්‍රදේශය අක්කර 7ක වපසරියකින් යුත් භූමියකි. විශාල බෑවුමක් සහිත ප්‍රදේශය දැනට දැඩි අවදානම් ප්‍රදේශයක් වශයෙන්ද නම් කර ඇත. පස ශක්තිමත් නොවන බැවින් වර්තමානයෙදීත් සුළු වශයෙන් නායයෑම් වලට ලක්වෙමින් තිබේ. බැවුම් ප්‍රදේශයේ පහළ සීමාව තුළ නිවෙස් පිහිටා ඇති අතර මේ හේතුන් නිසා වර්ෂා කාල වලදී නිවෙස් වලින් ඉවත් වීමට සිදුව ඇත. දැඩි වර්ෂාපතනයක් පවතින ප්‍රදේශයක් හෙතුවෙන් ප්‍රදේශ වාසීන් හට විශාල දුෂ්කර තා එල්ල වේ.

අක්කර 7කින් යුත් සමස්ත භුමි ප්‍රමාණය තුළ අදියර කිහිපයකින් වන වගාව සිදු කර අවසන් කිරීමට සැලසුම් සකසා ඇති අතර මෙම  ව්‍යාපෘතිය මගින් නායයෑම් සිදූවීම නතර කර ගැනීම ප්‍රධානතම අරමුණ වේ. ප්‍රදේශයේ ජෛව විවිධත්වයට ගැලපෙන ශාක සිටුවීම මගින් ප්‍රදේශය තුළ පරිසර සමතුලිතතාව ආරක්ෂා වීම සිදුවන බව වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය පෙන්වා දෙති.

දින පොත